විස්සයි විස්සේ ලෝක කුසලානයෙන් පිටියට සමු දෙනවා | දිනමිණ

විස්සයි විස්සේ ලෝක කුසලානයෙන් පිටියට සමු දෙනවා

ෆවුස් මොහොමඩ්

එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගමාලාව සහ ලබන වසරේ විස්සයි20 තරගමාලාවෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි.

දකුණු අප්‍රිකානු පිල සමග පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 16ක පරාජයක් ලබමින් තරග 3කින් සමන්විත එම තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් පරාජය වීමෙන් පසුව මාලිංග මේ බව කියා සිටියේය.

‘ලෝක කුසලාන තරගාමාලාවෙන් පසුව මම එක්දින තරග බිමෙන් සමුගන්නවා. මට අවශ්‍ය ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවට ක්‍රීඩා කිරීමටයි. ඉන් පසුව මම ක්‍රිකට් ජීවිතයේ සමුගන්නවා.’ තරගයෙන් පසුව මාලිංග පැවැසීය.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 218කදී කඩුලු 322ක් බිඳ දමා ඇති මාලිංග විස්සයි20 තරග බිමේ තරග 72කදී දවාගත් කඩුලු සංඛ්‍යාව 97කි. ඔහුට විස්සයි20 ජාත්‍යන්තර තරගබිමේ කඩුලු සියයක් සම්පූර්ණ කළ පළමු පන්දු යවන්නා බවට පත්වීමට තවත් අවශ්‍ය වී ඇත්තේ කඩුලු 3ක් පමණි. ඊයේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිතව තිබූ තුන්වැනි විස්සයි20 තරගයේදී සිය ඉලක්කය සපුරා ගැනීමට ඔහු සමත්වුවහොත් එම වාර්තාව වේලාසනින්ම අත්කර ගැනීමට ඔහුට හැකිවනු ඇත. මේ වනවිට විස්සයි20 තරග බිමේ වැඩිම කඩුලුලාභියා බවට පත්වී සිටින පාකිස්තානයේ ශහීඩ් අෆ්රිඩ් දවාගත් කඩුලු සංඛ්‍යාව 98කි.

කෙසේ වුවත් එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගමාලාවට මාලිංග සහභාගි වන්නේදැයි යන්න හෝ කණ්ඩායමේ නායකත්වය රැක ගන්නේදැයි යන්න මෙතෙක් ජාතික තේරීම් කමිටුව තීරණය කර නොමැත.

 

 


නව අදහස දක්වන්න