ඉසුරු උදානගේ උත්සාහය අපතේ යයි | දිනමිණ

ඉසුරු උදානගේ උත්සාහය අපතේ යයි

දකුණු අප්‍රිකාව කලින්ම තරගාවලිය දිනයි

 මුල් පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විශාලය හේතුවෙන් දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාවට පරාජය වීමට සිදුවිය. සෙන්චූරියන්හිදී පැවැති තරගයේ ලකුණු 180ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව වෙනුවන් වේගවත් පිතිරඹයක් දියත් කළ ඉසුරු උදාන පන්දු 48කින් ලකුණු 84ක් රැස්කළද ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 164ක් පමණි.

මේ සමගින් තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් ජය ගැනීමට සත්කාරකයෝ සමත් වූහ.

ඩේල් ස්ටේන් යැවූ පළමු ඕවරයේදිම අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ආපසු ක්‍රීඩාගාරයට හරවා යමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කළ අතර සිවුවැනි ඕවරයේ පිට පිට පන්දු 2කදී නිරෝෂන් දික්වැල්ල සහ කමිඳු මෙන්ඩිස් දවාලීමට ක්‍රිස් මොරිස් සමත්වීමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම දිස්වූයේ කඩුලු 4කට ලකුණු 31ක් ලෙසිනි.

අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 83ක් වෙද්දී ශ්‍රී ලංකා පිලේ 7 වැනි කඩුල්ලත් බිඳ වැටුණු අතර ශ්‍රී ලංකා පිලේ පරාජය ඉක්මන් වන්නට විය. එහෙත් සිවුවැනි එක්දින තරගයේදි ප්‍ර වේගකාරී පිතිහරඹයක නිරතවෙමින් ලකුණු 78ක් රැස් කළ ඉසුරු උදාන මේ තරගයේදී ත් එවැනිම පිතිහරඹයක නිරතවෙමින් අකිල ධනංජය සමග එක්ව ඉනිම ගොඩනැගීමට සමත්වීම කැපී පෙනුණි. ඔහු අටවැනි කඩුල්ලට ලකුණු 46ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර ඉනිමේ බර කරට ගනිමින් දකුණු අප්‍රිකානු පිලේ පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් කිරීමට සමත් විය. මංගල විස්සයි20 අර්ධ ශතකය රැස්කළ ඔහුගේ ඉනිම හතරේ පහර 8ක් සහ හයේ පහර 6කින් වර්ණවත් විය.

ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 9දී දවා ගැනීමට ඉසුරු උදාන සමත් විය. එහෙත් ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් සමග එක්වූ රාසි වැන්ඩර් ඩුසෙන් දෙවැනි කඩුල්ලට ලකුණු 116ක සබඳතාවක් පිහිටුවමින් ලකුණු පුවරුව 125 දක්වා ඉදිරියට ගෙන ගියේ පන්දු 76ක් පමණක් වැය කරමිනි. ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ හෙන්ඩ්‍රික්ස් දැවී යෑමෙන් එම සබඳතාව නිමූ අතර තවත් ලකුණු 13ක් එක්වෙද්දී ඩුසේන් දවා ගැනීමට අකිල ධනංජයට හැකිවිය.

පන්දු 46කට මුහුණදුන් හෙන්ඩ්‍රික්ස් හතරේ පහර 9ක් සමගින් ලකුණු 65ක් රැස්කළ අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 64ක් රැස් කිරීමට ඩුසේන් වැයකළේ පන්දු 44ක් පමණි.

දෙපිල අතර අවසන් විස්සයි20 තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.


නව අදහස දක්වන්න