පුල්මුඩේ වැලි නිධිය විකුණන කිසිම සූදානමක් නෑ | දිනමිණ

පුල්මුඩේ වැලි නිධිය විකුණන කිසිම සූදානමක් නෑ

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය පෞද්ගලික අංශයට විකිණීමට හෝ විදේශීය සමාගමට ලබාදීමේ කිසිඳු උත්සාහයක් නැතැයි කර්මාන්ත හා වානිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ප්‍රයෝජනයට ගනිමින් අගය එකතු කිරීම වෙනුවෙන් වැපපිළිවෙළක් ක්‍රියාත්මක බවත් මෙම ආයතනය තම අධික්ෂණය යට‍තේ ලාභ ලබන ආයතනයක් ලෙස පවතින බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එමෙන්ම විෂය භාර ඇමතිවරයා ලෙස තමන් මෙම ආයතනය ලබාගන්නා විට ඛනිජ වැලි සංස්ථාවේ ස්ථිර තැන්පතුව රුපියල් මිලියන තුන්සියයක් ලෙස පැවැති අතර එය රුපියල් මිලියන තුන්දහස දක්වා වැඩිකිරීමට හැකිවූ බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.‍

ඇමති රිෂාඩ් බදියුදින් මහතා මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.‍

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති රිෂාඩ් බදියුදීන් මහතා

මා පුල්මුඩේ ඛනිජ වැලි නිධිය භාර ගනිද්දි එහි ස්ථාවර තැන්පතුව තිබුනේ මිලියන තුන්සියයි. නමුත් මා පැමිණ ස්ථාවර තැන්පතුව රුපියල් මිලියන තුන්දහස දක්වා වැඩිකළා.

පුල්මුඩේ ඛණිජ වැලි නිධිය විදෙස් සමාගමකට හෝ පුද්ගලික අංශයට විකිණීමට යන බවට කියවෙන ප්‍රකාශයෙහි කිසිඳු සත්‍යතාවක් නැහැ.මෙම ඛනිජ වැලි නිධිය කිසිවකු‍ට විකුණන්නේ නැහැ කියලා මම මෙතන සහතික වී කියනවා. අනිත් එක ඒ වෙනුවෙන් කිසිම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලත් නැහැ. ඉදිරිපත් කරන්නෙත් නැහැ. අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා අගය එකතු කිරීම වෙනුවෙන්. ලෝකයේ බොහෝ රටවල් මෙවැනි නිෂ්පාදන වෙනුවෙන් අගය එකතු කිරීම සිදුකරනවා.එහිදි අගය එකතු කිරිම වෙනුවෙන් දෙස් විදෙස් කවර හෝ අයකුට ඉදිරිපත් විය හැකියි. කව්රු හරි කැමති අයෙක් ඉන්නවා නම් මේ වෙනුවෙන් ඉදිරිපත් විය හැකියි. මාස තුනක කාලයක් ගත්තම මේ වෙනුවෙන් ලෝකයේ සමාගම් ගණනාවක් ඉදිරිපත් වුණා. එහිදි අවසානයට සමාගම් දෙකයි ඉතිරි වුනේ. අපි දැනට එම සමාගම් වලට කියල තිබෙන්නේ ටයිටේනියම් ඔක්සයිඩ් සෑදිම සඳහා අවශ්‍ය ඉඩම් පහසුකම දෙනවා කියලා විතරයි.

මේ ක්‍රමවේදයෙන් පසුව අපගේ ආදායම සිය ගුණයකින් වැඩිවෙනවා.

අනුර දිසානායක මහතා

ඔබ කැඳවූ සමාගම් අතර ජපාන සමාගමක් තිබෙනවාද. ඒ වගේම රාජ්‍ය භාගයක් රඳවා ගන්නවාද.

රිෂාඩ් බදුයුදීන් මහතා

කිසිම රාජ්‍ය භාගයක් රඳවා ගන්නේ නැහැ. ආයතනයට අයිති වැලි එලියේ තිබෙනවා. මේවා පොලිසිය සමඟ එකතු වී ප්‍රාදේශීය දේශපාලකයොත් ගෙනියනවා. ඒ නිසා වැටක් ගහන්න හදද්දි මේ අය එරෙහි වුණා. අපි ගමේ ඉඩම් ගන්නේ නැහැ. ආයතනය බාර ගත්තට පස්සේ මේ ආයතනය මම පිරිසිදුව ගෙන යනවා.දේශපාලකයෝ පත් කර නෑ. වැදගත් නිලධාරීන් පත් කර තිබෙන්නේ. අගය එකතු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හොත් රටට විශාල ආදායමක් එනවා.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සන්ධ්‍යා කරුණාරත්න

 


නව අදහස දක්වන්න