උඩ එන-යට යන මානව හිමිකම් | දිනමිණ

උඩ එන-යට යන මානව හිමිකම්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මඟින් අප රටට විවිධ අපරාධ චෝදනා එල්ල කරන බව ඇතැම්හු පවසති. එය සම්පූර්ණ වැරදි ප්‍රකාශයකි. තිස් වසරක් පුරා පැවැති බෙදුම්වාදී යුද්ධ‍ෙය් නිරත වූ රජයටත් බෙදුම්වාදීන් වෙනුවෙන් එල්. ටී. ටී. ඊ, සංවිධානයටත් යන පාර්ශ්ව දෙකටම මානව හිමිකම් චෝදනා එල්ල වී තිබෙන අතර වගකිවයුත්තන් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුය.

රටක නීතියෙන් හා අන්තර්ජාතික නීතිය මඟින් නෛතික අයිතිවාසිකම් වශයෙන් පිළිගැනෙන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් ලෙසින් සැලකේ. මිනිසකු වී ඉපදීම නිසා අයිතිවාසිකම් තිබිය යුතු බවටත් ජීවත්වීමේ නිදහස, ආත්ම ගරුත්වය, කතා කිරීමේ අයිතිය රිසි සේ රිසි තැන ඇවිදීමට හා වාසය කිරීමට ඇති අයිතිය ලැබිය යුතු බවටත් හිතුවක්කාර ලෙස අනුන්ගේ ආධිපත්‍යයට යටත් නොවී සිටීම වැනි මූලික කරුණු රාශියක් හිමිවිය යුතු බවටත් ලොව දියුණු රටවල මතයක් ගොඩනැඟී තිබුණි.

අතීතයේ ලොව සියලු මිනිසුන්ට මෙම අයිතිවාසිකම් එක සමානව හිමි නොවුණු අතර අයිතිවාසිකම් භුක්ති වින්දේ සුළු පිරිසක් පමණි. නූතන රාජ්‍ය සංකල්පය බිහිවීමත් සමඟ මිනිස් අයිතිවාසිකම් ගැන කතිකාවක් ඇතිවිය. සෑම මිනිසකුටම සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු අතර ඒ තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් හිමිවිය යුතු බවත් පිළිගැනුණි. පසු කලෙක පොදු මනුෂ්‍යභාවය සංකල්පය බිහිවීමත් සමඟ මානව අයිතිවාසිකම් යන්න ඉතා පුළුල් ලෙස විග්‍රහයට ලක්විය. එහිදී මිනිසාගේ ආර්ථික, දේශපාලන, සමාජ, සිවිල් හා සංස්කෘතික අයිතීන් සියල්ල මානව අයිතිවාසිකම් ලෙස විග්‍රහ කෙරිණි.

එසේ අයිතිවාසිකම හිමිවූයේ සමාජයේ වෙසෙන මිනිසා, මිනිසකු ලෙස නැඟී සිටීමේ ප්‍රතිඵලයක් වශයෙනි. අතීතයේ මිනිසා නිසි තැන අහිමිවීම නිසා නොයෙක් දුක් ගැහැට විඳි අතර අපමණ පීඩාවන්ට ලක්විය. මේ තත්ත්වය මත මුල් කාලයේ වරප්‍රසාද ලෙස පැවති දෙය ‍පසු කලකදී ක්‍රමයෙන් වර්ධනය වී මානව හිමිකම් බවට පත් විය. එසේම ලොව පුරාම මානව හිමිකම් සංකල්පය ව්‍යාප්ත විය.

ඉතිහාස ගමන් මග

මධ්‍යතන යුගයේ හැරවුම් ලක්ෂය ලෙස වර්ෂ 1215 දී මැග්නා කාර්ටා (Magna carta The great Charter) සම්මුතිය බිහි වූ අතර මානව හිමිකම් යන වචනය මුල්වරට ඇතුළත් වූ ලියවිල්ල එයය. ඉන්පසු 1679 දී හබයාස්කෝපුස් පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලදී. 1776 දී අමෙරිකානු නිදහස් ප්‍රකාශනය (United States Declaration of Independence) මඟින් සියලුම ජාතීන් එක හා සමාන බව දක්වමින් මානව හිමිකම් පෝෂණය කළ හැකි සාරවත් පසුබිමක් සකසන ලදී. ඉන් අනතුරුව මානව හිමිකම් වංශකතාවේ විප්ලවීය වෙනසක් එක්කරන්නේ 1789 වර්ෂයේ සම්මත කරගත් ප්‍රංශ ප්‍රකාශනයයි. (Declaration of International Rights of Man and of the Citizen). පසු කලෙක 1857 ඉන්දියානු නිදහස් සටන මෙන්ම 1917 දී රුසියානු ඔක්තෝබර් විප්ලවය ද මානව හිමිකම් නව මාවතකට යොමුකිරීමට සමත් විය.

පළමු ලෝක යුද සමය 1914 – 1918 අවසන්වීමත් සමඟ මානව හිමිකම් හි වටිනාකම හඳුනාගත් ජාතීන්ගේ සංගමය 1919 දී League of Nations Covenant සම්මුතිය බිහිකර ගත්තේය.

දෙවන ලෝක යුද සමය අවසන් වීමත් සමඟ 1945 වර්ෂයේදී යළි දැල්වී ගිනි ගැනීමට ඉඩ තිබූ මානව හිමිකම් අයිතිය ආරක්ෂා කිරීමට එලේනා රූස්වෙල්ට් (Eleanor Roosevelt) මැතිනියගේ ප්‍රමුඛත්වයෙන් 1948 දී මානව හිමිකම් සුරක්ෂණය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (Universal Declaration o Human Rights) ස්ථාපිත කරන ලදී.

ඉන්පසු 1966 වර්ෂයේදී ආර්ථික, සාමාජික හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියත්, 1966 දී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියත්, 1979 දී ස්ත්‍රීන්ට එරෙහිව කෙරෙන සියලු ආකාරයේ වෙනස්කොට සැළකීම් තුරන් කිරීමේ සම්මුතියත්, 1985 දී වධහිංසා සහ වෙනත් අමානුෂික දඬුවම් හා අවමන් සහගත සැලකිලිවලට එරෙහි සම්මුතියත්, 1989 දී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියත්, 1990 දී සියලු සංක්‍රමණික සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතියත්, 1950 වර්ෂයේදී යුරෝපියානු කවුන්සිලය මඟින් මානව හිමිකම් හා මූලික නිදහස සුරැකීමේ යුරෝපියානු සම්මුතියත්, 1969 වර්ෂයේදී මානව හිමිකම් පිළිබඳ අමෙරිකානු සම්මුතියත් 1981 දී මානව හා මිනිස් හිමිකම් පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තියත් පිහිටුවා ගන්නා ලදී.

අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් වශයෙන් කොටස් දෙකකට බෙදන අතර විශ්වයේ සමස්ත මානව වර්ගයාට අදාළ වන්නා වූ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් වශයෙන් වර්ගීකරණය කෙරේ. ඒ ආකාරයට වර්ධනය වූ අයිතිවාසිකම් අතරින් යම් යම් අයිතිවාසිකම් එක් එක් රාජ්‍යයන් විසින් තම රටේ සාමාජික, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හා වෙන යම් ආවේණික තත්ත්වයන්ට උචිත වන ආකාරයට උකහාගෙන, අත්‍යවශ්‍යයෙන්ම රැකිය යුතු යැයි පිළිගන්නා අයිතිවාසිකම් ඒ ඒ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට ඇතුළත් කර නෛතිකව බලාත්මක කෙරුණි. එම අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස හඳුනා ගැනේ. ඒ අනුව එක් එක් රටවල් පිළිගත් මූලික අයිතිවාසිකම් එක හා සමාන නොවන අතර විවිධ රටවල විවිධ හිමිකම් මූලික අයිතිවාසිකම් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත.

ලොව මානව හිමිකම් සුරකින ආයතන බොහොමයක් පවතින අතර ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් කොමිසම ඉන් ප්‍රධාන වේ. කලාපීය සංවිධාන වශයෙන් ගත් කල මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපා අධිකරණය, මානව හා පුද්ගල අයිතිවාසිකම් අප්‍රිකානු කොමිසම, ඉස්ලාම් ජනතාවගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කයිරෝ සම්මුතිය, මානව අයිතිවාසිකම් පිළිබඳ අන්තර් අමෙරිකානු අධිකරණය තිබේ. හියුමන් රයිට්ස් වොච් සංවිධානය (Human Rights Watch), ෆ්‍රීඩම් (Freedom) සංවිධානය, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය (Amnesty International), බහරේන් මානව හිමිකම් මධ්‍යස්ථානය (Baharain Center For Human Rights) සංවිධානය සහ ආටිකල් (Article 18) සංවිධානය ‍මානව හිමිකම් සුරැකීමේ රාජ්‍ය නොවන සංවිධාන වශ‍ෙයන් කටයුතු කරති.

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් හා අයිතීන් සුරැකීම සඳහා ස්ථාපිත කර තිබෙන ආයතන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය, මානව හිමිකම් කොමිසම, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් නීති ආධාර පදනම, නීති ආධාර කොමිසම හා මානව හිමිකම් ආයතනය ක්‍රියාත්මක වේ.

මිනිසාගේ මානව අයිතීන් ලබාදීමටත්, ඒවා ආරක්ෂා කිරීමටත් ලොව ප්‍රබල රටවල් ප්‍රබල උත්සාහයක නිරත වූ අතර ලොව පැවැති දරුණු යුද්ධ දෙකකදී මිනිසාගේ මූලික අයිතිවාසිකම් බොහොමයක් අමු අමුවේ උල්ලංඝනය විය. ඒ සඳහා පිළියම් වශයෙන් ඉහත සඳහන් මානව හිමිකම් සම්මුතීන් ඇතිකරගත් මිනිසා අද වන විටත් ඒවා ආරක්ෂා කරගැනීමට මහත් වෙහෙසක් දරති.

ලොව සෑම රටකම මානව අයිතීන් උල්ලංඝනය වී ජනතාවට අසාධාරණයක් වූවා සේම එයින් පසු දිගු කාලයක් මුළුල්ලේ ඔවුන්ට එහි විපාක විඳින්නට ද සිදුවිය. එකම ජාතියක කොටසක් අයිතීන් ප්‍රමාණය ඉක්මවා භුක්ති විඳින අතර තවත් කොටසක් පීඩා විඳින තත්ත්වයක් ඇතිවිය. සියලු මානවයනට බලපාන පරිදි මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සිදුවූයේ ඒ තත්ත්වය සමානුගත කිරීම සඳහාය.

අධිකරණයේ පිහිට පැතීම

අනාදිමත් කාලයක සිට ලංකාවේ බෞද්ධ සංකල්පය තුළ ද මානව අයිතීන් පැවතිණ. එහෙත් ඒ සඳහා නූතන අර්ථය ලැබෙන්නේ 70 දශකයේදීය. රජය විසින් පුද්ගලයාගේ නිදහසට එරෙහිව එල්ල කරන තර්ජනවලදී ඔවුන් ආරක්ෂා කිරීම මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියේ අරමුණ වේ. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ප්‍රඥප්තියේ ද ඒ බව හොඳින් පැහැදිලි වේ. එහි සඳහන් වන ආකාරයට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයකුට අධිකරණයේ පිහිට පැතිය හැකි වන්නේ රජය විසින් මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් සිදුකළහොත් පමණි. පුද්ගලයෙක් තවත් පුද්ගලයකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළහොත් එය මානව අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස නීතියෙන් පිළිනොගන්නා අතර එවැනි ක්‍රියාකාරකම් අපරාධ ක්‍රියා ලෙස සැලකේ. එය අපේ රටේ මෙන්ම ජාත්‍යන්තරයේ ද සම්මතයකි.

පුරවැසියන්ගේ අයිතිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයට ශ්‍රී ලංකාව ද අත්සන් තැබීම ජාත්‍යන්තර නීතියට අනුකූලව සිදු වූවකි. විශ්ව ප්‍රකාශනයේ මූලධර්ම නූතන මානව හිමිකම් ප්‍රඥප්තිය ලෙස පිළිගැනේ. එහි කොන්දේසි අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සෑම රටක්ම විශ්ව ප්‍රකාශයට ගරුකොට ක්‍රියාත්මක කිරීමටත් ඒ අනුව පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් බැඳී සිටියි.

ජිනීවා නුවර දී පවත්වන එක්සත් ජාතීන්ගේ ‍මානව හිමිකම් කවුන්සලය රටට විනකරන භූතයකු ලෙස ඇතැමුන් හැඳින්වූවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය යනු ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ළමා සංවිධානය, ලෝක පරිසර සුරැකීමේ සංවිධානය, ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ සංවිධානය වැනි තවත් එක් සංවිධානයක් පමණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කළ මානව හිමිකම් ප්‍රඥප්තිය නීතිප්‍රකාරව ක්‍රියාත්මක කිරීමට තම සාමාජික රටවලට සහයෝගය ලබා දෙමින් ඒ රටවල මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවලදී ඒවා වළක්වා පිළියම් ලබාදීමට උපකාර කිරීම මානව හිමිකම් කවුන්සලයේ වගකීම හා කාර්යභාරය වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මඟින් අප රටට විවිධ අපරාධ චෝදනා එල්ල කරන බව ඇතැම්හු පවසති. එය සම්පූර්ණ වැරදි ප්‍රකාශයකි. තිස් වසරක් පුරා පැවැති බෙදුම්වාදී යුද්ධ‍ෙය් නිරත වූ රජයටත් බෙදුම්වාදීන් වෙනුවෙන් එල්. ටී. ටී. ඊ, සංවිධානයටත් යන පාර්ශ්ව දෙකටම මානව හිමිකම් චෝදනා එල්ල වී තිබෙන අතර වගකිවයුත්තන් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුය.

යුද සමයේ දෙපාර්ශ්වයෙන්ම සිදුවූ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධව පරීක්ෂණ පවත්වන බවට 2015 දී රජය පොරොන්දු වුවද මේ වනතුරු එය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබේ. ඒ සඳහා ආණ්ඩුව නොයෙක් හේතු ගෙනහැර දක්වමින් සිටී. හමුදාව වෙතින් සිදු වූ මානව අයිතීන් කඩවීම් සම්බන්ධව ක්‍රියා කිරීමේදී රණවිරුවන් පාවා දෙතැයි ඇතැම් දේශපාලන පක්ෂ විරුද්ධත්වය ප්‍රකාශ කරන අතර එල්. ටී. ටී. ඊ. සංවිධානය මඟින් සිදුකළ මානව අයිතීන් කඩකිරීම් පිළිබඳ පමණක් පරීක්ෂණ පැවැත්වීමේදී වෙනත් පාර්ශ්ව විරුද්ධත්වය ප්‍රකාශ කරති. ඒ හෙයින් රජය දැඩි අසීරුතාවයකට පත්ව ඇත. කිසිවකුට නීතියට පටහැනිව ක්‍රියාත්මක විය නොහැකිය. එසේ සිදුකරයි නම් දඬුවම් ලැබිය යුතුය. මෙය යුද සමයේ ගැටුමට මැදි වූ දෙපාර්ශ්වයට පමණක් පොදු දෙයක් නොව සමස්ත පුරවැසියාටම පොදු දෙයකි. මෙවැනි කාරණා මත 2015 දී ගෙන ආ යෝජනාව ඉවත් කරගත යුතු බවට යෝජනාවක් ගෙන ආවද එය ද ක්‍රියාත්මක වී නැත. යුද සමයේ සිදුවූ බව කියැවෙන මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ ක්‍රියාත්මක වීමේදී රජය පරිස්සම් වැඩපිළිවෙළක් අනුගමනය කරන බව ඒ අනුව පෙනී යයි.

මානව හිමිකම් කවුන්සලයෙන් මෙවර අමෙරිකාව ඉවත් වූ අතර ඒ නිසා ලංකාවද ඉවත්විය යුතු බව ඇතැම් පුද්ගලයන්ගේ අදහසය. එවැනි ප්‍රකාශයක් කුමන පදනමකින් කරන්නේදැයි පැහැදිලි නැත. අමෙරිකාව ඉවත් වූයේ මානව හිමිකම් කවුන්සලයේ සහභාගි විය හැකි වාර ගණන අවසන් වූ බැවිනි. ශ්‍රී ලංකාවට එහි කිසිදු සම්බන්ධයක් නැත. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු වුවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකයකු නොවේ. ඇතැම් විට ඔවුන් ප්‍රකාශ කරන්නේ 2015 දී ගෙනා හවුල් යෝජනාවෙන් ඉවත්වන ලෙස විය හැකිය. එහෙත් එලෙස ඉවත්වීම ද පහසු කටයුත්තක් නොවේ. විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් දේශපාලන ප්‍රසිද්ධිය වෙනුවෙන් හා ස්ථාවරය රැකගැනීමටත් සමාජයේ ප්‍රවෘත්ති මවන්නන් බවට පත්වීමටත් එවැනි ප්‍රකාශ කළද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකිය.

ලංකා ඉතිහාසය බලන විට පැවැති සෑම රජයක්ම මානව හිමිකම් උල්ලංඝනය කර තිබේ. එහෙත් සිදුවන්නේ එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් චෝදනා කිරීම ය. කිසිව‍කු අවංකව, උනන්දුවකින් මානව හිමිකම් කඩවීම් සම්බන්ධව විසඳුම් සෙවීමට කටයුතු කර ඇති බවක් නොපෙනෙන අතර මානව හිමිකම් කඩවීම් දේශපාලනීකරණය වී ඇති බව නම් පෙනෙන්නට ඇත.

මානව හිමිකම් කඩකිරීම් යන්නට රජයේ හමුදාව හා එල්. ටී. ටී. ඊ. බෙදුම්වාදීන් අතර ඇතිවූ ගැටුම් පමණක් ඇතුළත් වනවා නො‍වේ. එක් එක් කාලපරිච්ඡේදවල ආණ්ඩු විරෝධී අරගල, උද්ඝෝෂණ, වැඩවර්ජන හමුවේ පැවැති ආණ්ඩු ක්‍රියාකළ ආකාරය ද පරීක්ෂා කළ යුතුව ඇත. එදා අමු අමුවේ මානව හිමිකම් කඩකළ උදවිය බලය නැති වූ විට මානව හිමිකම් ගැන නන්දොඩවන ආකාරය පුදුමාකාරය.

බෙදුම්වාදී යුද සමයේ සිදුවූයේ යැයි කියැවෙන මානව හිමිකම් කඩකිරීම් ශ්‍රී ලංකා යුද හමුදාව පමණක් ඉලක්ක කරගෙන එල්ලවෙතැයි ඇතැමුන් ප්‍රකාශ කළද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා හොඳින් අධ්‍යයනය කිරීමේදී රජයේ හමුදාවට හා එල්. ටී. ටී. ඊ. සංවිධානය යන දෙපාර්ශ්වයටම චෝදනා එල්ල වී තිබෙන බව පැහැදිලිව අවබෝධ වනු ඇත. එහෙත් ඇතැම් මාධ්‍ය, විරුද්ධ දේශපාලන පක්ෂ හා සංවිධාන ප්‍රකාශ කරන්නේ රජයේ හමුදාවන්ට පමණක් එවැනි චෝදනා එල්ල වී තිබෙන බවයි. එය සම්පූර්ණ අසත්‍යයකි. සත්‍ය වසන්කොට උණුසුම් පුවත් මැවීමට අප රටේ ඇතැම් මාධ්‍ය හා දේශපාලනඥයන් හැඩගැසී සිටිති. ඒ ඔවුන්ගේ බාල ප්‍රතිපත්තිවල ස්වභාවය වේ. සියල්ල දේශපාලන හා වාණිජ වාසි පිණිස පරිවර්තනය කරගන්නා පිරිසක් අප රට තුළ සිටින බව මෙයින් පැහැදිලිය.

කඩවුණු පොරොන්දු

කාලාන්තරයක් පුරා මානව හිමිකම් කඩකිරීමේ චෝදනා ශ්‍රී ලංකා රජය වෙත එල්ල වෙන අතර ඒ සම්බන්ධව විසඳුමක් ලැබේද යන්න ගැටලු සහගතය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී බලයට පත්වූයේ, මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමේ පොරොන්දුව මතය. මොවුන් දෙදෙනා හැර එය ඉටුකිරීමේ හැකියාව ඇති කිසිවකු ද නැත. මේ ආකාරයට ගැටලුවට පිළිතුරු සෙවීම කල්යත්ම එය සමාජ කතිකාවෙන් ද ගිලිහී යනු ඇත. එවිට එය තවදුරටත් දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් නොවීමට ද ඉඩ ඇත.

තවත් කාලයක් යනතෙක් ජාත්‍යන්තර වශයෙන් ද ශ්‍රී ලංකා රජයට එරෙහිව පවතින මානව හිමිකම් කඩකිරීමේ ප්‍රශ්නය යම් යම් අවස්ථාවල මතුකරනු ඇත. ලංකා ආණ්ඩුව මේ කාරණය සම්බන්ධව නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොගන්නා තත්ත්වය මත කාලයාගේ ඇවෑමෙන් ප්‍රශ්නය දිය වී යාමට ද ඉඩ ඇත. මක්නිසාදයත් ජාත්‍යන්තර බලපෑම්වලට ද ක්‍රියාකිරීමට තිබෙන අවස්ථා සීමාසහිත නිසාය. බලහත්කාරයෙන් යමක් ක්‍රියාත්මක කිරීමේ නෛතික හැකියාවක් ඔවුන්ට ද නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය යම් රජයකට දඬුවම් දිය හැකි අධිකරණයක් නොවේ. විවිධ රටවල සිදුවන්නා වූ මානව අයිතීන් කඩකිරීම් නිවැරදි කර සමස්ත ලෝක පුරවැසියාගේ නිදහස හා ආරක්ෂාව පිණිස පෙනී සිටින සංවිධානයක් වන බැවිනි.

නිශාන් මෙන්ඩිස්


නව අදහස දක්වන්න