යහපත් මාධ්‍ය සංස්කෘතියකට මාධ්‍යය වගකීම් සහගත වියයුතුයි | දිනමිණ

යහපත් මාධ්‍ය සංස්කෘතියකට මාධ්‍යය වගකීම් සහගත වියයුතුයි

ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැති රුවන් විජේවර්ධන

යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ දී රාජ්‍ය මාධ්‍ය මෙන් ම පෞද්ගලික මාධ්‍යය ද ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බවත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ එම පරිවර්තනය ඇති කිරීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැති රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (23) අවධාරණය කළේය.

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අපේක්ෂා කරන පරිවර්තනය සිදු කිරීමේදී එහි මූලික ඒකකය වන මාධ්‍යවේදියායි දැනුමෙන් හා පුහුණුවෙන් සවිබල ගැන්වීමට ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන වැනි වැඩසටහන් දැනට ක්‍රියාත්මක බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ජනමාධ්‍යවේදීන් කිරීම වෙනුවෙන් පුහුණු ආයතනයක් ඇරඹීමට සැළසුම් කර ඇති අතර උසස් මාධ්‍ය ප්‍රමිතීන් දිරිමත් කිරීමේ අපේක්ෂාවෙන් සැළසුම් කරන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල් 10 වැනිදා පැවැත්වෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

ඇමති රුවන් විජේවර්ධන මහතා මේ බව සඳහන් කළේ කර්මාන්ත වානිජ කටයුතු දිගුකාලිනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිමේ සහ සමූපකාර සංවර්ධන, ජනමාධ්‍ය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශයන් පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා සහභාගි වෙමිනි.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (23) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය. වාර්තා, ලිපි ලේඛන හා පෙත්සම් පිළිගැන්වීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා ඒ ඒ විෂය භාර ඇමැතිවරුන් විසින් පිළිතුරු ලබාදුන්හ.

ජනමාධ්‍ය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශයේ සහ කර්මාන්ත වාණිජ කටයුතු, දිඟුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ විය.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (එ.ජ.නි.ස) - කර්මාන්ත අංශය සම්බන්ධයෙන් කතා කරනවිට රැකියාවල නියුතු පුද්ගලයින් ලක්ෂ 16ක් මේ අංශයේ රැකියා කරනවා. සකස් කළ ආහාර, රෙදිපිළි හා ඇඟළුම් ආදිය මේ යටතට අයත් වෙනවා. 2009 දී ත්‍රස්තවාදය අවසන් වූ පසුව කර්මාන්ත අංශයේ වර්ධනයක් ඇති වුණා. කර්මාන්ත කලාප තිබෙනවා. නමුත් ඔප්පු ලබාදී නැහැ. ඒවා ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනවා. අද වනවිට කර්මාන්තකරුවන්ට විවිධ බාධාවන් ඇතිව තිබෙනවා. ලංකාවේ කර්මාන්ත කරුවන් බහුජාතික සමාගම් සමඟ කටයුතු කරන්නේ අංශ කිහිපයකට පමණයි. නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් ද ලබාගත හැකි වාසි ඉතාම සීමිත වී තිබෙනවා. ලංකාව වර්තමානයේ නිපදවිය යුතු නිෂ්පාදන කරන්නේ අල්ප වශයෙන්. අධි ඉල්ලුමක් සහිත භාණ්ඩ නිපදවන තායිලන්තය, හොංකොං, මැලේසියාව වැනි රටවල් ගත්විට අපේ රටේ නිෂ්පාදනය ඉතාම පහළ මට්ටමක තිබෙනවා.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා - ජනමාධ්‍ය අමාත්‍යාංශය ඔස්සේ මේ රටේ ජනතාවට ලබාදුන් විශාලම සේවය තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමයි. 2015 වසරෙට පෙර මේ රටේ බලයේ සිටි අය කටයුතු ක‍ළේ මේ පනත සම්මත කිරීම වැළැක්වීමටයි. මේ රටේ සියලුම මහජන ආයතන තුළ පරිපාලන සංස්කෘතියක් ඇතිවෙමින් තිබෙනවා. දූෂණ අවම වෙමින් තිබෙනවා. මේ රටේ පොලිස් නිලධාරීන් උසස්වීම් ලබාගත්තේ මේ පනත නිසා බව කියන්න කැමැතියි. මේ පනත ඉතාම හොඳින් අද ක්‍රියාත්මක වෙනවා. මේ ජයග්‍රහණයටත් වඩා අපි විශාල ජයග්‍රහණයක් ලැබුවා. මේ රටේ මාධ්‍යවේදීන්ට නිදහස් අදහස් ඉදිරිපත් කරන්න අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය ඇතිකළා. මාධ්‍යවේදීන්ට පසුගිය කාලයේ පහර දුන්නා. ඝාතනය කළා. අතපය කැඩුවා. මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා. නමුත් අද ඒ තත්ත්වයක් නැහැ.

මේ නිදහස් වාතාවරණයෙන් උපරිම ප්‍රයෝජන ගතහැකි ප්‍රශස්ථ ජනමාධ්‍ය භාවිතාවක් තිබෙනවා ද යන්න බැලිය යුතුයි. සහෘද ජනතාවක් හදන්න නම් පුරුදු පුහුණු කළ සංස්කෘතියක් නිර්මාණය කළයුතු වෙනවා. නමුත් අද ඉතා නරක ටෙලි නාට්‍ය සහ අවර ගණයේ වැඩසටහන් ප්‍රචාරය කරනවා. අපි නිදහස් ජනමාධ්‍ය වාතාවරණ්‍යක් රටේ නිර්මාණය කර තිබෙනවා. ජනමාධ්‍ය නියාමනයකට අපි සියලු දෙනාම එක්විය යුතුයි.

බෙදුම්වාදය පතුරුවනවා නම් ජර්මනිය විසින් යුරෝ 50,000ක දඩයක් ගසනවා. අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු වෙනවා. සමාජ හානිය වළක්වන්න මේ ක්‍රියාමාර්ග අවශ්‍ය වෙනවා.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහපෙරුම මහතා (එ.ජ.නි.ස) - අයවැය විවාදය සිදුවන අවස්ථාවල මේ දක්වා අමාත්‍යාංශවල වෙනස්කම් සිදුව නැහැ. මෙය වැරදි පූර්වාදර්ශයක්. ප්‍රධාන අමාත්‍යාංශ පහක් රිෂාඩ් බදියුදීන් මහතාට හිමිවෙනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වැඩියෙන්ම විශ්වාසය තැබූ ඇමැතිවරයා ලෙස අපි කියනවා. ඒ විශ්වාසය කොයිතරම් ද කියන එක සම්බන්ධයෙන් බරපතල සමාජ කතිකාවක් ඇතිවුණා. ලංකාවේ තිබු එකම හරිත සරසවියත් ඒ මහතාට බාරදී තිබෙනවා. ඒ මහතා සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය එයයි.

මේ ආණ්ඩුවේ වසර හතරක කාලය ගත්විට ඇමැතිවරු කිහිප දෙනෙක් ඉන්නවා. ගුවන් විදුලි සංස්ථාවට මේ අවුරුදු හතරට සභාපතිවරු පහයි. මොකක් ද මේ දර්ශකය. රුචිය පිළිබඳ දර්ශකයක් නෙමෙයි ද මේක.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා (එ.ජා.ප) - මාධ්‍යයේ නූතන භාවිතාව සම්බන්ධයෙන් විවේචන තිබෙනවා. ඒ තුළ වෙනසක් වෙන්න ඕන. ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණය සම්බන්ධයෙන් අපි එදා කතා කළා. නමුත් අද සිවුවැනි තැනට මාධ්‍ය පැමිණ තිබෙනවා. 2015 වසරේ මැතිවරණයෙන් ආණ්ඩුව වෙනස් වනවිට රටේ ජනතාව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස ඉල්ලා සිටියා. සහනාධාර ඉල්ලා සිටියේ නැහැ. එහෙම වුණා නම් මහින්ද රාජපක්ෂ මහතා දිනන්න ඕන. මේ කාරණා ඉල්ලීමත් සමඟ රටේ වෙනසින් පසුව මාධ්‍ය ආයතනත් පුරුදු වුණා මිනිසුන්ගේ අවශ්‍යතාවය මත කරුණු ඉදිරිපත් කරන්න. මාධ්‍යයට අද නිදහස ලැබී තිබෙනවා. මේ නිදහස ලැබෙනවාත් සමඟ මාධ්‍ය විසින් සිදුකළ යුතු වෙනස මාධ්‍යයෙන් සිදුවෙනවාද. ඔක්තෝබර් මස 26 දා සිදුවූ සිද්ධිය ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් බවට අපි සියලු දෙනාම දන්නවා. ඒ සිදුකළ වෙනස තමයි අදටත් මේ රටේ සිදුවෙන්නේ. මේ සිදුවන දේට ඒ සියලු දෙනාම වගකිව යුතුයි.

තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරන්න පුළුවන් වුණා. මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. ආචාර ධර්ම සම්බන්ධයෙන් ද අපි කතා කළයුතුයි. මේ ආචාර ධර්ම ඉතාම තදින්ම තිබිය යුතුවෙනවා. නවසිලන්තයේ සිදුවූ සිද්ධිය අවස්ථාවේ ලෝක මාධ්‍ය හැසිරුණු ආකාරය අපි දැක්කා. නමුත් අපේ රටේ මාධ්‍ය ඒ දර්ශන පෙන්නුවා. මේකම අපි තවදුරටත් කරන්නේ. මාධ්‍ය සදාචාරයක් අපි නිර්මාණය කරගත යුතුවෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජ.වි.පෙ) - අපේ රටේ ජනතාවට පිරිසිදු ආහාර වේලක් ලබාදීමේ දී වගකීමක් වාණිජ කටයුතු අමාත්‍යාංශයට තිබෙනවා. ආනයනික කිරිපිටිවලට රසායනික ද්‍රව්‍ය, සත්ත්ව තෙල් අඩංගුව තිබෙන බවට නියෝජ්‍ය ඇමැතිවරයා මේ සභාවේ දී ප්‍රකාශයක් කළා. එය ඉතාම බරපතළ සිද්ධියක්.

වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා කිරිපිටවල ගුණාත්මක බව ගැන සාකච්ඡාවක් මතුකර තිබෙනවා. බහු ජාතික සමාගම් විසින් ආනයනය කරන කිරිපිටිවල මිනිස් ආහාරයට නුසුදුසු දේ අඩංගු බවට ප්‍රකාශ කරනවිට ආණ්ඩුව මොකක් ද කළයුත්තේ. එම කිරිපිටිවලට සහතික ලබාදීමේ පුද්ගලයා බවට සෞඛ්‍ය ඇමැතිවරයා පත්ව සිටිනවා. බහුජාතික සමාගම්වලට සිතූ සේ මේ රටේ ජනතාවට වස විෂ කැවීම කිසිඳු ලෙසකින් යුක්ති සහගත නැහැ. ඒ නිසා කිරිපිටි පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළයුතුයි.

විජය පුවත්පත් ආයතනයේ හිමිකාරිත්වය දරන රුවන් විජයවර්ධන මහතා ලේක්හවුස් ආයතනය මෙහෙයවීම ගැටළු සහගතයි. ලේක්හවුස් ආයතනය මහාභාරකාර යටතේ තිබෙනවා. පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කර තිබෙන රන්ජන් හුළුගල්ලේ නැමැත්තෙකු ලේක්හවුස් ආයතනයේ මූළ්‍ය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත්කර තිබෙනවා. මේ පත්කිරීම කෙතරම් සාධාරණද. ඔහු මේ රටේ වංචාකාරී ආයතනයක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර තිබෙන පුද්ගලයෙක්. මේ පත්කිරීම සාධාරණ නැහැ.

ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැති රුවන් විජයවර්ධන මහතා - රන්ජන් හුළුගල්ල මහතා පත්කරන්න කියා මම ලිපියක් දුන්නා. ඒ මහතා පර්පචුවෙල් සමාගමේ වැඩ කර තිබෙන බවත් දන්නවා. එතුමා සුදුස්සෙක් නිසා ලේක්හවුස් ආයතනයේ මූලය අධ්‍යක්ෂවරයා වශයෙන් මම පත්කළා. මගේ සීයාගේ කාලයේ සිට එච්.ඒ.ජේ හුළුගල්ල මහතා මේ ආයතනය ගොඩනඟන්න කටයුතු කර තිබෙනවා. එතුමාටත් කරන ගෞරවයක් විදියටයි මේ පත්කිරීම කර තිබෙන්නේ. ලේක්හවුස් ආයතනයෙන් සොරකම් කරන්න මට අවශ්‍ය නැහැ. මම විජය පුවත්පත් සමාගම සමඟ සම්බන්ධ නැහැ. ලේක්හවුස් ආයතනය ගොඩනඟන්නයි මට අවශ්‍ය වෙන්නේ.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ජනාධිපතිවරයා විසින් බැඳුම්කරය සම්බන්ධයෙන් කොමිසමක් පත්කර පතිබෙනවා. එයින් අගමැතිවරයාට කිසිඳු චෝදනාවක් නැහැ. ශ්‍රේෂ්ඨාකරණ විනිසුරුවන් තිදෙනෙකු එහි සිටියා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා මුලසුනට පැමිණියේය.

කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා - අපේ ගම්වල ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමේ දී අද වනවිට යම් යම් ප්‍රශ්න තිබෙනවා. මේ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්න ඕන. අද වනවිට අපේ රටේ අර්තාපල් ගොවීන් සතුව අවශ්‍ය පමණ අර්තාපත් ප්‍රමාණයක් තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස) - වත්මන් රජයට කර්මාන්ත සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නැහැ. අගමැතිවරයාගේ උපන්දිනය හෙට. මගේ මිත්‍ර අගමැතිවරයාට සුබ පතනවා. විදේශ විනිමය අලුතින් උපයා ගැනීමට අලුතින් ආදායම් සෙවීමට හැකි වන්නේ කර්මාන්ත තුළින්. නමුත් කර්මාන්ත අමාත්‍යාංශය සඳහා ඒ වෙනුවෙන් වැඩ පිළිවෙළක් නැහැ.

ඒ නිසා මෙම ග්‍රැපයිට් කර්මාන්ත ශාලාව පරිසර අමාත්‍යාංශය වෙත පවරා ගන්න කියා මම ජනාධීපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. සමූපකාර ව්‍යාපාරය කියන්නේ අපේ රට තුළ සුවි‍ශේෂි ස්ථානයක් හිමි වූ ස්ථානයක්. අද සමූකාර කොමසාරිස්වර‍යෙක් ඉන්නවද කියලවත් දන්නේ නැහැ.

කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ මහතා - ප්‍රාදේශිය මාධ්‍ය කරුවන් සම්බන්ධයෙන් මම මුලින්ම අවධානය යොමු කරනවා. ප්‍රාදේශිය මාධ්‍යවේදීන් මාණ්ඩලික වාර්තා කරුවන් විශාල වැඩ කොටසක් ඉටු කරනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් අවශ්‍ය රැකවරණ වැඩපිළිවෙලක් සකස් කරන්න. පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුව තුළ විශාලකාර්ය භාරයක් ඉටුකරනවා. ඒ අයගේ සුබසාධන පහසුකම් වැඩිකළ යුතුයි.අන්තර්ජාල පහසුකම් ඇතුළු අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඔවුන්ට ලබාදිය යුතුයි.

මුද්‍රිත කඩදාසි බද්ද වැඩකිරිම නිසා පුවත්පත් කර්මාන්තයට විශාල බලපෑමක් සිදුවී තිබෙනවා. ඒ නිසා මේ ගැන අවධානය යොමුකරන්න. දේශීය ටෙලි නිර්මාණ වෙනුවෙන් යම් බද්දක් අය කරනවා. ඒ බද්ද ලෙස අයකරන මුදල් ඒ අය වෙනුවෙන් යෙදවිය යුතුයි. මාධ්‍ය ආයතන වල සේවය කරන මාණ්ඩලික වාර්තාකරුවන්ද දක්ෂ අය ඉන්නවා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් වගේම වෘත්තීය වශයෙන් ඉදිරියට යාමටත් උදව් කළ යුතුයි.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එ.ජ.නි.ස) - ජනමාධ්‍ය විෂය රුවන් වි‍ජේවර්ධන මහතා වැනි කෙනෙකුට ලබාදීම හොදයි. මොකද ඒ මහතාට ජනමාධ්‍ය විෂයට සුදුසුකම් තිබෙනවා.

දිවා ආහාරය සඳහා කල් තැබූ පාර්ලිමේන්තුව පස්වරු 1.00 යළි රැස්විය.

පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (එ.ජා.ප) - සමුපකාරයේ තනතුරු නැදැකමට, හෙන්චයි කමට ලබාදිම නතර කිරිමට පියවර ගතයුතුයි. සමුපකාර ව්‍යාපාරය සමෘද්ධියට සම්බන්ධ කළ යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා (එ.ජ.නි.ස) - අද වනවිට දළදා මාළිඟාව ආශ්‍රිතව ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සඳහා යෝජනාව නිල වශයෙන් බාරදීම මේ මොහොතේ සිදුවෙනවා. පසුගිය කාලය පුරා අපේ රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගත්තා. එය හොඳ කටයුත්තක්. මේ සඳහා නායකත්වය ලබාදුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේ ස්තුතිය පිරිනමනවා. රටේ ආර්ථික දියුණුවක් නොමැතිව කර්මාන්ත පමණක් දියුණු කරන්න බැහැ. මේ නිසා මුදල් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය යම්කිසි සම්බන්ධීකරණයකින් කටයුතු කළයුතු වෙනවා.

ටී.එන්.එල් නාලිකාවේ කුළුණක් සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නය අපි දන්නවා. විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් සෑම නාලිකාවකටම බලපත්‍ර ලබාදෙනවා. ඒ අය ආවරණය කරන කුළුණු තිබෙනවා. නමුත් පොල්ගහවෙල කුළුණ සම්බන්ධයෙන් කිසිඳු සදහනක් නොමැතිව තිබූ නිසා ඒ කුළුණ ඉවත් කරන්න පියවර ගත්තා. මෙය පලිගැනීමේ අරමුණින් කළ දෙයක් නොවේ. ක්ෂේත්‍ර 54කට ජනාධිපති සම්මාන උළෙලක් ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙනවා. අපේ රටේ පළමුවරට අපේ රටේ ගුවන් විදුලි, රූපවාහිනී, පුවත්පත් සහ වෙඩ් අඩවි සඳහා ද සම්මාන හිමිවෙනවා.

පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.

පරිසර හා මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නපෙරුම මහතා - වත්මන් යහපාලන රජය තරම් මේ රටේ මාධ්‍ය නිදහසක් ලබාදුන් කාලයක් ඉතිහාසයේ නැහැ. සිංහරාජය මැද්දෙන් ලොකු පාරක් කපන බවට පසුගිය දිනවල මාධ්‍ය මඟින් ප්‍රචාරය කළා. මම එය බලන්න ගියා. එහෙම එකක් නැහැ. අද වනවිට විල්පත්තු වනය විනාශ කරන බවට චෝදනා කරනවා. විල්පත්තු වනයේ කිසිඳු බිම් කඩක් මේ ප්‍රශ්නයට සම්බන්ධ නැහැ.

පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වනාන්තරය තිබෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධ වී තිබෙන්නේ මන්නාරම් දිස්ත්‍රික්කයේ. විල්පත්තුව වනයේ විනාශ වීමක් නැහැ. මන්නාරම් දිස්ත්‍රික්කයේ ජනාවාස සඳහා දුන් දෙයක්. නමුත් මාධ්‍ය මඟින් විල්පත්තුව විනාශයි කියා චෝදනා කරනවා. මේ ඉඩම් දුන්නේ 2013 වසරේ ජනවාරි මස 2 දා සහ එම වසරේ මැයි මාසයේ දී.

ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැති රුවන් විජයවර්ධන මහතා - මේ පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට උපදෙස් දෙන්න පුළුවන්. ඒවා කඩිනම් කරන්න කියන්න පුළුවන්. ඒ වගේම යම් යම් අසාධාරණ සිදුව තිබෙන අයට සාධාරණයක් ඉටුකරන්න අපි සොයා බලනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (එ.ජ.නි.ස) - කර්මාන්ත අමාත්‍යාංශයෙන් පසුගිය කාලයේ විශාල සේවාවක් සිදුවුණා. ලංකා සතොස ආයතනය යළි ආරම්භ කළා. ගොවි ජනතාව වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය නැවත ආරම්භ කළා. මේ ආයතන දෙකෙන් රටේ ජනතාවට දැනෙන විශාල සේවාවක් සිදුවුණා.

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා - කර්මාන්තයක් පටන් ගන්න යනවිට අපේ රටේ ගතවන කාලය වැඩියි. ඉඩම් ලබාගැනීමේ ගැටළු තිබෙනවා. මේ සම්බන්ධයෙන් විසඳුමකට යන්න සාකච්ඡා කරනවා. එයින් ඉඩම් පිළිබඳ තිබෙන ගැටළුව විසඳා ගන්න පුළුවන් වෙයි. මන්නාරම, අලිංමකඩ ලුණු ලේවායන් ලබාගන්න හැකි තත්ත්වයක් තිබෙනවා. ලංකාවේ ලුණු අස්වැන්න පිටරටටත් යවන්න හැකි මට්ටමින් නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයි. නිෂ්චිත කාල රාමුවක් සමඟ අපිට වැඩසටහන් තිබෙනවා. ආයතන 32ක් අපේ අමාතයාංශයට තිබෙනවා.

ලංකාවේ පළමු කාන්තා ව්‍යවසායක කර්මාන්ත පුරය ආරම්භ කරන්න අපි කටයුතු සම්පාදනය කර තිබෙනවා. නංවමු ලංකා වැසටහන යටතේ රුපියල් බිලියන දෙකක මුදලක් වෙන්කර තිබෙනවා. ව්‍යවසායකයන් ලක්ෂයක් සවිබල ගන්වන්න, නවකයන් සමාජ ගතකරන්න මේ තුළින් පියවර ගන්නවා. හුදෙක් ආධාරයක් සහ පුහුණුවක් දී එතනින් එළියට යන වැඩසටහන් බවට පත්කරන්න සූදානම් නැහැ. එය එතනින් ඉදිරියට ගොස් රටේ ආර්ථිකයට දායකවන වැඩසටහන් බවට පත්කරන්න කටයුතු කරනවා. දේශීය කර්මාන්ත නංවන්න ප්‍රායෝගික වැඩපිලිවෙලක් අවශ්‍ය වෙනවා. අපේ දේ ගන්න අවශ්‍ය පහසුකම් දෙන්න අපේ අමාත්‍යාංශය පියවර ගන්නවා. ර්මාන්තකරුවන්ගේ එකමුතුවක් අද බිහිවෙන්න යනවා. සියලු කර්මාන්තකරුවන් ජාතික මට්ටමින් ගොනු කරන්න සැලසුම්කර තිබෙනවා.

පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එ.ජා.ප) - මේ ආණ්ඩුව වසර හතරක කාලයේ දී මාධ්‍ය නිදහස හොඳින් තිබෙනවා. පසුගිය කාලයේ රජයේ මාධ්‍යය තුළ විපක්ෂයට අවස්ථාවක් තිබුණේ නහැ. නමුත් අද එවැනි තත්ත්වයක් නැහැ.

ත්‍රිකුණාමල දිස්ත්‍රිත් මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා (එ.ජ.නි.ස) - ඛණිජ වැලි සඳහා අගය දාමය වැඩිකර කර්මාන්තය දියුණු කරන්න ඇමඇතිවරයා කටයුතු කිරිම හොඳයි. අපේ ප්‍රදේශයේ තඹ නිධියක් තියෙනවා එවා දියුණු කලොත් විරැකියාව අඩුවෙයි. රටට ආදියම එයි. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තය දියුණු කරන්න අවශ්‍යයි.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එ.ජා.ප) - ලේක්හවුස් ආයතනයේ මුදල් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමැතිවරයා වගකීම බාර ගත්තා. පරීක්ෂණයක් සිදුකළ ද ඔහු වැරැදිකරුවෙක් නොවේ. රූපවාහිනියේ සිදුවන කාර්යයන් සම්බන්ධයෙන් අපි දිඟින් දිඟටම සොයා බලනවා. ඒ වැරැදි නිවැරැදි කරන්න මාසයක් ඇතුළත රාජ්‍ය ද්‍රෝහී කටයුත්ත සිදුවූ කාලයේ වැරැදි කළ සියලු දෙනාටම දඬුවම් දියයුතු වෙනවා. මේ කණ්ඩායම කළ කාර්යයන් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා.

මේ දින 52 දී මාධ්‍ය ආයතන තුළ සිදුවූ කාර්යය මෙන්ම එම කාලයේ දී මාධ්‍ය ආයතන රැකගන්න කටයුතු කළ නිලධාරීන් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. බොරුව ජනගත කිරීමෙන් මාධ්‍ය ආයතන වැලකී සිටිය යුතු වෙනවා. 2015 දී රුපියල් මිලියන 900ක ලාභයක් සමඟ සතොස බාරදුන් බවට ප්‍රකාශ රුපියල් බිලියන 1.6ක පාඩුවක් අදටත් තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැති රුවන් විජයවර්ධන මහතා - මම දේශපාලනයට ප්‍රවේශ වනවිට විජය පුවත්පත සමඟ සබඳතා නතර කළා. එම සමාගමේ තිබෙනවා නීතියක් දේශපාලනයට එනවා නම් සබඳතා නතර කළයුතුයි කියා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න කලින් ලංකාදීප පුවත්පත මේ රටේ ඉදිරියෙන්ම සිටියේ. මම දේශපාලනයට පැමිණ විජය පුවත්පතට සේවයක් කරන්නේ නැහැ. එහි දක්ෂ කාර්යය මණ්ඩලයක් හා කර්තෘ මණ්ඩලයක් ඉන්නවා. මේ රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් මගේ වගකීම මා වෙත පැවරී තිබෙනවා.

වත්මන් රජය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කිරීමට අපේක්ෂා කරන ප්‍රශස්ථ මැදිහත්වීම් සඳහා නායකත්වය දීම සහ මේ රට තුළ සුවිශේෂී සලකුණක් තැබූ මාධ්‍ය පරපුරක, ගෞරවය ආරක්ෂා කිරීමටත් මා උර මත පැවරී තිබෙනවා. ජනමාධ්‍ය ගැන කතා කරනවිට ප්‍රධාන සටන් පාඨය වන්නේ මාධ්‍ය නිදහසයි. මිනිස් සමාජය තුළ තොරතුරු හා දැනුම සීමා වූ යුගයක් තිබුණා. එම යුගයේ තොරතුරු සැඟවීමෙන් මිනිසුන් පාලනය කිරීමට හැකියාවක් තිබුණා.

රාජ්‍ය මාධ්‍ය කියන්නේ පාලකයන්ගේ තොරතුරු නොවන බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා කියන්නේ රාජ්‍ය මාධ්‍ය සියල්ලගේ සී.ඊ.ඕ. කෙනෙකු නොවන බවත් මා හොඳින් තේරුම් ගෙන තිබෙනවා. අපේ මාධ්‍ය ආයතනවල ඉන්න ඇතැම් වෘත්තිකයන් මෙය තවමත් තේරුම් ගෙන නෑ. ඔවුන් තම වෘත්තියයි, දේශපාලනයයි පටලවාගෙන සිටිනවා. රාජ්‍ය මාධ්‍ය තවදුරටත් භාණ්ඩාගාරයට වැය බරක් වන තත්ත්වයෙන් නිදහස් කර පෞද්ගලික අංශය සමඟ තරගඟකාරීව පෙරට ගැනීම සඳහා සුදුසු ආයතනික පරිසරයක් ඇති කිරිම සඳහා ක්ෂේත්‍ර ගණනාවකින් අපි වෘත්තීන් සැළසුම් කර තිබෙනවා.

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අපේක්ෂා කරන පරිවර්තනය සිදු කිරීමේ එහි මූලික ඒකකය ලෙස හඳුනාගන්නේ මාධ්‍යවේදියායි.ඔහු දැනුමෙන් හා පුහුණුවෙන් සවිබල ගැන්වීමට ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන වැනි දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් ශක්තිමත් කර ඉදිරියට ගෙන යන්න අප බලාපොරොත්තු වෙනවා. ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පුහුණු ආයතනයක් ඇරඹීමට සැලසුම් කොට තිබෙනවා. උසස් මාධ්‍ය ප්‍රමිතීන් දිරිමත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට මූලික කටයුතු මේ වනවිට සිදු කරමින් පවතිනවා. සම්මාන 54ක් පිරිනැමෙන මෙම සම්මාන උළෙල එළඹෙන අප්‍රේල් 10 දින කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

මංගල සමරවිර මහතා විසින් පත්කළ විද්වත් කමිටුවේ විසින් අවසන් කරමින් පවතින යෝජනා කරන මාධ්‍ය බලපත්‍ර ලබාදිමේ ක්‍රමවේදය පිළිබඳ මහජන අදහස් විමසා කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුයි. මාධ්‍ය විකාශන ශ්‍රේණිගත කිරීම ක්‍රමවේදය විනිවිදභාවයකින් සහ විශ්වාසනීයවන්තව සිදු කිරීමට විධිමත් ක්‍රමවේදයක් ඉදිරි කාලයේ සකස් කළ යුතු වෙනවා.

මාධ්‍යවේදීන්ට අප බලපෑම් කර නෑ. සුදු වෑන් සංස්කෘතියක් නෑ. දමිළ මාධ්‍යවේදීන් ඝාතනය වුණා. ඒ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල්වලට යම් කිසි වන්දියක් ලබාදීමට මා සමඟ සාකච්ඡා කළා. ඒ ඉල්ලීම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

කර්මාන්ත වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ සහ සමූපකාර සංවර්ධන ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා - නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් අපි හොඳින් කටයුතු කරගෙන යනවා. මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නවා. විවිධ අංශ සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. දේශීය කර්මාන්ත සියයට 2.5කින් වර්ධනය කරන්න අපේක්ෂා කරනවා. අතරමැදි භාණ්ඩ සඳහා සෙස් බද්දක් අයකරනවා. කාර්මික ජනපද 35ක් මේ රටේ තිබෙනවා. ඒ වෙනුවෙන් ආයෝජකයන්ට ඉඩම් ලබාදෙනවා. මෙයින් කර්මාන්තකරුවන් 946 දෙනෙක් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වී සිටිනවා. මම අමාත්‍යාංශය බාර ගන්නා විට පාඩු ලබමින් සිටි ආයතන අද වනවිට ලාභ ලබන තත්ත්වයට පැමිණ තිබෙනවා. ඛණිජ වැලි නිධිය පෞද්ගලික අංශයට පවරන්න කිසිඳු සැලසුමක් නැහැ.

ලංකා මිනරල් සමාගම ප්‍රතිව්‍යුහගත කරන්න පියවර ගෙන තිබෙනවා. මෙවර අයවැය යෝජනා මඟින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහන සලසනන්න යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. විශාල රැකියා සංඛ්‍යාවක් ද ස්ථාපිත වෙනවා. ඇඟළුම් කර්මාන්තයට එවැනි සහායක් අවශ්‍ය වෙනවා. ඇඟළුම් අංශයේ රැකියා පුහුණු වැඩසටහන් පවත්වමින් රැකියා අවස්ථා ඇතිකර තිබෙනවා. ජාතික සමූපකාර ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් ජාතික සමූපකාර ආයතනය හරහා විශාල වැඩකොටසක් සිදුකර තිබෙනවා. කර්මාන්ත දියුණු කරන්න පෞද්ගලික අංශයේ සහාය ඉතාම වැදගත්.. අපේ ආණ්ඩු පැමිණි පසුව රුපියල් 10,000 කින් පඩි වැඩිකළා. සියලුම ආයතන ලාබ දරන ආයතන බවට පත්ව තිබෙනවා.

 

පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 9.30 ට යළි ආරම්භ වීමට නියමිතයි.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ මහින්ද අලුත්ගෙදර


නව අදහස දක්වන්න