ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා සමුද්‍රාරක්ෂාව පුළුල් වෙයි | දිනමිණ

ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා සමුද්‍රාරක්ෂාව පුළුල් වෙයි

ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව අලුත්ම මට්ටමකට වර්ධනය කරමින් ඉන්දු - පැසිෆික් එන්ඩේචර් 2019 (Indo Pacific Endeavour 2019 - IPE 19) වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය කණ්ඩායමක යුධ, නාවික සහ ගුවන් හමුදා අංශ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස් ජෝන් පිලිප් සඳහන් කළේ කලාපය තුළ ඉහළ යන අන්තර් සම්බන්ධතාවයන් සහ ගතිකයන් සමඟින් අඛණ්ඩ වර්ධනයේ ප්‍රතිලාභ සියලු රටවලට හිමිවන ස්ථාවර, සුරක්ෂිත, නීතිය මත පදනම් වූ වැඩපිළිවෙළක් ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට ඕස්ට්‍රේලියාව කැප වී සිටී.

ඕස්ට්‍රේලියාවේ නෞකා හතරකින් දහසකට අධික පිරිසක් ලබන 23 වැනිදා කොළඹට සහ ත්‍රිකුණාමලයට ළඟාවීමට නියමිතය. ඔවුන් ලබන තිස්වෙනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට මත්තෙන් ආපදා සහයෝගිතා සැලසුම්, සහයෝගය වර්ධනය කරන නාවික උපක්‍රම සහ හමුදා පුහුණු  ක්‍රියාකාරකම්, හුරුපුරුදුකම්, අන්තර්ක්‍රියාකාරී හැකියාවන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා හමුදා එක්ව කටයුතු කරනු ඇත.

IPE-19 යනු ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එතෙක් මෙතෙක් සිදු කෙරෙන විශාලතම ආරක්ෂක ක්‍රියාකාරකමයි. ඒ යටතේ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරායේත්, පැරමැට්ටා සහ සක්සස් යන නෞකා ත්‍රිකුණාමලය වරායේත් නැංගුරම්ලෑමට නියමිතය. ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදා යානයක් මත්තල වෙත පියාසර කිරීම ද සිදු කෙරේ.

නව අදහස දක්වන්න