යටත් විජිතවාදී වහල් පාලනයෙන් අප රට මුදාගත් ජාතියේ පියා | දිනමිණ

යටත් විජිතවාදී වහල් පාලනයෙන් අප රට මුදාගත් ජාතියේ පියා

- මහාමාන්‍ය ඩී.එස්. සේනානායක

1815 මාර්තු 02 වනදා සිංහ කොඩිය බිම හෙළා බ්‍රිතාන්‍ය කොඩිය එසවීමෙන් මුළු මහත් ශ්‍රී ලංකාවේ පරිපාලන බලය ඉංග්‍රිසීන් අතට පත් විය. බ්‍රිතාන්‍යයේ පාලන බලය ආරම්භ කළේ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ද උඩරට වෙනුවෙන් රදළ ප්‍රධානීහු ද එක්ව 1815 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවය. උඩරට ගිවිසුමෙහි සඳහන් කොන්දේසි අනුව ඒකීය රාජ්‍යයක් ලෙස මුළු ශ්‍රී ලංකාව ම එකම පාලන ක්‍රමයක් ලෙස රාජ්‍ය පරිපාලන තන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අපහසු විය. උඩරට ගිවිසුම අනුව රදළ ප්‍රධානීන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමටත්, සිරිත් විරිත් රැක ගැනීමටත්, බුදධාගම හා එහි වත්පිළිවෙත් ආරක්ෂා කිරීමටත්, බ්‍රිතාන්‍යයන් බැඳී සිටියහ. මේ සියල්ල නොපිරිහෙලා ඉටුකිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සිය නිලධාරීන් පත්කරගත් නමුත් බ්‍රිතාන්‍ය පාලකයන් ක්‍රියා කළේ ද සලකන ලද්දේ ද උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව යටත් විජිතයක් සේ සලකා පාලන ක්‍රියාවලිය ආරම්භ කිරීම ය.

එකී චේතනාවෙන් ආරම්භ කළ පාලන තන්ත්‍රය අවුරුදු 133 ක පමණ දීර්ඝ කාලයක් ලෙස පැවතුණි. එකී පාලන කාලය දේශපාලනය ආර්ථික හා සාමාජික වශයෙන් අන්තයටම පිරිහුණු යුගයක් උදාවිය. අප රටින් උපයාගත් විශාල ධනස්කන්ධයක් බ්‍රිතාන්‍යයට ගෙන යන ලදී.

1815 සිට 1948 දක්වා ශ්‍රී ලාංකිකයන්ගේ ස්වාධිපත්‍යය හා පාලන බලය ඉල්ලා කැරළි ගැසීම් උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කිරීම සිදුවිය. අනගාරික ධර්මපාලතුමා, පියදාස සිරිසේන මැතිතුමා, ජෝන්ද සිල්වා මැතිතුමා බෞද්ධ පුනරුද ව්‍යාපාර ආරම්භ කළහ. හින්දු ආගමික පුනරුද ව්‍යාපාරයට නායකත්වය දෙන ලද්දේ ආරුමුගන් නාවලර්තුමා විසිනි. ඉස්ලාමීය ආගමික පුනර්ජීවය පිණිස ඇම්.සී. සිද්දිලෙබ්බෙ මැතිතුමා මුස්ලිම් ජනතාව වෙනුවෙන් ක්‍රියා කළේය. බෞද්ධ පාසල් පිහිටුවීමේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමි, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි හා වස්කඩුවේ ශ්‍රී සුඥාති හිමි, දොන් ස්ටෙපර් සේනානායක, දොන් කරෝලිස් හේවාවිතාරණ, ජෙරමියස් ද සිල්වා යනාදී උතුමන් ජාතියේ අභිමානය හා බ්‍රිතාන්‍ය පාලනයේ ආරාජිකත්වයට එරෙහිව ක්‍රියා කළහ.

මෙවන් පසුබිමක් යටතේ අප ශ්‍රී ලාංකික ජනතාවගේ පුණ්‍ය මහිමය නිසාම “අපටත් රජෙක් බිහි වුණේය” සනාථ කරමින්...

දොන් ස්ටීවන් සේනානයක ශ්‍රීමතාණන් උපන්නේ 1864 ඔක්තෝම්බර් මස 20 වන දින මීරිගම බෝතලේ නම් ගම් පියසෙහි දීය. මෙය ඓතිහාසික ග්‍රාමයකි.

එෆ්.ආර්. සේනානායක මැතිඳු සහ ඩී.සී. සේනානායක මැතිඳුන්ගේ බාලම සොහොයුරා ලෙස ඩී. එස්. සේනානායක මැතිතුමා උපත ලද අතර ඔහු ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස රාජ්‍ය සේවයට පිවිසියද ඉන් එතුමා තෘප්තිමත් නොවීය. නොබෝ දිනකින් එකී තනතුරෙන් ඉවත්ව පවුලේ ප්‍රධානතම ආදායම් මාර්ගය වූ මිනිරන් කර්මාන්තය හා පොල්, රබර් ආදී වෙළෙඳාම් මාර්ග වර්ධනයෙහිලා පියා සමඟ එක්ව කටයුතු කළේය. එසේම පියා සමාජ සේවකයෙකු ලෙස ක්‍රියා කරනු දැක්මද ඔහු අගය කළේය. ඩී.එස්. සේනානායකයන්ද සමාජ සේවා කටයුතුවල නිරත විය. කෙසේ වුවද ඔහුගේ සිත ඇදී ගියේ කෘෂි කර්මාන්තයටය. එසේම සමාජ සේවකයෙකු වශයෙන් දේශබන්දු එෆ්.ආර්. සේනානායක මැතිතුමා 1912 දී ආරම්භ කළ අමද්‍යප ව්‍යාපාරයට අනගාරික ධර්මපාල මැතිතුමා, අතාර් වී. දියෙස් මැතිතුමා, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා ආදීන් සමඟ පතාක යෝධයකු වශයෙන් ඩී.එස්. සේනානායක මැතිතුමාද එක්ව සටන දියත් කළේය.

1910 දී දුනිවිල කුමාරිහාමි සමඟ මෙතුමා විවාහ විය. දරු සුරතල් බැලීමේ ආශාවෙන් හිටි ඔවුනට ඩඩ්ලි සහ රොබට් සේනානායක නමින් පුතුන් දෙදෙනෙක් වූහ. 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල ආරම්භවීමත් සමඟම එදා අමද්‍යප ව්‍යාපාරයේ ප්‍රධාන නායකයන් දෙපොළ වන ඩී.එස්. සහ එෆ්.ආර්. සේනානායක සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ. ඒ සමඟම ඩී. බී. ජයතිලක, දොස්තර ඩබ්.ඒ. ද. සිල්වා, ඊ.ඒ.පී. විජේරත්න, ඩී. බඩුවන්ත, එඩ්මන් හේවාවිතාරණ, දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ආතර් වී. දි‍ෙයස් හා ඒ. ඊ.ගුණසිංහ ආදී නිදහස් සටනේ වීරෝධාර නායකයන් සියලුම දෙනාට හිරබත් කන්නට සිදුවිය. දින 40 කට පසුව ඔවුහු සියලුම දෙනා නිදහස ලැබීය. මොවුහු අමද්‍යප ව්‍යාපාරය මෙහෙයවන්නෝ වූහ. මෙයින් පන්නරය ලැබූ ඔවුහු එක්ව 1919 දී ආරම්භ කළ ලංකා ජාතික සංගමයේ ප්‍රථම සාමාජිකයන් විය. ඔවුහු 1921 දී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සඳහා වූ උද්ඝෝෂණයට පෙරමුණ ගෙන ක්‍රියා කළෝය. එසේම හල්පිටිගම් කෝරලේ සියලුම තැබෑරුම් හා රේන්ද පොළවල් වසා දැමීමට ද ක්‍රියා කළහ.

මුළු දිවයින පුරා පැතිර ගිය සුරා සැල් වසා දමන්නට මොවුහු ගෙන ගිය අමද්‍යප ව්‍යාපාරය තම පාලනයට පටහැනිව එන මහා බලවේගයක් ලෙස සැලකූ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ ඉංග්‍රීසි පාලකයෝ මේ සියලුදෙනාම අත්අඩංගුවට ගනු ලැබුවේ කිසිදු වග විභාගයකින් තොරවය. ඉංග්‍රීසි පාලක‍යෝ දරදඬු වී එසේ ක්‍රියා කරද්දී ඩී.එස්. සේනානායක මැතිතුමා සිරගත වී මෙන් ලැබූ පන්නරය තම දේශපාලන ජීවිතයේදී ලබාගත් උසස්ම අග්‍රඵලය ලෙස සලකා ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීමේ සටන ශක්ති සම්පන්නව ඉදිරියට ගෙන යාම පිණිස ක්‍රියා කළේය. විශේෂයෙන්ම ඩී.එස්. සේනානායක මැතිතුමා මෙහිදී තීක්ෂණ බුද්ධියෙන් යුතුව ප්‍රායෝගිකව බොරු සටන්වලට හෝ ගැටුම්වලට හෝ මැදිහත් නොවූ සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් මිත්‍රශීලීව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමඟ එක්ව කටයුතු කිරීම තුළින් තම නිදහස් අරගලය ජයගන්නට එතුමා ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයයි.

අද පාර්ලිමේන්තුවේ වැඩ වසන දෙසිය විසිපස්දෙනෙක් වූ දේශපාලනඥයන්ට එතුමා හොඳ ආදාර්ශයකි. අද අපට ඇත්තේ අපේම ආණ්ඩුවක්. ඉතාමත් සුහද ලෙස බේරාගත හැකි ප්‍රශ්නයකට පවා අප අද ක්‍රියා කරන්නේ කෙතරම් අමානුෂික අන්දමින්ද? ව්‍යාජ උපවාස කරන්නා වූද රජයේ කාර්යාලවලට කඩා වැදී විනාශ කරන්නා වූද, ප්‍රසිද්ධියේ බැන වදිමින් ජාත්‍යන්තර හා ජාතික සමගිය විනාශ කරන්නා වූ ද දේශපාලනඥයන් දැන්වත් අවදිවන්න. ඩී.එස්. සේනානායක උතුමාණන්ගේ දෙසට හැරෙන්න. එතුමාගේ චින්තනය තුළින් මේ රටම බේරාගත් ආකාරය ගැන මදක් සිතන්න. ඔබත් අප රටට වටිනා මිනිපහණක් වන්න. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නැමැති රන් දෙව් මැදුර නොහොත් උත්තරීතර ආයතනයේ ගෞරවය රැකගන්න.

ඩී.එස්. සේනානායක මැතිතුමාගේ යටි සිත ක්‍රියා කළේ ශ්‍රී ලංකාවට ශ්‍රී විභූතිය උදා කිරීම වෙනුවෙන් වාරි මාර්ග දියුණු කිරීම, මහා ජලාශ සංවර්ධනය කිරීම,අලුතින් වැව් අමුණු ඇතිකිරීම හා සාර්ථකව නඩත්තු කිරීම තුළින් කෘෂි ආර්ථික සංවර්ධනනයක්, ආහාර අතින් ස්වයං පෝෂණය කරනු පිණිසත් එතුමා මුල්තැන දුන්නේය. අපේ රට එක්සේසත්කොට සංවර්ධනය කළ ශ්‍රේෂ්ඨ රජවරුන් අතර සිටි පණ්ඩුකාභය, දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, 1 වැනි විජයබාහු සහ 6 වන පරාක්‍රමබාහු වැනි දුර්ලභ ගණයේ රජවරුන් අතරට මෑත යුගයේ අපේ රට පාලනය කළ අග්‍රාමාත්‍ය ඩි.එස්. සේනානායක මැතිතුමා ද ඒ ගණයෙහිලා සලකමු.

සෝල්බරි කොමිසමේ ඇතැම් යෝජනාවලට ඩී.එස්. සේනානායකයන් විරුද්ධ වුවද ශ්‍රී ලංකාවට ඩොමිනියන් තත්ත්වය ප්‍රදානය කිරීමේ යෝජනාව නිසාම එම වාර්තාව පිළිගැනීමට එතුමා එකඟ විය. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ 1947 වර්ෂයේදී පැවැත්වුණු මහා මැතිවරණයට මුහුණදීමට හැකිවන පරිදි බෝල්ෂේවික් ලෙනින් පක්ෂය පරාජය කිරීමේ අදිටනින් ජාතිවාදයෙන් තොරව සමගි සම්පන්න ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය 1946 වසරේදී පිහිටුවාගත් අතර, 1947 මහා මැතිවරණයේදී මීරිගම ආසනයෙන් වැඩි ඡන්ද 16,000ක් ලබාගෙන ජයග්‍රහණය කළ ඩී.එස්. සේනානායක මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්හ.

ශ්‍රී ලංකාව මුළු ආසියාතිකරයේම ඇති එකම ධාන්‍යාගාරය බවට පත් කිරීම එතුමාගේ එකම අභිලාෂය විය. අනෙකුත් අතුරු ප්‍රතිඵල ලෙස එතුමා බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ජල විදුලි බලය නිපදවීම. ගංවතුර බිය තුරන් කිරීම, නිකමුන් රටෙන් තුරන් කිරීම, ආගමික සංහිඳියාව වර්ධනය කිරීම, දුප්පත් දරුවාටද රජ පුටුවේ ඉඳගැනීමට හැකි වන පරිදි නිදහස් අධ්‍යාපනය ලබාදීම, විශේෂයෙන්ම විවිධ ජාතීන් අතර ඇති වෙනස්කම් අකාමකාදමා ජාතික සමගිය ඇති කිරීම යනාදී ක්‍රියාදාම තුළින් එතුමා අප රට සංවර්ධනය කළ ආකාරය සාදා අගයමු.

1933 දී ඉඩම් සංවර්ධන පනත සම්මත කරගත් අතර, 1934 වසරේදී මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කරමින් හිඟුරක්ගොඩ හතමුණ ප්‍රදේශයද,කහගම කොළණියද, කවුඩුළුවැව හා මිණිපේ වාරි කර්මාන්තද ආරම්භ කළ එතුමා වියළි කලාපය සම්පූර්ණයෙන්ම අස්වැද්දීමටත් එමඟින් අක්කර 50,000ක් වගාබිම් බවට පත්කිරීමටත් ක්‍රියා කළ එතුමාට මහා කලු සිංහලයා, ජාතියේ පියා, පැරකුම් අවතාරය ආදී වශයෙන් විශේෂ නාමවලින් හැඳින්වීමෙන්ද ජනතාව සතුටු වූහ. ඉංජිනේරුවරුන් හා උපදේශකවරුන්ගේ මතයට වහල් නොවී ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා මහවැලි ගඟ හරස් කර අඹන් ගඟ හරහා වේල්ලක් බැඳ ජලය රැස්කර ගැනීමට කළ ප්‍රාතිහාර්යය ජයගත්තා. එසේම එතුමාගේ ගල්ඔය යෝජනා ක්‍රමය ලංකාවේ ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමයක් ලෙස 1949 දී ආරම්භ කරමින් අක්කර 75000ක් පමණ අස්වැද්දීමටත් පවුල් 20,000කට පමණ ජීවනෝපාය සළසාදීමටත් එතුමාගේ අධිෂ්ඨානය විය. පොදු රාජ්‍ය මණ්ඩලයේ අගමැතිවරුන් අතරද කැපී පෙනෙන අග්‍රාමාත්‍යවරයා බවටද, බුද්ධිමත් අයෝමය වීර පුරුෂයා ලෙසටද පත්විය.

මේ විරෝධාර කළු සිංහලයා අව්‍යාජ ගැමියෙකු ලෙස කුඹුරේ ගොවිතැන් වැඩෙහි යෙදුනා සේම ඉහතින් සඳහන් කළ විවිධාකාරයේ ගොවි ජනපද, වාරිමාර්ග වැඩ සොයා බැලීම සඳහා එතුමා ගමන් කළේ සමහර දිනවල තිරික්කලයෙන්, එසේත් නැත්නම් පයින්. ඔහුට වෙන් වූ කබල් ජිප් රථයක් තිබුණා. ඒ තමයි නිල රථය, ආරක්ෂක භටයින් ද සිටියේ නැත. ගැමියෝ එතුමාට නෙළුම් කොළේ තබා ආහාර දුන්නේ ඉතා සතුටින්, එම බත් ටික කා දමා ගලා බසිනා දොළ පාරකින් හෝ වැවකින් වතුර ටිකක් බීම එතුමාගේ සිරිතක් විය. ගමේ උපන් ගැමියෙකු ලෙස චාම් ඇඳුමට ප්‍රිය කළ එතුමා හමුවන්නට ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ආවත් ඔහු ඇඳ සිටින්නේ සරම බැනියමෙන් නම්, ආණ්ඩුකාරයා හමුවන්නේ ඒ හැඳ සිටි ඇඳුමෙන්මයි. ඒවා වෙනස් කිරීමට කටයුතු කළේ නැහැ. අව්‍යාජ ගැමියෙකු ලෙස ජීවත් වුනා මිසක බොරුවට අද වැජඹෙන දේශපාලනඥයන් වගේ රඟපෑම් කළේ නෑ. අධි සුඛෝපභෝගී බෙන්ස් රථ හා කොළඹ නගරයෙන් ගෙවල් 4ක් 5ක් මේ හැට හැත්තෑවක ආරක්ෂක භටයින් එතුමාට ලැබී නැති ආදර්ශමත් නායකයෙක්.

මේ උත්තරීතර ජනනායක අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකයාණන් 1952 මාර්තු මස 22 වන දින කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ගාලු මුවදොර පිට්ටනියේදී අසකු පිටින් වැටීම හේතුකොටගෙන අප සෝ සයුරේ ගිල්වා ජාතියෙන් සමු ගත්තා. අද අපේ දේශපාලනඥයින්ට මුදුන් මල්කඩක් වූ මාහාමාන්‍ය ඩී.එස්. සේනානයක ජාතියේ පියාණන්ට දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාම එක්ව ජාතියේ පියාණන් ලෙස ගෞරව දක්වමු.

ආචාර්ය පී. හේවාගේ
විශ්‍රාමික අමාත්‍ය ලේකම් හා
ඩී.එස්. සේනානායක ගුණානුස්මරණ
සංගමයේ කාරක සභික

නව අදහස දක්වන්න