වගා දිගා කළ යුතු දේශීය වී | දිනමිණ

වගා දිගා කළ යුතු දේශීය වී

සකුන්තලා ජයසිංහ

ගොවියාගේ වී ටික අඩු මිලට ගෙන ඒවා සහල් බවට පත් කර වෙළෙන්ඳා වෙළෙඳපොළට වැඩි මිලකට දෙයි. මෙම වෙළෙඳ ඒකාධිකාරය බිඳීමට පසු අස්වනු තාක්ෂණය මගින් පැරැණි සහල් යොදා ගෙන විවිධ ආහාර නිෂ්පාදන කිරීමට ගොවි ප්‍රජාවට පෙළගැසීමට බැරි කමක් නැත. ගොවින් විසින් හසුරුවන සහල් ගම්මාන වැඩ සටහන පිළිබඳ සංකල්පය වඩාත් හොඳ ප්‍රවේශයකි.

වසර තුනකට ආසන්න කාලයක් පැවති නියඟයෙන් පසු මෙදා මහකන්නයට ගොවීන් හා හා පුරා කුඹුරට බැස්සේ වී පෑලක් ගෙට ගන්නට මහත් ආසවකිනි. හැමදා නියං එකදා වැහි වළාවේ කියන්නාක් මෙන් මෙවර වැසි ඇරඹීමත් සමඟ අස්සක් මුල්ලක් නෑර හැකි සෑම බිම් අඟලක් ම අස්වැද්දීමේ ප්‍රතිඵලයක් ලෙස වාර්තාගත අස්වැන්නක් ලැබිණි. මේ කතාව මුසාවක් යැයි කීමට නොහැකි තවත් සාක්ෂියක් ගොඩ නැඟුණේ මෙදා රාජාංගණය ගොවි ජනපද ව්‍යාපාරයෙන් පමණක් පැරැණි දේශීය වී පමණක් කිලෝ ලක්ෂයක අස්වැන්නක් ගොඩ ගැසුණු පුවත හරහාය.

රත්හැල්, සුවඳැල් , පච්චපෙරුමාල්, කළු හීනටි , සුදු හිනටි යන වචන ඇසෙන විට සුපර් මාර්කට් රාක්කවල අඩුක් කර ඇති පුංචි පහේ ඇසුරුම් ඔබට මතකයට එනවා ඇත. එසේ මුත් පරම්පරාවකට වුව එපිටින් අපේ වැඩිහිටියන් තුන් වේලම බත් කෑවේ මේ සහලින් බව මුත් තවමත් නීරෝගි වයස්ගත අපේ ඇත්තෝ සාක්කි දරති. ඒ යුගයට යළි ගමන් කිරීමට හැකි බවට සුබ ලකුණ මෙදා පැරැණි වී වගා කළ දක්ෂ ගොවි පරපුරයි.

දේශීය සහලේ රස ගුණ වරුණ යටපත් වී ගියේ නව පර්යේෂණ ඇසුරින් දෙමුහුන් වී වර්ග ගොවීන් අතට පත්වීමත් සමඟය. අද වන විට මෝස්තරයට වගා කරන වී වර්ග බවට පත්ව ඇති අපේ නුමුහුන් පැරැණි වී වර්ග ගොවියෝ අලුත් වී වර්ග සොයා යති. පැරැණි හාල ලොකු ලොකු හෝටල්වලින් කන බොන ඇත්තන්ට පමණක් පැරැණි හාලේ බත් සීමා කර ඇති සංස්කෘතිය වෙනස් කිරීමට ප්‍රතිපත්ති හදන්නන් මෙන්ම ගොවියා ද පෙළ ගැසිය යුතුය.

කළු හීනටි, සුදු හීනටි , මුරුංගාකායන් , රත් හැල් , සුවඳැල් , කුරුලුතුඩ ආදි වී වර්ග මෙදා දුර්ලභය. මෙම වී වර්ගවලින් ලැබෙන අස්වැන්න වැඩි වන ජනගහනයේ කුසගිනි නිවීමට ප්‍රමාණවත් නොවන බවට නිර්මාණය වු දැඩි මතය නිසා ගොවියෝ මේ වී වර්ග අත්හැර නව දෙමුහුන් වී වර්ග වැළඳගන්නා ලදී. වැඩි අස්වැන්න , කෙටි කාල සීමාව , අස්වනු නෙළා ගැනීමේ පහසුව සහ රස ගුණ නොමැති මුත් ආහාරයට ගැනීමේ දී පවතින සුමට බව නිසා පැරැණී වී ප්‍රබේද යටපත් කරමින් නව වී වර්ග ජනප්‍රිය විය. නමුත් අද වන විට දේශීය ආහාර සංස්කෘතියේ විකෘතිකර ස්වභාවය නිසා බෝ නොවන රෝගීන්ගෙන් පිරී ඇති රටට මෙම පැරැණි සහලේ අගය දැනීමත් සමග ඒවා සොයා සුපිරි වෙළෙඳසල් පීරීමට දැන් සිදුව තිබේ. පවතින මිල යටතේ සෑම පැරැණි සහල් වර්ගයක්ම කිලෝව රුපියල් 350.00 සිට ඉහළ මිලකට විකිණෙයි . ගල්කැට වුණත් මේ මහපොළොවේ වගා වෙතැයි කියන රටක මෙවැනි මිලක් නිර්මාණය වුයේ කෙසේ ද යන්න පළමු කොට විසඳා ගත යුතුව ඇත. ඒ කතාව හරි අපුරුවට විග්‍රහ කළේ රාජාංගණය යාය 03 සෝලේපුර පදිංචි ශ්‍රි සුමිතුරු සිද්ධ කෘෂි ජාතික ව්‍යාපාරයේ සභාපති අජිත් බණ්ඩාර මහතාය.

"අපේ ජනපදයේ කන්න කිහිපයක සිට පැරැණි වී වගා කරනවා. ඇත්තටම මේ වී වගා කරන්න වැඩිය ගොවියෝ කැමති නෑ. ඒකට හේතුව මිලක් නැති කම. පැරැණි සහල්වලට අහස උසට මිලක් තියෙනවා. සහල් කිලෝව 350.00-400.00යි . වී කිලෝව රුපියල් 65.00 යි. අනෙක් වී වගේ නෙමෙයි මේ වී භූතයාගෙන් කපන්ඩ බෑ. ඇග්‍රිමේට් එකක් හෝ අතින් කපලා පයින් පාගන්ඩ ඕනෑ. වියදම වැඩියි. ලැබෙන අස්වැන්න අඩු වුණාට හාල්වලට හොඳ මිලක් තියෙනවා. ඒ නිසා වීවලට මිලක් දෙන්ඩ බැරිකමක් නෑ. නමුත් කිසිම රජයක් මේ වී ව්‍යාප්ත කිරීම ට උනන්දු කරලා නෑ. ගිය කන්නේ සුවඳැල් වී කිලෝව රුපියල් 100 ට ගියා .මෙදා 65.00 ට බැස්සා. ලොකු ලොක්කන්ට දියවැඩියාව , ප්‍රෙෂර් හැදුණම අහිංසක අපෙන් තුට්ටු දෙකට ගන්නා වීවලින් හදන හාල් වැඩි මිලට අරගෙන කනවා. අහිංසක දුප්පත් වකුගඩු ලෙඩාටත් බැරි බැරි ගාතේ ජීවත් වෙන්ඩ ආසාව ට ඒ මිලට ම හාල් ගන්න වෙනවා. පැරැණි සහල් වෙළෙඳපොළ කියන්නේ තනිකර මාෆියාවක්. මේ ක්‍රමය නැති කිරීමට නම් සහල් නිෂ්පාදන අයිතියත් ගොවියාට දෙන්න. ඒක තනියම ගොවියට කරන්න බෑ. රජය ඊට සහාය දිය යුතුයි. එහෙම වුණොත් ගොවියාටත් ලාභයක් ලැබිලා පාරිභෝගිකයන්ටත් අඩු මිලට මේ හාල් ගන්න පුළුවන්"

ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් සඳහා මේ කාතව හොඳ ප්‍රවේශයකි . රාජාංගණය බඹරේ ටී.ටී .යු විජේරත්න තරුණ ගොවි මහතා පවසන්නේ පැරැණි වී සහ සහල් අතර පවතින අහසට පොළොව වැනි වෙනස නැති කිරීමට නම් පැරැණි වී වැඩියෙන් වගා කර එම සහල්වලින් වෙළෙඳපොළ ශක්තිමත් කළ යුතු බවයි.

" රාජාංගණයේ අපි ළඟ වී වර්ග පනස් දෙකක් පමණ තිබෙනවා. ගොවීන් දිරිගන්වලා වගාවට නැඹුරු කරලා අස්වැන්නෙන් කොටසක් හෝ රජය මිලදී ගන්නවා නම් සහල් මිලත් පාලනය කරන්න පුළුවන්. අපේ වී තුට්ටු දෙක ට වෙළෙන්ඳෝ අරගෙන සහල් කරලා ගිනි ගාණට විකුණන එකයි අද වෙලා තියෙන්නේ. මේ තත්ත්වය නැවැත්වීමට නම් පැරැණි වී වගා කරන ගොවීන් ගේ අස්වනු ටික රජය මිලදීගෙන සාධාරණ මිලකට සහල් කරලා විකුණන්න. එහෙම නැත්නම් පැරැණි වීවලටත් සහතික මිලක් දෙන්න. අද මේ සහල් පාරිභෝගිකයන්ගෙන් ඈත් වෙලා තියෙන්නේ මිල වැඩි නිසයි"

සම්බා සහ නාඩු මෙන්ම පැරැණි වී අස්වැන්නෙන් ද රජයේ ගබඩා ටික පුරවා ගන්නේ නම් දැනට පවතින ඉහළ පාරිභෝගික ඉල්ලුමට හොඳ සැපයමුක් ලබා දීමට හැකියාවක් ලැබෙයි. නමුත් නිෂ්පාදනය වන සියලුම වී රජය ගත යුතුය යන නියමයක් නැත. ඕනෑම නිෂ්පාදනයක් සඳහා රජය සහතික මිලක් නියම කරන්නේ පෞද්ගලික අංශයේ තරගකාරි වෙළෙදපොළක් ඇති කිරීම සහ වෙළෙඳ සමාජය විසින් ගොවියා සුරා කෑම වැළැක්වීම සදහායි. එමෙන්ම වී මිල ඉහළ දැමිය යුතු බවට තර්ක ගොඩ නැගුව ද වී මිල වැඩි කළොත් සහල් මිල ද වැඩිවීමේ ප්‍රශ්නයක් ඇති බවය.මේ රටේ ලක්ෂ දහයක් පමණ සිටින ගොවීන් මෙන්ම කෝටි දෙකකට ආසන්නව සිටින පාරිභෝගිකයින් ට රජය වග කිව යුතුය. මෙය දේශපාලන න්‍යායක් නොවන ප්‍රායෝගික තත්ත්වයයි.

පැරැණි සහලේ බත් සහ කැඳ වර්ග අනුභවයට වත්මන් සමාජය හැඩ ගැසිමේ පුනරාගමනයක් දැන් දැන් සිදු වෙමින් පවති. නමුත් මෙම සහල්වල අධික මිල නිසා එම ඉල්ලුම දියාරු වීමට පටන් ගෙන තිබේ. පැරැණි සහලේ බත් තුන් වේලම අනුභව කරන තැන ට රට හැරවිය යුතු අපේ තර්කය නොවේ.නමුත් පවතින ලෙඩ රෝග රැල්ලෙන් අනාගත පරපුර ගළවා ගනු වස් මෙම වටිනා දිව ඔසු වැනි සහල් යම් පමණකින් හෝ කුමන ස්වරූපයෙන් හෝ ආහාරයට එක් කර ගැනීමේ පුරුද්ද වත්මන් ආහාර සංස්කෘතියට එක් කළ යුතු බව අපේ ද යෝජනාවයි.

බීජි යනු දේශීය සහලක් බවත් පැරැණි වීවල ජාන විකෘති නොකර බතලගොඩ වී පර්යේෂණ ආයතනය මගින් බීජි නිපදවා ඇති බවත් කියති. එය සැබවක් මුත් පැරැණි මුහන් නොකළ වී වර්ගවල සහ බීජිවල ගුණාත්මය අහසට පොළොව වැනිය. දේශීය පැරැණි වී ගොවියා ආරක්ෂා කරමින් පාරිභෝගික සමාජයට ද මෙම වටිනා සහල් සහන මිලට පරිභෝජනය පහසු කරන ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමට කතිකාවක අවශ්‍යතාව මතු කිරීමට අප පෙළඹවුයේ රාජාංගණය ව්‍යාපාරයෙන් මෙම වී වර්ග සාර්ථකව වගා කළ හැකි බව ඔප්පු කිරීමත් සමගයි.

දේශීය සහලින් වෙළෙඳපොළ ශක්තිමත් කිරීමටත් වඩා ජනතාව අතර මෙම සහල් පරිභෝජනය ජනප්‍රිය කරවීම කාලීන අවශ්‍යතාවයි. අතිරික්ත අස්වැන්නෙන් වෙළෙඳපොළ ස්වයංපෝෂීත වීමෙන් සෑම පාරිභෝගිකයකු ට ම ඒවා මිලදි ගැනිම ට අවස්ථාව සැලසෙයි.මේ රටේ ලක්ෂ ගණනක් වකුගඩු රෝගින් සිටින යුගයක ඔවුන්ගේ ප්‍රාණ වායුව දවසක් රැක ගන්නට ආයුර්වේද දෙපාර්තමේන්තුව , දේශීය වෛද්‍ය අමාත්‍යංශය ආදි ආයතනවලට මේ වී මිලදී ගැනීමට බැරිකමක් නැත. හිත ඇත්නම් පත කුඩා දැයි කියන්නා සේ මේ මොහොතේ අවැසි වන්නේ රටට හිතැති දැක්මක් හා වැඩ පිළිවෙළක් ය.මේ ගැන වටිනා අදහසක් එක් කළේ වයඹ පළාත් හිටපු සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයකු වු වයි.ඒ.එල් ඇලිවලතැන්න මහතායි.

"දේශීය පැරැණි වී සඳහා වෙළෙඳපොළක් ඇති කිරීම සහ එම සහල් පරිභෝජනය ප්‍රචලිත කිරීමට කිසිදු බාධාවක් නෑ. අපි කියන්නේ නෑ මේ හාල් විතරක්ම කන්න ඕනෑ කියලා.නමුත් අද අපේ රටේ බෝ නොවන රෝග ඉහළ යාම විශාල ධනස්කන්ධයක් ඖෂධ සඳහා වැය වෙනවා. වටිනා ජීවිත අකාලයේ අහිමි වෙනවා.අපි ට මේ යන ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. මේ සඳහා දැනට රජය මැදිහත් වී ගොවීන්ගේ අස්වනු ටික මිලදී අරගෙන ගර්භනි මවුවරුන් ට ලබා දෙන පෝෂණ මල්ලට මෙම සහල් ටිකක් මිලදී ගන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. කිරි වීදුරුව වෙනුවට කැඳ හදලා ළදරු පාසල්වල දරුවන්ට දෙන්න පුළුවන්. වස විස ගහන්නේ නැති මේ හැම වී වර්ගයක ම ඒ ඒ ලෙඩවලට සුවය ගෙන දෙන ගුණ තියෙනවා. සුවඳ රසය, විටමින්, ඛනිජලවණවලින් අනූන මේවා මන්දපෝෂණය ට එකම පිළියමයි. මේවා ක්‍රියාවට නංවනවා නම් අපේ වී ටික ගන්නේ නෑ,මිලක් නෑ කියලා ගොවියන්ගෙන් ප්‍රශ්න එන්නෙත් නෑ. ඒ වගේම පාරිභෝගිකයින්ටත් අඩු මිලට මේ සහල් මිලදී ගන්න පුළුවන්."

. මේ පිළිබඳව අදහස් දැක්වුයේ කෘෂිකර්මය පිළිබද හසල දැනුමක් ඇති ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් ඩබ්.ආර්.ඩබ්.ආර් වැලිපිටිය මහතායි.

"ඉකුත් සමයේ මහත් ආන්දෝලනයකට ලක් වුණු සේනා දළඹුවාගේ ආක්‍රමණයත් සමඟ පළිබෝධ හානිවලට ඔරොත්තු දෙන දේශීය බීජවල වටිනාකම සහ පැරැණි ගොවිතැනේ රහස්වල අගය කාටත් අවබෝධ වුණා. සේනා දළඹුවා පිටරටින් ගෙනෙන ලද ආක්‍රමණයක් විදිහට ඇතැම් අය මත පළ කළත් විශ්ව විද්‍යාලවල කෘෂිකර්මය ඉගෙන ගන්නා විද්‍යාර්ථීන් ට ශරීරයේ වයි හැඩයක් තිබෙන දළඹුවා පිළිබඳව මීට වසර වසර තිහකට පමණ පෙරත් විද්‍යාගාර පර්යේෂණ හරහා ඉගැන්වුවා. ඒ කියන්නේ අපේ පරිසරයේ මීට පෙරත් මේ පළිබෝධකයා සිටියා කියන එකයි. නමුත් අපේ ගොවිතැනට හානියක් නොවුණේ දේශීය ප්‍රබේද මෙම පළිබෝධ හානිවලට හොඳින් ප්‍රතික්‍රියා කළ නිසයි. දේශීය පැරැණි වී වර්ගවල ශාකය සියලු කොටස් රළුයි. බූව සහිතයි. මේ නිසා පළිබෝධකයින් මෙම ශාකවල බිත්තර දැමීමට ප්‍රියතාවයක් දක්වන්නේ නෑ. පැරැණි ප්‍රබේදවල අස්වනු අඩු වුණාට අපි ට නව පර්යේෂණ හරහා වැඩි දියුණු කර ගන්න පුළුවන්. දේශීය දේවල් සුලබ කිරීම තුළින් ඊට ගැළපෙන විදිහට ආහාර සංස්කෘතිය හැඩ ගැසෙනවා. ඒ සඳහා ගොවීන් ට මග පෙන්වීමක් කරනවා නම් හොඳයි."

ගොවියාගේ වී ටික අඩු මිලට ගෙන වෙළෙන්ඳා ඒවා සහල් බවට පත් කර වෙළෙඳපොළට වැඩි මිලකට දෙයි. මෙම වෙළෙඳ ඒකාධිකාරය බිඳීමට පසු අස්වනු තාක්ෂණය මගින් පැරැණි සහල් යොදා ගෙන විවිධ ආහාර නිෂ්පාදන කිරීමට ගොවි ප්‍රජාවට පෙළගැසීමට බැරි කමක් නැත. ගොවින් විසින් හසුරුවන සහල් ගම්මාන වැඩ සටහන පිළිබඳ සංකල්පය වඩාත් හොඳ ප්‍රවේශයක් බැව් අපි යෝජනා කරමු. මේ සඳහා අපිට තිබෙන සම්පත් ගැන අපි ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ පර්යේෂණ නිලධාරි කසුන් හෙට්ටිගේ මහතාගෙන් විමසුවෙමු.

"පශ්චාත් අස්වැන්න පිළිබද තාක්ෂණ ආයතනය මගින් පාරම්පරික දේශීය සහල්වලින් අතුරු නිෂ්පාදන කිරීමේ හැකියාව පිළිබඳව පර්යේෂණ රැසක් සිදු කර තිබෙනවා. සාමාන්‍ය සහල්වලට වඩා පැරැණි දේශීය සහල්වල තන්තු ප්‍රමාණය වැඩියි. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතිය තුළ ශරීරයට හිතකර බැක්ටීරියා වර්ධනය කිරීමට පවතින හැකියාව සහ මෙම සහල්වල ගුණාත්මක ලක්ෂණ පිළිබදව දැනටමත් අපි පර්යේෂණ සිදු කරමින් සිටිනවා. අපි මෙයින් බලාපොරොත්තු වන්නේ සහල්වලින් බත් සකසා ගැනීමට අමතරව අතිරේක ආහාර වර්ග නිෂ්පාදනයට මග පෙන්වීමයි. ගොවි ජනතාවට ම පුළුවන් මෙම නිෂ්පාදන කරලා වෙළෙඳපොලට දෙන්න. දැනටමත් සහල් කිරි, අයිස්ක්‍රිම් , යෝගට්, ඉට්ලි වැනි දෑ මෙම සහලවලින් නිපදවිය හැකි බව පර්යේෂණ අත්හදා බැලීම්වලින් සාර්ථකව ඔප්පු කර ගෙන තිබෙනවා. අපි ට පුළුවන් මේ තාක්ෂණය ස්වයංරැකියා ලාභින්ගේ සිට ව්‍යපාරිකයින් දක්වා ලබා දෙන්න."

මේ වන විට මේ ආහාර සංස්කෘතිය කණපිට පෙරළි තිබේ. නමුත් විධිමත් වැඩපිළිවෙළක් යටතේ ගොවීන් පෙළගස්වන්නේ නම් නැවත මෙම සහල් පරිභෝජනය ප්‍රචලිත කළ හැකි බැව් පවසන්නේ දේශීය බිජ සුරැකීමේ සංවිධානයේ ලේකම් ඇලෙක්ස් තන්ත්‍රිආරච්චි මහතා ය.

"අද ලෝකය මුළුමනින් ම හසුරුවන්නේ බීජ අධිරාජ්‍යවාදය විසින්. ඔවුන්ගේ තවත් එක් හස්තයක් වන රසායනික පොහොර සහ යෙදවුම් හරහා හරිත විප්ලවය නැමති සංකල්පය තුරන් වෙමින් පවතිනවා. නමුත් මේ ක්‍රමයේ වහල්ලු නොවී අපිට යළිත් අපේ දේවල් වගා කර දේශීය වෙළෙඳපොළ ශක්තිමත් කර ගන්න පුළුවන්. නමුත් එය සිදු කිරීමට නම් රාජ්‍ය අංශය ශක්තිමත් වෙන්න ඕනෑ.අද වන විට බීජ ගොවිපොල සියල්ල පෞද්ගලික අංශය සතු කර ගෙන තිබෙනවා. සහල් නිෂ්පාදනයත් එහෙමයි. පැරැණි සහල් සුලබ කිරීමෙන් ඒකාධිකාරයක් නිර්මාණය වෙන්නේ නෑ. සෑම ගොවියක් ම අක්කර කාලක් හෝ පැරැණි වී වගා කරනවා නම් ලොකු අස්වැන්නක් රටට එනවා."

පැරැණ දේශීය වී ප්‍රබේදවල අස්වැන්න අඩු වුව ද යළි ජනප්‍රිය කිරීම සඳහා වඩාත් සුදුසු ම ක්‍රමවේදය වන්නේ රජයේ මැදිහත්වීම බැව් පවසන්නේ රජරට විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය දිල්ෂාන් බෙනරගම මහතායි.

"පැරැණි වි වගාවට ගොවීන් වැඩි කැමැත්තක් නැත්තේ ප්‍රමාණාත්මකව සුළු අස්වැන්නක් ලැබෙන නිසයි. නමුත් මේවා දැන ට වගා කරන විසීරි සිටින ගොවීන් ඒකරාශි කර ජාලයක් බිහි කර ගන්නේ නම් වැඩි අස්වැන්නක් එකතු වෙනවා. අස්වැන්න වැඩි කිරීමෙන් තමයි සහල් මිල අඩු කර ගන්න පුළුවන්. ඒ සඳහා රජයේ සහාය ගොවීන්ට ලැබිය යුතුයි. හොඳ මිලක් දීමෙන් ගොවීන් දිරිමත් වෙනවා."

කාලාන්තරයක් තිස්සේ අපේ රටේ සිදුවන්නේ වත්කමක් නැති රටේ මිනිහාට පිටරටින් ගෙනෙන පොලිෂ් කළ හාල කවා අපේ රටේ රන් හා සමාන පැරැණි වී ටික පිටරටට පැටවීම හෝ සුපිරි හෝටල්වලින් කන සුළු පිරිස ට වෙන් කිරීමයි . අපේ පැරැණි දේශීය වී ටික කෞතුක වස්තුවක් නොකොට ගොවියාත් , වී ටිකත් රැක ගෙන සහල් ටිකත් සකසා ගෙන රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ වගකීම ට කාරිය කරවන ඇත්තෝ නොපමා වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.


නව අදහස දක්වන්න