අගමැති ජන්ම දිනය වෙනුවෙන් අබාධිත දරුවන්ට කෘත්‍රිම පාද-අත්වාරු | දිනමිණ

අගමැති ජන්ම දිනය වෙනුවෙන් අබාධිත දරුවන්ට කෘත්‍රිම පාද-අත්වාරු

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අබාධිත අය සඳහා කෘත්‍රිම පාද සහ අත්වාරු ලබාදීම අරලියගහ මන්දිරයේ දී ඊයේ(24) සිදු කෙරිණි.

ආබාධිත දරුවන්ට හා ආබාධිත වැඩිහිටියන්ට මෙලෙස කෘත්‍රිම පාද හා අත්වාරු ලබාදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් අතර ආබාධිත දරුවන් සඳහා බැංකු ගිණුමක් හා ත්‍යාග පාර්සල් ලබාදීම ද සිදු කෙරිණි.

අත්වාරු හා කෘත්‍රිම පාද ලබාදීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආබාධිත දරුවන් සමඟ සිය ‍උපන්දින කේක් ගෙඩිය කැපීමට කටයුතු කළේය. ‍උපන්දින කේක් ආබාධිත දරුවන් වෙනුවෙන් ලබාදුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සහ සුහද කතාබහක ද නිරත විය.

ඉන් අනතුරුව අබාධිත දරුවන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමතක නොකළේය.

තමන්ට ලැබුණු කෘත්‍රිම පාද හා අත්වාරු පිළිබඳ සිය සතුට පළකළ ආබාධිත දරුවන් හා ආබාධිත වැඩිහිටියන් අගමැතිවරයාට නිරෝගීමත් අනාගතයකට සුබපැතූහ.

මෙම කෘත්‍රිම පාද හා අත්වාරු කලම්බෝ ෆෙන්ඩ්ස් ඉන් නීඩ්ස් ආයතනය විසින් ලබා දී ඇති අතර, සෙන්ටර් ෆෝ හැන්ඩික්‍රාෆ්ට් ආයතනය විසින් සම්බන්ධීකරණය සිදු කර ඇත.

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැති රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, ආශු මාරසිංහ, අගමැති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චමීර ඇල්ලදෙණිය
ඡායාරූප- වාසිත පටැබැඳිගේ


නව අදහස දක්වන්න