ව්‍යවස්ථාවට අනුව බුදු සසුන සුරැකීමට පෝෂණයට රජය කැපවෙනවා | දිනමිණ

ව්‍යවස්ථාවට අනුව බුදු සසුන සුරැකීමට පෝෂණයට රජය කැපවෙනවා

ත්‍රිපිටකාභිවන්දනා මහෝත්සවයේදී ජනපති කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි බුදුසසුන අආරක්ෂා කරන්නටත් බුදුසසුන පෝෂණය කරන්නටත් රජය කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළකළේ ශ්‍රී ලාංකික ජාතික උරුමයක් බවට පත්කළ ත්‍රිපිටක ධර්මදායාදය ලෝක උරුමයක් බවට ප්‍රකාශ කිරීමේ ත්‍රිපිටකාභිවන්දනා මහෝත්සවයට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේදී පැවති අවස්ථාවට (23) දා සහභාගි වෙමිනි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

මේ කාලසීමාව තුළ අපි මේ උතුම් පුණ්‍ය භූමියට පැමිණ මේ කරන පිංකටයුත්ත හරහා ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම ප්‍රශස්ථ කටයුත්තක්. ත්‍රිපිටකාභිවන්දනා නමින් විශේෂ සතියක් අපි ප්‍රකාශයට පත් කළා. පසුගිය ජනවාරි මාසයේදී ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම්කළා. අද අපි ඉටුකරන්නේ එය ලෝක උරුමයක් බවට පත්කිරීමේ කටයුත්තයි. ඒ උතුම් කාර්යයි.

අපිට ඇති ස්ථිර අචල තිරසාර සුවි‍ශිෂ්ට දර්ශනය ත්‍රිපිටකය බව ජාතික උත්සවයේදී මා පෙන්වා දුන්නා . මාතලේ අලුවිහාරයේදී. කීර්තිමත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව තුළ අපි සතුටුවන දෙයක් තමයි ත්‍රිපිටක ඥාන සම්භාරය අපේ මහා සඟරුවන විසින් මෙතෙක් කල් අවිච්ජින්නව රැක ගැනීම. ත්‍රිපිටකය යුනෙස්කෝ සංවිධානය ලැයිස්තු ගත කිරීමෙන් ජගත් ප්‍රජාවගේ පිළිගැනීමට ලක්වීමේ ප්‍රශස්ථ කටයුත්තට අපි මුල පුරා තියෙනවා. ලෝකයේ එකම නොබිඳුණු වෙළුම් පෙළක් ලෙස පළවී ඇත්තේ ත්‍රිපිටක ග්‍රන්ථයයි. එහි පළමු ප්‍රාර්ථනය සියලු සත්වයෝ නිදුක් වෙත්වා යන්නයි.

ත්‍රිපිටක ධර්මය ලෝකයේ සියලු සත්ත්වයන් කෙරෙහි ඇති අපිරිමිත දයාව කරුණාව පෝෂණීය ලෙස හෙළි කරන්නක්. රීස් ඩේවිස් පඬිවරයා පවා මේ මාහැඟි මහාර්ඝ ත්‍රිපිටකය සුවිශිෂ්ට ලෙස අගය කොට තිබෙනවා. සමාජයේ ලේඛන ගත මාහැඟි උරුමයක් ලෙසත් විශ්වීය උරුමයක් ලෙසත් ත්‍රිපිටකය හඳුන්වන්න පුළුවන්. අද අපි සිදුකරන්නේ එය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ප්‍රශස්ථ කාර්ය භාරයයි.

ජාතික උරුමයක් ලෙස ත්‍රිපිටකය නම් කළ අවස්ථාවේදීත්, ලෝක උරුමයක් ලෙස නම්කළ අවස්ථාවේදීත් ත්‍රිපිටකාභිවන්දනා සතිය ප්‍රකාශ කළ අවස්ථාවේදීත් මේ පිළිබඳව විවිධ අයගේ විවිධ අදහස් පළවුණා. විකල්ප බෞද්ධ දර්ශනයක් පිළිබඳ භික්ෂූන් වහන්සේලා කීපදෙනෙක් අදහස් ප්‍රචාරය කළා. එය රාජ්‍ය නොවන සංවිධාන කළ දෙයක් විය හැකියි.

රජයක් විදිහටත් ශ්‍රී ලාංකිකයින් ලෙසත් ඒ තත්ත්වය නිරවුල් කර නිරාකූල කරගෙන බුදුදහමේ විශිෂ්ටත්වය ඔප් නැංවීමට අප ක්‍රියාකළ යුතුයි.

විවිධ අදහස් විවේචන ඇති වූ අවස්ථාවේදී විවිධ පිරිස් කිව්වා මෙය ලෝක උරුමයක් කිරීම සුදුසු නෑ කියලා. ලෝකයේ බෞද්ධ රටවල් ත්‍රිපිටකය පිළිබඳ විවිධ තීන්දු තීරණ ගෙන තිබෙනවා. බෞද්ධ රටවල් සහ බෞද්ධ නොවන රටවල් තීන්දු තීරණ ගෙන තිබෙනවා. 1954 දී බුරුම රටේ අගමැතිතුමා කළ කතාව සුවිශේෂයි.

ත්‍රිපිටකය ගල්වල කෙටීමේ සිට පිරිසුදුව පුස්කොළපොත්වල ලියවීම දක්වා අවස්ථාව ක්‍රමිකව විකාශනය වූවක්. ජර්මනිය බෞද්ධ රටක් නොවූවත් ජර්මන් බසට ත්‍රිපිටකය පරිවර්තනය කර තිබෙනවා. ජර්මානු තානාපති කාර්යාලය හරහා එම ග්‍රන්ථය ලබාදී තිබෙනවා.

ජර්මන් රජය ජර්මානු බසින් ත්‍රිපිටකය මුද්‍රණය කර තිබෙනවා. විකල්ප අදහස් තිබුණත් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ සුවිශිෂ්ට කාර්ය තිරසාර කැපවීමකින් යුතුව ඉටුකළයුතු කාර්යයක් සේ මා දකිනවා.

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට අප ගෙන යන උත්සාහයට ඉන්දියාව ඇතුළු බෞද්ධ රටවල් රැසක් අපට සහාය පළකර තිබීම ප්‍රහර්ෂයට කරුණක්. මේ ඓතිහාසික අවස්ථාවේදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ කටයුත්ත මඟින් ජගත් ප්‍රජාවට බෞද්ධාගමේ සුවි‍ශිෂ්ට බවේ දායාදය තිළිණ වෙනවා.

අස්ගිරි, මල්වතු, අමරපුර, රාමඤ්ඤ යන සිව් නිකායේ මහා නායක හිමිවරුන් සියලුදෙනාම එකට වැඩ හිඳීම කලාතුරකින් දක්නට ලැබෙන සුවිශිෂ්ට දර්ශනයක්. උන්වහන්සේලා අපට අවවාද අනුශාසනා ලබාදීම පිළිබඳ සතුටු වෙනවා.

මේ දිනවල විල්පත්තු අභයභූමියේ ඉඩම් පිළිබඳව මාධ්‍ය මඟින් ප්‍රචාරය වෙනවා. පසුගිය කාලය තුළ විල්පත්තු අභයභූමිය කිසිම පුද්ගලයෙකුට බිම් අඟලක්වත් අපි ලබාදී නැහැ.

මේ පිංබිමේදී ආරම්භකළ උතුම් කටයුත්තට එක්වීමට ලැබීම ගැන මා සතුටට පත්වෙනවා.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමි

පිරිසුදු ථේරවාදී ධර්මය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස පත්කිරීමෙන් පසුව ලෝක උරුමයක් බවට පත්කිරීමේ පුණ්‍ය මහෝත්සවය ප්‍රශස්ත කාර්යයක්.

සුවාසූදහසක් ධර්මස්කන්ධය 1 වැනි සංගායනාවේදී කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරක්ෂා කරන්නට යෙදුණා. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මිහිඳු හිමියන් විසින් ගෙනෙන ලද ධර්මස්කන්ධය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන විත් ආරක්ෂා කළේ අපේ මහා සංඝරත්නයයි. බැමිණිටියාසාය වැනි දුෂ්කරතාවලට මැදිව ධර්මස්කන්ධය ආරක්ෂා කිරීමට මහා විහාර භික්ෂු පරපුර කළ මෙහෙවර ඉතා ශ්‍රේෂ්ඨයි.

මෙසේ සුරක්ෂිත කළ සම්බුද්ධ ධර්මදේශනාව වළගම්බා රජුගේ කාලයේදී මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කළා. ලංකාව ධර්මද්වීපයක් ලෙසත් බෞද්ධ ථෙරවාදී මධ්‍යස්ථානය ලෙසත් ප්‍රකට වුණා. පුස්කොළ පොත්වල ලියැවුණු ත්‍රිපිටක බුද්ධ භාෂිතය ආරක්ෂා කිරීමට භික්ෂූන් වහන්සේලා කැප වුණා. වසර 2500 සම්බුද්ධ ජයන්තියේදී බෞද්ධ පුනරුදයක් ඇතිවුණා. ධර්මවිරෝධීව ත්‍රිපිටක පරිවර්තන රැසක් ප්‍රකාශයට පත් වෙමින් පවතිනවා.

ත්‍රිපිටකය යනු ඥාන කෝෂයක් බඳුයි. බුද්ධ ශාසනය පෝෂණයට ත්‍රිපිටකය ජගත් ප්‍රජාවට තිළිණ කිරීමට ආරක්ෂා කිරීමට රජය කටයුතු කිරීම ප්‍රශස්ත කටයුත්තක්.

ත්‍රිපිටකාභිවන්දනා සතියක් පවත්වා ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේදී උතුම් ත්‍රිපිටක බුද්ධදේශනාව ලෝක උරුමයක් කිරීමට කටයුතු කිරීම මාහැඟි කාර්යයක්.

ත්‍රිපිටක දේශනාව ලෝක උරුමයක් බවට පත්වීම තුළින් ව්‍යාකූල මිනිස් මනසට සහනයක් ශාන්තියක් ලැබීමට හේතු වෙනවා. ලෝකයේ විදග්ධයන් රැසක්ම බෞද්ධ දේශනාවෙන් නිරාකූල මනසක් ඇතිකරගන්නට අවස්ථාව ලබා තිබෙනවා. ලෝක සත්ත්වයන්ට නිර්මල ථෙරවාදී බුදුදහම සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම උතුම් කර්තව්‍යක්.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන මහා නාහිමි:

බුදුන්වහන්සේ විසින් මෙලොව පරලොව දෙලොව යහපත උදෙසා දේශනා කළ ධර්ම කෙරුණු ත්‍රිපිටක ධර්මයට ඇතුළත් වෙනවා. මෙම ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට භික්ෂුන් වහන්සේලා ක්‍රියාකළා. මහින්දාගමනයෙන් අපට ලැබුණු ධර්මය ආරක්ෂා වුණා. වළගම්බා රජුගේ කාලයේ ඇතිවූ නියඟය සමයේද ත්‍රිපිටකය භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කළා.

වළගම්බා රජ දවස රාජ්‍ය නායකයින්ගේ මැදිහත්වීමෙන් මාතලේ අලුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා. යටත්විජිත සමයේදීද අපේ භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකය ආරක්ෂා කළා. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ත්‍රිපිටකය නොවෙනස්ව ආරක්ෂා කරගැනීමට භික්ෂූ පරපුර කැපවුණා. එදා මහරහතන් වහන්සේලා ගත් ප්‍රඥා‍ගෝචර තීරණය නිසා ත්‍රිපිටකය ආරක්ෂා වුණා.

ත්‍රිපිටකය විකෘති කරමින් මහා විනාශයක් සිදුකරන නිසා එය ආරක්ෂා කර ගනිමින් ලෝක උරුමයක් කිරීමට කටයුතු කිරීම ප්‍රශස්ත කටයුත්තක්. රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව ත්‍රිපිටකය භික්ෂූන්ට පමණක් ආරක්ෂා කිරීමට නොහැකියි. ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීමෙන් හා මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදුකිරීම ගැන සතුටට පත් වෙනවා.

අමරපුර නිකායේ මහා නායක කොටුගොඩ ධම්මාවාස මහානාහිමි

බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි 1 වැනි ධර්ම සංඝායනාව පැවැත්වූවා. මේ ධර්මය ධර්මවිනය යන කොටස් දෙකකට වෙන් කළා. ධර්ම කොටසට ඇතිවිශාල ගැඹුරු ධර්මය ඇතුළත් කර අභිධර්මය නමින් කොටසක් හැදුවා. ධර්මාශෝක රාජ්‍ය සමයේදී මෙය ආරක්ෂා වුණා. මාතලේ අලුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා.

මෙම ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රාජ්‍ය නායකයින් කටයුතු කළා. ජනාධිපතිතුමා තව පියවරක් ඉදිරියට අරගෙන එය ලෝක උරුමයක් කිරීමට කටයුතු කළා. ථේරවාදයේ මධ්‍යස්ථානය ලංකාවයි. මෙය ලෝක උරුමයක් බවට පත්කිරීම අතිවිශිෂ්ට කාර්යයක්.

රාමඤ්ඤ නිකායේ මහානායක නාපාන පෙමසිරි මහානාහිමි

ජනාධිපතිතුමා ඉටුකළ මේ පුණ්‍යවන්ත කාර්ය නිසා බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා. එදා අපේ රජවරුන් ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළා. අපේ සංඝයා වහන්සේලා ත්‍රිපිටකය බාධක මැද ආරක්ෂා කළා. රජයවිසින් මෙවැනි කටයුත්තකට මුලපිරීම ප්‍රශස්ත කාර්යයක් බවට පත් ‍ෙවනවා.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා

අද දිනය ඓතිහාසික දවසක්. කිසිම රාජ්‍ය නායකයකුට ඉෂ්ඨ සිද්ධ කරන්න බැරිවූ කාර්යයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකළා. එතුමා බුදුසසුනට ලැදි නායකයෙක්. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඉංදු ලංකා මිත්‍රත්වය නිසා අපට ලැබුණු බුදු දහම මිහිඳු මහරහතන් වහන්සේගේ කාලයේ සිට දහම ආරක්ෂා වී පැවැතුණා. වළගම්බා රජ සමයේ බැමිණිටියාසාය පැමිණියත් අපේ සඟ පරපුර දහම රැක ගත්තා. දුටුගැමුණු රජතුමා එළාර රජු සමඟ සටන් කළේ ජාතිවාදය නිසා නොව බුදුසසුන රැකගැනීමටයි.

චීන ජාතික පාහියන් භික්ෂූන් වහන්සේ මෙරටට වැඩමකර අනුරාධපුරයේ වසර 2ක් වැඩසිටියා. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දළදා මාලිගාවේ තිබූ ත්‍රිපිටක ග්‍රන්ථවලට කිසිදු හානියක් වුණේ නැහැ. මහානායක හිමිවරුන්ගේ අවවාද මැද දියවඩන නිලමේතුමා ඒ සියල්ල ආරක්ෂා කරනවා. ධර්මාශෝක රජතුමා බුදුසසුනේ චිරස්ථිතියට විශාල මෙහෙයක් ඉටුකළා. ලංකාවේ පැවැත්වූ ලේඛනාරූඪ කිරීමේ ක්‍රියාවලියේදී ත්‍රිපිටකය පුස්කොළ පොත්වල ලියැවුණා.

1950 දශකයේදී ලංකාවේ පාලි ත්‍රිපිටකය සිංහල භාෂා‍ෙවන් පරිවර්තනය කළා. දැන් ඕනෑම කෙනෙකුට ත්‍රිපිටක ධර්මය කියවා එහි ඇති ඥාන සයුර ලබාගත හැකියි. අපේ රජදරුවන් දැහැමින් රට පාලනය කිරීමට උපයෝගී කරගත්තේ ත්‍රිපිටක ධර්මයයි. කෙනෙකුට සාමයෙන් සතුටින් සිටීමට උපදෙස් ත්‍රිපිටකයෙන් ලැබෙනවා. රීස්ඩේවිස් පඬිවරයා ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යයේ තේම්ස් නදිය අසබඩ පිරිසක් මේ ධර්මයට අනුව ජීවත්වුවහොත් ඔවුන් සතුටින් සිටින බවයි. බිල් ක්ලින්ටන් මානසික ආතතිය දුරුකරන්නේ බුදුදහමට අනුව භාවනා කිරීමෙන්. විවිධ ආගම් හා ජාතීන්ට සහජීවනයෙන් ජීවත්වීමට ත්‍රිපිටකයෙන් උගතගැනියි. නවීන විද්‍යාව හමුවේ ඔප්පු නොවන කිසිවක් ත්‍රිපිටකයේ නැහැ. ජනාධිපතිතුමා ඉතා නිර්මල ලෙස ත්‍රිපිටක‍ය ලෝක උරුමයක් බවට පත්කිරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.

එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ නියෝජිත හනා සින්ගර් මහත්මිය

මෙවැනි ගෞරවනීය අවස්ථාවකට එක්වීමට ලැබීම ගැන සතුටට පත්වෙනවා. මීට වසර කීපයකට ඉහත සිට ශ්‍රී ලංකාව හා යුනෙස්කෝව අපේ ශක්තිමත් සම්බන්ධයක් තිබුණා. ලංකාව සංස්කෘතික අතින් පොහොසත් රටක්. ලංකාව ලෝක උරුමයන් ඇති රටක්. සීගිරිය පොළොන්නරුව, දඹුල්ල, සිංහරාජ වනය ජගත් කීර්තියට පත්වී තිබෙනවා. මම සුබපතනවා ලංකාවේ ජනතාවට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන. මම සාමය හා සෞභාග්‍ය ශ්‍රී ලංකාවාසී ජනතාවට ප්‍රාර්ථනා කරනවා.

මෙහිදී යුනෙස්කෝ නියෝජිත හනා සින්ගර් මහත්මියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිපිටකයේ සුවිශේෂ පිටපතක් ලබාදුන් අතර ස්තුති කතාව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් සිදුකරන ලදී.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන ආණමඩුවේ ධම්මදස්සි, වේඬරුවේ උපාලි යන අනුනායක හිමිවරුන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද පොලිස්පති පූජිත් ජයසුන්දර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, මහනුවර නගරාධිපති කේසර සේනානායක මහත්වරු ඇතුළු මහා සංඝරත්නයේ විශාල පිරිසක්ද එක්ව සිටියහ.

තිලක් පුෂ්පකුමාර සේනානායක
ඡායාරූප - සුදත් සිල්වා ජනාධිපති මාධ්‍ය ඒකකය
සුනිල් ගුණවර්ධන කුණ්ඩසාල සමූහ


නව අදහස දක්වන්න