පාකිස්තානයෙන් ආ කුඩු නැව දකුණු මුහුදේදී අත්අඩංගුවට | දිනමිණ

පාකිස්තානයෙන් ආ කුඩු නැව දකුණු මුහුදේදී අත්අඩංගුවට

ගාල්ල දකුණු මුහුදු තීරයේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 100ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ටෝලර් යාත්‍රාවක් ඉරාන ජාතිකයන් නව දෙනකු සමඟ ඊයේ(24) අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්විය. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ආරක්ෂක අංශ පරීක්ෂා කරන අයුරු..   ඡායාරූප- චමින්ද නිරෝෂන්

පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබුණු හෙරොයින් තොගයක් රැගත් කුඩා නෞකාවක් ඉරාන ජාතිකයන් 09 දෙනෙක් සමඟ ජාත්‍යන්තර මුහුදු සීමාවට ආසන්න දකුණු මුහුදේදී අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂක අංශ ඊයේ (24)

අලුයම සමත් විය. හෙරොයින් කිලෝ 600 ක් පමණ රැගත් එම කුඩා නෞකාව නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා මගින් වටලන විට එහි තිබුණූ හොරොයින් විශාල ප්‍රමාණයක් ජාවාරම්කරුවන් මුහුදට දමා ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාශයභාර ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සඳහන් කළේය. ඒ අනුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ හෙරොයින් කිලෝ 100 ක් පමණක් බව ඔහු පැවැසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් විශේෂ කාර්ය බළකායත් නාවික හමුදාවත් එක්ව මෙම වැටලීම දියත්කර තිබේ. මෙම කුඩා නෞකාවේ තිබුණු හෙරොයින් වලින් කොටසක් මෙරටටත් ඉතිරි කොටස මාලදිවයින සහ සීෂෙල්ස් වෙතත් රැගෙන යාමට නියමිතව තිබී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා කීය.

මෙම කුඩා නෞකාව ඉරානයේ ලියාපදිංචි කළ එකක් බව සඳහන්ය. එම නෞකාව ට්‍රෝලර් යාත්‍රාවකට වඩා තරමක් විශාල සහ නෞකාවකට වඩා කුඩාය. ඉරානයේ සිට එම නෞකාව පකිස්තානයේ කරච්චි වරයාට ආසන්න මුහුදු තීරයේ නැංගුරම්ලා තිබී ඇති බවත් දින කිහිපයකට පෙර එම නෞකාවට කුඩා බෝට්ටු මගින් පකිස්තානු ජවාරම්කරුවන් එම හෙරොයින් තොග පටවා ඇති බවත් අනාවරණය වී තිබේ.

ඉකුත් දෙසැම්බර් 18 වෙනිදා බේරුවලින් අල්ලාගන්නා හෙරොයින් කිලෝ 231 ද මේ ආකාරයට පකිස්තානයේ සිට ඉරාන් ජාතිකයන් පිරිසක් විසින් කුඩා නෞකාවකින් ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ රැගෙනවිත් දකුණු මුහුදු තීරයේදී මෙරට ජාවාරම්කරුවන්ට ලබාදී ඇති බවද හෙළිවිය. එම හෙරොයින් කිලෝ 231 අත්අඩංගුවට ගන්නේ මෙරට බෝට්ටුවකින් බේරුවලට රැගෙන එමින් තිබියදී දකුණු මුහුදු තීරයේදීය. පොලිස් තොරතුරු අනාවරණය කරන ආකාරයට මෙරට මුහුදු තීරයේදී කළ විශාලතම හෙරොයින් වැටලීම වන්නේ එයය.

එයටය පෙර මෙවන් විශාල වැටලීමක් මෙරට ගැඹුරු මුහුදේ කර ඇත්තේ 2016 වසරේ අප්‍රේල් 01 වෙනිදා ය. දකුණු මුහුදේ ජාත්‍යන්තර සීමාවට ආසන්නයෙන් එම වැටලීම කර තිබිණි. හෙරොයින් කිලෝ 111 ක් සමග ඉරාන් ජාතිකයන් 11 දෙනෙක් කුඩා නෞකාවක්ද සමග එදා අත්අඩංගුවට ගැනීමට සමත් විය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ඊයේ 24 කළ වැටලීමේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ඇග්ෆනිස්ථානයේ සිට පකිස්තානයට මෙයට සතියකට පමණ පෙර මුහුදු මාර්ග ඔස්සේ කුඩා බෝට්ටුවලින් රැගෙනවිත් ඇතැයි විශේෂ කාර්ය බළකායට සිය ජාත්‍යන්තර ඔත්තුකරුවන්ගෙන් ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. එම මත්කුඩු තොගය මෙරට ජාවාරම්කරුවන් ඇනවුම් කරන මොහොතේ සිටම තොරතුරු රැස්කරමින් සිටි විශේෂ කාර්ය බළකාය නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමග එක්ව මහා මුහුදේදීම මෙම වැටලීම කරනුයේ හෙරොයින් තොගයෙන් කොටසක් වෙනත් රටකට රැගෙන යන්නට ඡාවාරම්කරුවන් සැළසුම්කර තිබුණු බැවිනි.

ජාවාරම්කරුවන්ගේ ගෝලයින් ලෙස වෙස්වලාගත් විශේෂ කාර්ය බළකායේ සහ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ධීවර බෝට්ටුවක නැගී මහා මුහුදට ගොස් මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබුණු නෞකාව මුලින්ම හඳුනාගෙන තිබේ. මෙරට ජාවාරම්කරුවන් ඇණවුම්කර තිබුණූ හෙරොයින් තොගය රහස් සංකේත ඉදිරිපත්කරමින් ඔවුන් ලබාගැනීමට උත්සහයක්ද දරා තිබේ. එහිදී යම් සැකයක් නෞකාවේ සිටි පිරිසට ඇතිවී ඔවුන් හෙරොයින් පාර්සල් කඩමින් මුහුදට වීසිකරන්නට පටන් ගෙන ඇති බව සඳහන්ය. එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා එම නෞකාව වටලා තවදුරටත් හෙරොයින් පාර්සල් වීසි කරන්නට ඉඩ නොතබමින් ඉරාන් ජාතිකයන් සමග නෞකාව සිය භාරයට ගෙන තිබේ. එසේ වීසිකරන්නට නොහැකිව ඉතිරිව තිබී ඇත්තේ කිලෝ සියයක් පමණ වූ හෙරොයින් තොගයක් පමණක් බව සඳහන්ය.

කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක රථ ගාලකින් ඉකුත් පෙබරවාරි 23 වෙනිදා මෙරටදී අල්ලාගත් විශාලතම හෙරොයින් තොගය වන හෙරොයින් කිලෝ 294 ද බේරුවලින් ඉකුත් දෙසැම්බරයේ අල්ලාගත් හෙරොයින් කිලෝ 231කද ගල්කිස්සේදී එම මාසයේදීම අල්ලාගත් හෙරොයින් කිලෝ 278 ද කොල්ලුපිටියෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ 97 ද වැටලීමට මුල්වන ඔත්තුව මෙන්ම මෙවර මහා මුහුදේ කෙරෙන වැටලීමට ඔත්තුවද පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ පොලිස් පරීක්ෂකවරයකුගේ බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

සීනි කන්ටේනර් තුළ සඟවා මෙරටට කොකේන් රැගෙන එන බව මුලින්ම හෙළිකරමින් 2016 වසරේ ජුනි 12 වෙනිදා කොකේන් කිලෝ 80 ක් සමග සීනි කන්ටේනරයක් අල්ලාගන්නට ඔත්තුවද 2014 වසරේ පෙසොන් පොහෝදින කැලණිය විහාරය ආසන්නයේදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අල්ලාගන්නා හෙරොයින් කිලෝ 85 ද වැටලීමට ඔත්තුවද එම පොලිස් පරීක්ෂකවරයාගෙන් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

විජයානි එදිරිසිංහ, ගයාන් කුමාර වීරසිංහ

 


නව අදහස දක්වන්න