මා දුටු රනිල් | දිනමිණ

මා දුටු රනිල්

වසර 1835 දී ඇරැඹි අප රාජකීය විද්‍යාලයේ 150 වැනි සංවත්සරය යෙදී තිබූ 1985 වසරේ එම සුවිශේෂී සැමරුම, විශාල ප්‍රදර්ශනයක් මෙන්ම සැණකෙළියකින් පැවැත්වීමට ආදි සිසුන් විසින් වැඩසටහන් සම්පාදන කොට තිබුණි.

ඊට සමගාමීව පාසලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමජිකයන් වූ අප අසරණ පවුල් 15කට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ද සංවිධාන කොට තිබිණ. ඒ සඳහා අවශ්‍ය අනුමැතිය අප ලබාගත යුතුව තිබුණේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගෙනි. පාසල අසන්නයේම පිහිටි ඔහුගේ නිවෙසට අප පැමිණියේ අවශ්‍ය අනුමැතිය ලබා ගන්නටය. අපගේ උත්සාහය සහ උනන්දුව මෙන්ම අරමුණ ඔහුගේ පැසසුමට ලක් කරමින් ඒ වෙනුවෙන් එතුමාගේ සහාය ලබාදීමට කැමැත්ත පළ කළ අතර, ඒ මා සහ එතුමන් හමු වූ පළමු අවස්ථාව විය.

එදා සිට බොහෝ කටයුතු වෙනුවෙන් මා එතුමන් හමුවිය. ඒ සෑම මොහොතකදීම එතුමන් සතු නිහතමානීත්වය, ඇහුම්කන්දීම මෙන්ම ක්‍රියාශීලී බව වඩා දීප්තිමත්ව දිස්විය. එමෙන්ම ධවල පත්‍රිකාව ඉදිරිපත් කළ අවස්ථාවේ මෙන්ම ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන මොහොත දක්වාම පක්ෂය මෙන්ම නායකත්වයට ශක්තියක් වූ අයුරු ප්‍රශංසනීයය. තව ද හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාට එරෙහිව නැඟුණු දෝශාභියෝගය අවස්ථාවේ බොහෝ දෙනකු සිතුවේ වික්‍රමසිංහ මහතා ලලිත් - ගාමිණී හා එක්ව ජනාධිපති ප්‍රේමදාස පරාජය කිරීමට කටයුතු කරනු ඇති බවය.

එහෙත් එය එසේ නොවිණ. වික්‍රමසිංහ මහතා පක්ෂය මෙන්ම පක්ෂ නායකත්වය රැක ගැනීමේ සටනට උර දුන්නේ අභියෝග හමුවේ නොසැලීය. අවසානයේ ජනාධිපතිට එරෙහි දෝශාභියෝගය පරාජය කරන ලද්දේ පක්ෂය මෙන්ම නායකත්වය ද රැක ගැනීමේ අදිටනින්ය. එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරයකින් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වූ මොහොතේ දී රට අස්ථාවරවීමට ඉඩනොදී වහා ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාට ජනාධිපතිවීමට අවශ්‍ය සියලු කටයුතු මෙහෙය වූයේ වික්‍රමසිංහ මහතාය.

ඉන් වැඩි කලක් යන්නට මත්තෙන් එදා ජනාධිපති අපේක්ෂක වූ ගාමිණී දිසානායක මහතා අතුළු පක්ෂයේ මුල් පෙළේ නායකයන් රොත්තක් එකම වේදිකාවක දී සමුගත් මොහොතේ දී ඇති වූ මහා හිඩැස පිරවීමට පක්ෂයේ තීරණාත්මක මොහොතක දී නායකත්වයේ වගකීම් වික්‍රමසිංහ මහතා වෙත පැවරුනේ පක්ෂය අඩියටම වැටී සිටි අපහසුම අවස්ථාවකදීය. එදා සිටි නව්‍යත්වයට ඉඩ දෙමින් ලෝකය සමඟ වෙනස් වන සමාජීය වෙනස්කම් හඳුනාගෙන පක්ෂය මෙහෙය වූ අයුරු සුවිශේෂීය.

එක්සත් ජාතික පක්ෂයට සමාජ මාධ්‍ය හඳුන්වා දුන්නේ Green Blood (UNP) තරුණ කණ්ඩායමයි. එසේ සමාජ මාධ්‍ය ජාලයේ තීරණාත්මක බලවේගය ගොඩනැ‍ඟීමට Green Blood කණ්ඩායමට උපදෙස් ලබා දුන්නේ වික්‍රමසිංහ මහතාය. නව්‍යත්වය කෙරෙහි එතුමාගේ දැක්ම ඉන් වඩා පැහැදිලිය. අවලාද මඩවලින් නොව සත්‍යය මත පදනම්ව යුක්තිය වෙනුවෙන් රටේ තීරණාත්මක බලය ගොඩනැ‍ඟීමට එදා ඔහු අපට බාර දුන් වගකීමේ ප්‍රතිඵල වැඩි කලක් යන්නට පෙර අප ලබාගත්තේ අසත්‍ය මඩ මත රජයේ මාධ්‍යයන් පවා හැසිරුණු යුගයකය. එහි සුවිශේෂී ජය අප ලබා ගත්තේ 2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් පසුවය. එය මහින්ද රාජපක්ෂ පසුව මාධ්‍ය හමුවේ පවසා සිටියේ ‘FaceBook’ කාරයෝ ටික මාව පරාජය කළ බවයි. එමෙන්ම වත්මන් ජනපති සිරිසේන පැවැසුවේ තම ජයග්‍රහණයේ තීරණාත්මක බලය වූයේ සමාජ මාධ්‍ය බවයි. එහෙත් ඒ තීරණාත්මක බලය ඊට වසර ගණනාවකට පෙර බිහි වූයේ වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බව ඇතැමුන් නොදන්නවා විය හැකිය. ඒත් ඇත්ත එයයි.

‍රමසිංහ මහතාට ‘Green Blood’ සංවිධානය කෙරෙහි ඇත්තේ වඩා සුවිශේෂී ලබැඳියාවකි. එනම් රනිල්ට බෑ කියූ කාලේ කවුරුත් නැති කාලේ ඇතැමුන් හැංගුණු කාලේ ‘රනිල්ට පුළුවන්’ කියමින් විවේචනය මැද අප ගිය ගමන එතුමන් දන්නා බැවිනි.

සමාජ මාධ්‍ය සටනට සමගාමීව ගම් මට්ටමේ බිම් මට්ටමේ මැතිවරණ සටනේ අප වෙත දුන් ඉලක්ක අප ජය ගත්තේ Green Blood අපට වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබුණු නිසාය. වරක් එක් මැතිවරණයක දී දිනන්න බෑ කියු අප වෙත ලැබුණු අභියෝගය වූ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇළ ආසනය ජයගෙන පෙන්වූයේ අප Green Blood කණ්ඩායමේ කැපවීමෙනි. අදට ද අප Green Blood කණ්ඩායමේ සාමජිකයන්ගේ මංගල්‍යයක දී, පවුලේ සාමාජිකයන්ගේ අවමඟුල් උත්සවයක දී පවා කෙතරම් රාජකාරි තිබුණ ද සභාගිවීමට අමතක නොකරන්නේ අපහසුම කාලේ එතුමන් සමඟින් සිටි පිරිස එතුමන්ට අමතක නොවුණු නිසාය.

ලක් දෙරණ දිනවන්නට ඔබගේ සුබ සිහිනය ජය ගන්වන්නට යන ගමනේ එදා අද මෙන් හෙටත් ඔබ හා අප ඉන්නා බව නැවත නැවත් සපථ කරන්නෙමි. උතුම් දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් සියලු බාධක හමුවේ නොසැලී පෙරටම යන්නට සියලු ශක්තිය ප්‍රාර්ථනා කරන අතර, Green Blood සංවිධානයේ අප නිදුක් නිරෝගී සුව පිරි වාසනාවන්ත සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන්නෙමු !

ලසන්ත ගුණවර්ධන
Green Blood (UNP)
සංවිධානයේ උපදේශක 


නව අදහස දක්වන්න