මාධ්‍ය මර්දනය 2015 අවසන් කළත් එහි සෙවනැලි තවමත් හොල්මන් කරනවා | දිනමිණ

මාධ්‍ය මර්දනය 2015 අවසන් කළත් එහි සෙවනැලි තවමත් හොල්මන් කරනවා

මාධ්‍යවේදින් මරා දැමුණු, මාධ්‍ය ආයතන ගිණි තැබු , මාධ්‍ය ආයතන තුළට මැරයන් කඩාපැන යකා නැටූ අදුරු යුගය 2015 වසරින් පසුව අවසන් කළද එහි සෙවනැලි තවමත් හොල්මන් කරන බව ආරක්ෂක රාජ්‍ය, ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (23) ප්‍රකාශ කළේය. ඔක්තෝම්බර් 26 වැනිදායින් පසුව ආරම්භ වූ අර්බුද සමය තුළ මේ තත්ත්වයේ කූඨ ප්‍රාප්තිය නැවත වතාවක් දක්නට ලැබුණු බවත් නීති රීති පැනවීම වෙනුවට මාධ්‍යය යම් ප්‍රමිතිකරණයකට ලක්කළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එසේම පැරණි අඳුරු යුගයේදී බීප් නාදයවත් නොමැතිව නිහඩව සිටි ඇතැම් මාධ්‍ය ආයතන , වත්මන් රජය ඇතිකළ නව නිදහස තුළ ඉතාමත් අශෝභන ලෙස මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කරමින් පක්ෂග්‍රාහි ලෙස කටයුතු කළ ආකාරය දක්නට ලැබුණු බවද ඇමතිවරයා කීය.

ජනතාවගේ සංඛ්‍යාත හිතුවක්කාරි ලෙස අවභාවිතයේ යෙදිම වෙනුවට වගකීම් සහගත සමාජ මෙහෙවරක යෙදිම එවැනි මාධ්‍ය ආයතන වල වගකීමක් බවත් විජේවර්ධන මහතා සඳහන් කළේය.

එමෙන්ම හිටපු ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පත්කරන ලද කමිටුවේ නිර්දේශ අනුව මාධ්‍ය බලපත්‍ර ලබාදිමේ ක්‍රමවේදය පිළිබඳ මහජන අදහස් විමසා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇමති රුවන් වි‍ජේවර්ධන මහතා මේ බව සඳහන් කළේ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා සිය අදහස් දක්වමිනි.

ස්වර්ණා විජේකෝන්, ‍රෝෂන් තුෂාර, මහින්ද අලුත්ගෙදර

 


නව අදහස දක්වන්න