රජසිසුගම ආදර්ශ ගම්මානයේ නිවාසලාභීන්ට කඩිනමින් ඉඩම් ඔප්පු | දිනමිණ

රජසිසුගම ආදර්ශ ගම්මානයේ නිවාසලාභීන්ට කඩිනමින් ඉඩම් ඔප්පු

කොළඹ රාජකීය විද්‍යාලයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය සිසුන් විසින් සිසු ශ්‍රමයෙන් සහ ජනතා සහභාගිත්වයෙන් ඉදි කළ රජසිසුගම ආදර්ශ ගම්මානයේ වැසියන්ට අප්‍රේල් 30 දාට පෙර ඉඩම් ඔප්පු ලබා දීමට පියවර ගැනේ.

1985 වසරේදී ඉදිකිරීම් අරඹා , 1986 අගෝස්තු 16 වන දින ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කළ “ රජසිසුගම“ ආදර්ශ ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා විද්‍යාලයේ වර්තමාන සිසුන් සහ එදා රජසිසුගම ඉදිකිරීමට මුලිකත්වය ගත් ආදිසිසුහු කණ්ඩායමක්ද සහභාවූහ.

රාජකීය විද්‍යාලයේ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් සභාපති බිනුජ අමරනායක ශිෂ්‍යයාගේ මුලිකත්වයෙන් විදුහල්පති බී ඒ අබේරත්න මහතාගේ සහ 1985 වසරේදී සංගමයේ සභාපතිත්වය දැරූ ලසන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.

මාර්තු 19 වනදා ගමට ගිය ශිෂ්‍ය කණ්ඩායම නිවසේ ජීවත්වන තරුණ තරුණියන්, පාසල් සිසුන්, රැකියා අපේක්ෂිත හෝ ස්වයං රැකියා ඇරඹීමට බලාපොරොත්තුවන පිරිස් සහ වැඩිහිටියන් වෙන් වෙන්ව හඳුනා ගැනීමත් ඔවුනගේ අවශ්‍යතාවයන් වෙන්කර ගැනීමත් සිදු කළේය. මීට අමතරව නිවාස සඳහා ඇති විදුලිය, ජලය සහ වැසිකිලි පහසුකම් පිළිබද සොයාබැලීමත් , නිවසේ වර්තමාන තත්ත්වය සහ නිවාසවල අලුත්වැඩියා කළයුතු කොටස් පිළිබද සොයා බැලීමත් සමීක්ෂණයේ තවත් මුලික කටයුත්තක් විය.

මාර්තු 20 වනදා ගමේ සියලු දෙනා විහාරස්ථානයට රැස්කරවා තිබු අතර, එහිදී රාජකීය විද්‍යාලයේ අාදි සිසුන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ , ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් ගමේ පොදු අඩුපාඩුකම් පිළිබධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. මෙහිදී ගම්වැසියන් විසින් පෙන්වා දුන්නේ ගම්මානය ඉදිකොට වසර 30 කට අධික කාලයක් ගතවී තිබුනද තවමත් තමන්ට ඉඩමේ ඔප්පුව ලැබී නොමැති බවයි. මේ සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවත් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාවත් දුරකතනයෙන් සම්බන්ධ කර ගත් අතර අප්‍රියෙල් 30 දිනට ප්‍රථම සියලු දෙනාටම ඔප්පු ලබාදීමට ක්‍රියාකරනු ලබන බව දන්වනු ලැබීය.

නිවාස වල පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙනුත් , අලුත්වැඩියා කළයුතු නිවාස සම්බන්ධයෙනුත් සොයාබලා ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සුරිය මැතිතුමාගේ උපදෙස් පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැවරුණි. ගමේ පොදු අවශ්‍යතා සදහා “ සේවා පියස“ මධ්‍යස්ථානයක් ලබාගැනීමට සාකච්ඡා වුණු අතර, අැමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිධි මේ සදහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ද සම්බන්ධ කොටගෙන ක්‍රියා කිරීමට අමාත්‍යතුමියගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට පැවරුණි. ජල අවශ්‍යතා වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ සහාය ලබාගැනීමටත්, මාර්ග සංවර්ධනය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සහාය ලබාගැනීමටත් තීරණය විය.

මෙම අවස්ථාවට සහභාගී වූ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය , ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජෙයරාජ් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේ “ එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා “ ණය යෝජනා ක්‍රමය යටතේ ස්වයං රැකියා ආරම්භ කිරීමට අපේකෂා කරන පිරිසට තම බැංකුව හරහා ණය මුදල් ලබාදීමට කටයුතු කරන බවයි.

ගම්මානය සඳහා ආරම්භයේදී ඉදිකළ ප්‍රජා ශාලාව විනාශ වී ඇති බැවින් ගම්මානය වෙනුවෙන් නව ප්‍රජා ශාලාවක් ඉදිකර දීමටත්, ඉදිකරමින් පවතින සංඝා වාසයේ කටයුතු නිමකර දීමටත් , දහම් පාසල සදහා අවශ්‍ය ඩෙස්ක් බැංකු ලබාදීමටත්, අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇතිකර ලීමටත් ක්‍රියා කරන බව මෙහිදී අදහස් දක්වමින් රාජකීය විද්‍යාලයේ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති බිනුජ අමරනායක ශිෂ්‍යයා පැවැසීය.මීට අමතරව පාසල් නිවාඩුකාලයෙදී ගමට පැමිණ දින කිහිපයක් ගමේ නතරවී ගමේ තරුණ තරුණියන් සමඟ එක්ව අදහස් හුවමාරු කර ගනිමින් ඉංග්‍රීසි, ගණිතය ඇතුළු විෂයන් පිළිබඳව දැනුම බෙදාගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවද, ගම හදන අවදියේ රාජකීය සිසුන් කළ ආකාරයට ගමේ යොවුන් කඳවුරක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය. එදා ක්‍රියාත්මකවූ “ අපෙන් ගමට - ගමෙන් අපට “ සංකල්පය අනුව යමින් කටයුතු කිරීම තම අරමුණ බවද බිනුජ අමරනායක සභාපතිතුමා තවදුරත් ප්‍රකාශ කළේය.

හඳුනාගත් අඩුපාඩු සදහා පිළියම් ලබාදීමට තම සහෝදර සිසුන්, තමන්ට සෑමවිටම සහයෝගය සහ උපදෙස් ලබාදෙන අදි සිසුන්සහ රජයේ වගකිවයුතු නිලධාරීන් සමග අප්‍රියෙල් මස 27 සහ 28 දිනයන්හිදී නැවතත් ගම්මානයට පැමිණීමට අපේක්ෂා කරන බවත්, රජ සිසුගම පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ගරු අගමැතිතුමාගේ, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සහ ඉඩම් අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේත් අවධානය යොමු කරවන බවත් බිනුජ අමරනායක ශිෂ්‍යයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජෙයරාජ් චන්ද්‍රසේකර, රජසිසුගම ව්‍යාපෘතියේ ආරම්භක සභාපති ලසන්ත ගුනවර්දන, සංවිධායක ඉන්දික රාජපක්ෂ , ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂක සහ ආදි ශිෂ්‍ය සුභාෂ් කරුණාරත්න, වෛද්‍ය ලලීන් චන්ද්‍රසේන ඇතුළු ආදි සිසුන් රැසක් ද , වර්තමාන සිසුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගීවිය.


නව අදහස දක්වන්න