හම්බන්තොට ආයෝජන කලාපයෙන් රටේ ආර්ථිකයේ පරිවර්තනයක් ඇති වෙනවා | දිනමිණ

හම්බන්තොට ආයෝජන කලාපයෙන් රටේ ආර්ථිකයේ පරිවර්තනයක් ඇති වෙනවා

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල් තබමින් අගමැති කියයි

2015 දී එක්සත් ජාතික පක්ෂයට පසුගිය ආණ්ඩුව ලබා දුන් සුදු අලි, පෙරහරේ යන අලි බවට පත්කරමින් සංවර්ධනය කිරීමට හැකි වුණේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කෙළේ ඊයේ (24) හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිව පසුගිය ආණ්ඩුව ඉදි කළ ව්‍යාපෘතීන් නැවත සංවර්ධනය කර හම්බන්තොට දිස්ත්‍රික්කය මූල්‍ය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා.අද දිනයේදී මගේ උපන්දිනය වෙනුවෙන් සුබපැතු එව් සියලූ දෙනාට මම ස්තූතිය පල කරනවා. එවැනි අවස්ථාවක ලැබුණු මෙම ආයෝජනය රටටම ලැබුණු හොඳම ත්‍යාගයක් ලෙස මා දකිනවා.

2015 දී මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අපි හම්බන්තොටට පැමිණෙන විට මෙහි වරාය හිස් වරායක් ලෙසයි තිබුණේ. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළේ ගුවන් යානා වෙනුවට සිටියේ මෙණරුන් පමණයි. ක්‍රිකට් ක්‍රීඩා නොමැති ක්‍රිකට් ක්‍රීඩාංගනය, සම්මන්ත්‍රණ නොමැති තිබු සම්මන්ත්‍රණ ශාලාව, අඩක් ඉදිකර නතර කරන ලද මහා මාර්ග ආදී සුදු අලින් විශාල ප්‍රමාණයක් හම්බන්තොට ඉදිකර තිබුණා. වල් අලින් යාල වනෝද්‍යානයේ සිටින විට සුදු අලින් සිටියේ හම්බන්තොටයි.

එදා මෙහි පැමිණි අවස්ථාවේ හම්බන්තොට වරාය වැඩකරන වරායක් බවට පත් කරන බව පැවසුවා.නැව් වලින් පුරෝන බවත් අපි පැවසුවා. ඔවුන් ඊට සමච්චලයට මෙන් සිනාසුණා. නමුත් අද වන විට හම්බන්තොට වරාය වැඩකරන වරායක් බවට පත් කිරීමට අපට හැකිවී තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් එක්ව ඒකාබද්ධ සමාගමක් ලෙස මෙම වරාය ක්‍රියාත්මක වෙනවා. මේ වන විට එල්.එන්.ජී. විදුලි බලාගාරයක් වෙනුවෙන් චීන සමාගමක් අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ඉදිරියේ දී හම්බන්තොට ප්‍රදේශයේ එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ද ඉදි වෙනවා. ඒ වගේම අපි දැන් තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමත් ආරම්භ කර තිබෙනවා.

1967 වසරේ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආරම්භ කර වසර 51 ක් ගෙවී ගියත් ශ්‍රී ලංකාවට දෙවැනි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට හැකි වුණේ නෑ. එය දැන් අපේ ආණ්ඩුව යටතේ ආරම්භ වෙනවා. අද දිනයේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමටත් කටයුතු සිදු කෙරුණා. තවත් මාස තුනක් ගත වීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරිය, ඉන්දියාවත් සමඟ එක්ව මත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කරන තත්ත්වයට ගෙන ඒමට අපි කටයුතු කරනවා.

අපි එදා පොරොන්දු වූ ආකාරයට වසර තුනක් ගත වන විට මෙම විශාල සංවර්ධනය මේ ප්‍රදේශයට ගෙන ඒමට කටයුතු කර තිබෙන බව පැවසිය යුතුයි. අපි ජනතාවට දෙන්නේ සංවර්ධනය පමණක් නොවේ. සියලූ අංශ වලින් ජනතාව ශක්තිමත් කිරීම අපේ අරමුණයි.

හම්බන්තොට රුහුණු ආර්ථික පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය ලෙස අප හඳුනාගෙන තිබෙනවා. මේ සියලූ සංවර්ධන කටයුතු සිදු වන්නේ හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමිනුයි. අපි මේ ප්‍රදේශය සංවර්ධනය කරමින් ඉදිරියට යනවා. අපට සුළු පිරිසක් විවිධ චෝදනා එල්ල කළත්, චීන, ඉන්දියා ආයෝජන වගේම දේශීය ආයෝජන ආදී සියලුම ආයෝජන හරහා රට තුළ සංවර්ධනය ඇති කිරීමට අපි කටයුතු කරනවා. මෙම ආයෝජන කලාප කර්මාන්තවලින් පිරවීම හැර වෙනත් කාර්යයක් අපට නැහැ.

හම්බන්තොට ආයෝජන කලාපයේ පළමු අදියර වන මෙම කොටස අක්කර 6000 ක් විශාලයි. අප දැනට ආරම්භ කර තිබෙන්නේ මේ පළමු අදියර පමණයි. මොණරාගල දිස්ත්‍රක්කයේ තවත් අක්කර 6000 ක ආයෝජන කාලාපයක් පිහිටු වනවා. අපි වැඩ පෙන්වන්නේ කටින් නොව ක්‍රියාවෙන් පමණයි. මෙම ආයෝජන කලාප ඉදි කිරීම හරහා මේ ප්‍රදේශය තුළ කෙතරම් පරිවර්තනයක් ඇති වෙනවා ද යන්න පිළිබඳව ඔබ කල්පනා කළ යුතුයි.

මේ දිස්ත්‍රික්කය තුළ විවිධ ගැටලු, චෝදනා එල්ල වන විට දිස්ත්‍රික්කය තුළ ඔබේ නායකයා වන සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ සියල්ල විසදා ගැනීමට කටයුතු කළා. මේ ප්‍රදේශයට සංවර්ධනය රැගෙන එන බව එතුමා ප්‍රදේශයේ ජනතාවට පොරොන්දු වුණා. දැන් අපි ඒ සංවර්ධනය හම්බන්තොටට ලබා දී තිබෙනවා. ඒ හරහා රැකියා විශාල ප්‍රමාණයක් ඇති වෙනවා.

මීට පෙර එකම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය පිහිටා තිබුණේ බියගමයි. පිරිපහදුව සඳහා තෙල් ගෙන එන තෙල් ටැංකි පෝලිමේ තිබෙන විට ඔවුන්ට කෑම, බීම අලෙවි කිරීම සඳහා කුඩා ආපන ශාලා ඉදිකර ගත්තා. ඒ ආකාරයට අපි නොසිතූ ආදායම් මාර්ග ජනතාවට තෙල් පිරිපහදු මධ්‍යස්ථාන හරහා ලැබුණා. එදා අප බියගම, කටුනායක ආරම්භ කළ ආයෝජන කලාප අද දකුණු අසියාවේ හොඳම ආයෝජන කලාප ලෙස සැලකෙනවා. ගුවන් තොටුපොළක්, වරායක්, තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සහ විදුලි බලාගාරයක් ඒ ප්‍රදේශ අවට පිහිටා තිබීම එම ආයෝජන කලාප සාර්ථක කර ගැනීමට හේතු වූ සාධකයි.

එම නිසා හම්බන්තොට ආයෝජන කලාපය ඉදිකිරීමේදී අපේ පළමු ඉලක්කය වූයේ විවිධ භාණ්ඩ නිෂ්පාදනය සඳහා කර්මාන්ත ගෙන ඒම නොවෙයි. වරායක්, ගුවන් තොටුපොළක් මේ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. අද දිනයේ මුල්ගල් තබන තෙල් පිරිපහදු මධ්‍යස්ථානය සහ සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව හරහා ආයෝජන කලාපයකට අවශ්‍ය මූලික පහසුකම් සැපයෙනවා. අපේ අරමුණ වූයේ එයයි. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා සමඟ මේ ප්‍රදේශය ඉදිරියටත් විශාල වශයෙන් සංවර්ධනය වෙනවා.

අපේ වැඩකටයුතු ඉන් අවසන් වන්නේ නැහැ. මේ අපේ ආණ්ඩුව යටතේ සිදු කෙරෙන සංවර්ධන පරිවර්තනයේ එක් කොටසක් පමණක් බව පැවසිය යුතුයි. මලික් සමරවික්‍රම ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආයෝජන මණ්ඩලය විවිධ ආයෝජන ලංකාවට ගෙන ඒමට කටයුතු කරනවා.

හම්බන්තොට ඉදිවෙන ආයෝජන කලාපය හරහා රටේ සමස්ථ ආර්ථිකයම පරිවර්තනයකට ලක් වෙනවා. ධීවර කර්මාන්තය නවීකරණය වෙනවා. මත්තල, හම්බන්තොට හා මොණරාගල ප්‍රදේශ කේන්ද්‍ර කර ගෙන ඉදිකෙරෙන අක්කර 12,000 ක ආයෝජන කලාපය තුළ විශාල සංචාරක කලාපත් ඉදි කෙරෙනවා. ඒ තුළ ගොල්ෆ් ක්‍රීඩාංගන පහකට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ වගේම තරුණ තරුණියන්ට වෘත්තීමය සහ කාර්මික පුහුණුව ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා චීන සහ ජර්මන් රජයන් සමඟ සාකච්ඡා කර දැනට පවතින ආයතනවල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරනවා. එම වැඩකටයුතු දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයට භාර දී තිබෙනවා.

දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශය හරහා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා නීතිය අපි ගෙන ඒමට කටයුතු කරනවා. සංචාරක අමාත්‍යංශය හරහා සංචාරක කලාප ඉදිකළ විට මෙම ප්‍රදේශයට පැමිණෙන සංචාරක ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වෙනවා. සංචාරකයන් වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉදිවීම රටේ ආර්ථිකයට ඉතා හොඳ තත්ත්වයක් වුවත් සංචාරකයන්ට නිවාස ආශ්‍රිතව නවාතැන් පහසුකම් සලසා දෙන 'හෝම් ස්ටේ' වැඩසටහන වෙනුවෙන් ජනතාව පුරුදු කළ යුතු යැයි මම උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ආයෝජන සහ සංචාරක කලාප සම්බන්ධ කරමින් හම්බන්තොට සිට මහනුවර දක්වා මහා මාර්ග පද්ධතියක් ඉදි කරනවා. ඒ වගේම බිංගිරිය, කුලියාපිටිය, මාවතගම, කළුතර ආදී ප්‍රදේශවල ආයෝජන කලාප ඉදි කරනවා. මීට පෙර නොතිබුණු මෙවැනි විශාල දියුණුවක් අපි දැන් ශ්‍රී ලංකාවේ ආරම්භ කර තිබෙනවා. මේ වන විට බිංගිරිය ආයෝජන කලාපයේ පළමු අදියර අවසන් වී තිබෙනවා.

මේ සියලූ සංවර්ධන වැඩකටයුතු අපි කෙළේ එක් ප්‍රතිපත්තියක් මතයි. අපි විටින් විට ප්‍රතිපත්ති වෙනස් කිරීමට කටයුතු කෙළේ නැහැ. අපි භාර ගත්තේ ණය පිරුණු රටක්. ඇතැමුන් අපට දෝෂාරෝපණය කළා. පසුගිය වසරේ මහ මැතිවරණයක් ඉල්ලා බොහෝ අය විවිධ කුමන්ත්‍රණ සිදු කළා. නමුත් අප අපහසුවෙන් වුවත් රට ඉදිරියට ගෙන ආවා. එදා මහ මැතිවරණයකට ගියා නම් අද මෙවැනි විශාල සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ජනතාව අපට විරුද්ධව ඡන්දය පාවිච්චි කළත් මැතිවරණයෙන් වසරක් ගත වීමටත් පෙර මහා මාර්ග ආයෝජන කලාප හරහා ජනතාවට සංවර්ධනය ගෙන ඒමට අප කටයුතු කර තිබෙනවා. ආණ්ඩුවක් ලෙස අපි ජනතාවට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. අපි වැඩකරන ආණ්ඩුවක්. එදා හම්බන්තොට තිබුණු සුදු අලි ව්‍යාපෘති අපි පෙරහරේ යන අලි බවට පත් කර තියෙනවා. ඒ නිසා රටේ සංවර්ධනය වෙනුවෙන් මූලිකත්වය ගන්නා ආයෝජන සහ කර්මාන්ත ඇති ප්‍රදේශයක් බවට හම්බන්තොට පත් කිරීමට අපට හැකි වී තිබෙනවා.

මේ රටේ ආර්ථික දියුණුව ඇති කිරීමට හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට පමණයි. මේ අපේ ආරම්භය පමණක් බවත්, තවත් වසර පහකින් රට සීඝ්‍ර සංවර්ධනයකට ගෙන යන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කළ යුතුයි. එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොග්ගල පළමු වෙළෙඳ කලාපය ආරම්භ කිරීම මට භාරදුන්නා. එම කාර්ය දකුණේ හම්බන්තොට සිට මොණරාගල දක්වා ව්‍යාප්ත කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. කතරගම දෙවියන්ගේ ආශීර්වාදයෙන් මේ ප්‍රදේශය රටේ ජාතික ආර්ථිකයේ වැදගත් කොටසක් බවට අපි නැවතත් පත් කර තිබෙනවා.

පරාජය, දෝෂාරෝපණ ,සමාව ඉවසමින් බොරු පොරොන්දු ලබාදීමෙන් තොරව රටේ ජනතාවට හොඳ අනාගතයක් ලබාදීමට අපේ ආණ්ඩුව සූදානම් බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

ඕමාන් රජයේ ඛනිජ තෙල් සම්පත් ඇමැති මොහොමඩ බින් හමාස් අල් රූනි මහතා-

ශ්‍රී ලංකාව සහ ඕමාන් රජය අතර දිගු කලක සිට සමීප හිතවත්කමක් තිබෙනවා. අද මුල්ගල තැබූ ඉන්දන පිරිපහදු කර්මාන්ත ශාලාව මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. මේ සඳහා ඕමාන් රජය හවුල් කර ගැනීම පිළිබඳව මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ස්තූතිය පල කරනවා.

මෙම තෙල් පිරිපහදුව ජීවිත කාලය දක්වා පවතින එකක්. එය හැකි ඉක්මනින් ඉදි කරනවා. ඒ මඟින් දෙරටේ මිත්‍රත්වය තව තවත් වැඩි වෙනවා. හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් මෙම පිරිපහදු කිරීමේ කර්මාන්ත ශාලාව ඉදිවන නිසා එහි ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගෙන යෑමට පහසු වෙනවා.

වසර හතරක් තුළදී මෙම කර්මාන්ත ශාලාව මඟින් ඉන්දන පිරිපහදු කර අපනයන කිරීමට හැකිවන බව සතුටින් කියන්න කැමතියි.

නිවාස, ඉදිකීරීම් සහ සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතා-

විශේෂයෙන් අගමැතිතුමාගේ 70 වැනි උපන් දිනය සමරන මොහොතේ හම්බන්තොට ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙනවා.මෙහි ඉදිවන සිමෙන්ති කර්මාන්ත ශාලාව හරහා සෘජු රැකියා 500ක් උත්පාදනය වෙනවා. වක්‍ර රැකියා 1500ක් බිහි වෙනවා. තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාව හරහා සෘජු රැකියා 1500ක් සහ වක්‍ර රැකියා 3000ක් ලැබෙනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ හම්බන්තොට උදාව වෙනුවෙන්.

අපිව විවේචනය කරන පොහොට්ටුවේ දේශපාලන ප්‍රතිවාදීන් නොයෙක් කතා ගොතනවා මෙම වැඩසටහන් පිළිබඳව. අද තිබ්බ මුල්ගල් පැලවෙනවා කියා ඔවුන් කියනවා. මම ඔබලාට පොරොන්දු වෙනවා මෙම කර්මාන්ත ශාලා දෙක පිළිබඳව අගමැතිතුමාගේ අවසරය පරිදී ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමඟ සතිපතා ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වනවා.අපි ඉදිරි වසර කීපය තුළ මේ මහා දැවැන්ත ව්‍යාපෘතීන් දෙක යථාර්ථයක් බවට පත්කරනවා කියා කියන්න කැමතියි.

මුදල් ඇමැති මංගල සමරවීර මහතා-

පසුගිය කාලය පුරාවට සංවර්ධන හීන වෙමින් තිබුණු මෙම හම්බන්තොට ප්‍රදේශය අද වඩාත් දියුණු 21වැනි සියවසේ පුරවරයක් බවට පත්වෙමින් තිබෙනවා.අද දින හම්බන්තොට ප්‍රදේශයේ ඉදිවන මෙම කර්මාන්ත ශාලා දෙක අපේ රටේ ආර්ථික වර්ධන ප්‍රතිපත්තියේ ඉතාමත් වටිනා ස්ථානයක් බව කියන්න කැමතියි. පසුගිය ආණ්ඩු කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජන ප්‍රමාණයක් සිදුකළත් එයින් රටට හෝ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය ප්‍රතිලාභ ලැබුනේ නෑ.

කොපමණ මහා පරිමාණ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළත් ඒ තුළින් රටේ දුප්පත් ජනතාවට ප්‍රතිලාභ නොලැබෙනවා නම් ඒවා එතරම් සාර්ථක අයෝජන නොවෙයි. 2015 ට කලින් ඉදිකළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් මේ රට විශාල ණය කන්දක සිර වී ඒවයේ පොලී ගෙවමින් සිටිනවා.

ණය අරගෙන සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කළත් ඒ මඟින් ප්‍රතිලාභ ලැබෙන්නේ සුළුවෙන්නම් එය සුදු අලි බවට පත් වෙනවා. 2015 ආණ්ඩුව භාර ගත්තාට පස්සේ සෘජු විදෙස් ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට පුළුවන් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා-

මම පළමුවෙන්ම සුබ උපන් දිනයක් කියා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතනවා.අද විපක්ෂයේ කණ්ඩායම වැරදිම හොයනවා. කිසිදු සාධාරණත්වයක් නෑ. බරපතල විදිහට විවේචනය කරනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිළ මෙම ඉදිකිරීම පිළිබඳව අසත්‍ය ප්‍රචාර පැතුරනවා. අද එම ප්‍රකාශ බොරු බවට පත් වෙනවා .මොකද ඕමානු ඛනිජ තෙල් සම්පත් ඇමැතිවරය අද ලංකාවට ඇවිත් තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම රටේ ආර්ථිකය කඩාකප්පල් කළා. ජාත්‍යන්තරය සහෝදරත්වය බිඳ දමා, අපි ණය කාරයෝ බවට පත් කළා.යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික කළමනාකරණය නිසා ආපසු රට ගොඩගැනීමට හැකි වී තිබෙනවා. මම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂයේ වුණත් මේ වගේ විශාල සංවර්ධන වැඩසටහන් කරන රනිල් වික්‍රමසිංහ මහතාට හදවතින්ම සුබපතනවා.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙලා පොහොට්ටුවේ සාමාජිකත්වය අරන් අණ්ඩුව විසිරෙව්වා. අපි ආයෙනම් ඒ වගේ කපටි වැඩවලට රැවටෙන්නේ නෑ. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඔය සේරම ගිය ආණ්ඩුවේ හිටියා .නමුත් ආර්ථික සංවර්ධනය අසාර්ථකයි ඒ කාලයේ.ජේ .ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථිකයේ හැරවුම් ලක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා කියා මම කියන්න කැමතියි.

නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර ජයමහ මහතා-

අපේ රටේ ඉතිහාසය දිහා බලන විට අපේ රටට අපනයන සැකසුම් කලාප ඉතාමත් වැදගත්. 2004ආරම්භ කළ අපනයන සැකසුම් කලාපය අපි 2015 ආණ්ඩුව භාරගන්නා විට අක්කර 600කට වැඩි ප්‍රමාණයක් හිස්ව තිබුණේ. නමුත් අපිට පුළුවන් වී තිබෙනවා මේ භූමිය සම්පූර්ණයෙන්ම ආයෝජන වලින් පුරවන්න.

1978 සිට අපේ රටට ඇවිත් සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 17.5 යි. අද වැඩ ආරම්භ කරන මෙම තෙල් පිරිපහදුවෙන් සහ සිමෙන්ති කර්මාන්ත ශාවෙන් විතරක් ඩොලර් බිලියන හතරක ආයෝජන එනවා.

මෙම අවස්ථාව සඳහා මැති ඇමැතිවරුන් වන සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්,රිෂාඩ් බදියුදීන්, දයා ගමගේ,තලතා අතුකෝරල, නලීන් බණ්ඩාර, අශෝක අබේසිංහ, ලකී ජයවර්ධන, දිලීප් වෙදඅරච්චි,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ඕමාන් රජයේ තෙග් සහ ගෑස් පිළිබඳ ඇමැති මොහොමඩ බින් හමාස් අල් රූනි (Dr Mohammed bin Hamad Al Rumhy), ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් (Chang Xueyuan) යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද ඕමාන් ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ලංකා අයෝජනය මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී වුහ.

අසේල ලියනගේ සමඟ තිස්සමහාරාම විශේෂ, හම්බන්තොට සමූහ
ඡායාරූප- හිරන්ත ගුණතිලක 


නව අදහස දක්වන්න