ත්‍රිපිටකාභිවන්දනා ජාතික උළෙල | දිනමිණ

ත්‍රිපිටකාභිවන්දනා ජාතික උළෙල

ක්‍රි.පූ. 6 වැනි සියවසෙහි ඉන්දියාවේ පහළ වු අසමසම, අසාමාන්‍ය ශාස්තෲවරයකු, පරම විමුක්ති දායකයකු මෙන්ම සියලු පදාර්ථයන් ඇතැඹුලක් සේ ප්‍රත්‍යක්ෂයෙන්ම අධිවිනිශ්චය කළ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය දේශ දේශාන්තරව සියලු විද්වතුන්ගේද ප්‍රාඥයන්ගේද ගෞරවයට, බුහුමනට පාත්‍ර වුවකි. බුදුන් වහන්සේගේ ඒ ධර්මය, බුද්ධ භාෂිතය නැතහොත් ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. ත්‍රිපිටකය පිළිබඳ කෙරෙන ශාස්ත්‍රීය විග්‍රහයන්හිදී දැක්වෙන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයට අමතරව සැරියුත් මුගලන් උපාලි ප්‍රමුඛ මහරහතන් වහන්සේලා හා සංගීතිකාරක තෙරුන් වහන්සේලා විසින් කරන ලද විග්‍රහයන්ද එයට ඇතුළත්ව තිබෙන බවය. ඒ සියල්ල බුද්ධ භාෂිතය ලෙස පිළිගනු ලැබේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු සංගායනා තුනක් පවත්වන ලද බවත් ඒ සංගායනාවලදී බුද්ධ භාෂිතය මනාව සුරක්ෂා කර අනාගතය උදෙසා සම්පාදනය වු බවත් නිසැකය. ඒ සියල්ල ථෙරවාදී සම්මුතිය ලෙසද හැඳින්වේ. සංඝයා වහන්සේලා අතරම සිටි ධර්ම - විනය විරෝධී භික්ෂුන් වහන්සේලා නිසා ශාසනික පිළිවෙත් ආරක්ෂා කිරීමට මෙන්ම ධර්මයෙහි පාරිශුද්ධිය උදෙසා මේ සංගායනාවන් සිදු වූ බවද කල්පනා කළ හැකිය.

බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයෙහි තිබුණු විවිධ දර්ශන, ආගමික විශ්වාස අභිබවා බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රචලිත වු බව ඵෙතිහාසික මූලාශ්‍රවලින් ද තහවුරු වේ. බුද්ධ ධර්මය සියලු සත්වයන් උදෙසා දේශනා කරන ලද අකාලික ධර්මයක් බවද පිළිගනු ලැබේ. ඒ සද්ධර්මය ලෝක සත්වයාගේම අභිවෘද්ධිය පිණිස පවත්නා විශ්ව ව්‍යාපී ධර්ම කරුණුවලින් සමන්විත වූවකි. ශාස්ත්‍රීය හා දාර්ශනික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික ශාන්තිය සඳහා පරම සාධනීය විග්‍රහයන්ද එහි අඩංගු බව විද්වත්හු සඳහන් කරති. ඉන්දීය දර්ශන හා සංස්කෘතිය බටහිර ලෝකයට හඳුන්වා දුන් මැක්ස් මුලර් පඬිවරයා මෙන්ම රීස් ඩේවිස් ඇතුළු වියතුන් විසින්ද මේ බෞද්ධ දර්ශනයට විවිධ ශාස්ත්‍රීය සම්ප්‍රදායන් කරන ලද බව පිළිගනු ලැබේ.

බුදුදහම සියලු සත්වයන්ගේ අභිවර්ධනය පිණිස වූද ස්වාර්ථයෙන් ඉඳුරා බැහැර වූ පරාර්ථය සඳහා කැපවූ සාධනීය ප්‍රතිපත්ති, චර්යා ධර්ම පද්ධතියකින් පරිපූර්ණ දර්ශනයක් බව ඉන්දියාවේ පහළ වූ අශෝක අධිරාජයා වටහා ගත්තේය. බුද්ධ ධර්මය දේශාන්තරව ප්‍රචලිත කිරීම සඳහා කැපවූ ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේද ඔහුය. ඒ අකාලික ධර්මය ලෝක උරුමයක් බවට පත් කිරීමට කැප වූ ආසියාවේ ප්‍රථම රාජ්‍ය නායකයා වන්නේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාය. ත්‍රිපිටකය හෙවත් ඒ බුද්ධ භාෂිතය ලෝක උරුමයක් බවට පත් කිරීම බෞද්ධ ධර්මයේ නිර්මලත්වය, පාරිශුද්ධත්වය සුරක්ෂණය කිරීමේ උතුම් පියවරක් ලෙසද අගය කළ යුතුය.

අද්‍යතන ලෝකය නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ හාස්කම් මතින් භෞතික සංවර්ධනයේ හිණිපෙත්තට නැග තිබෙන බව රහසක් නොවේ. එහෙත් ඒ ලෝකයේ හැම තැනකින්ම ඇසෙන ආධ්‍යාත්මික පීඩනයේ විලාපය සුළු පටු නොවේ. ඉන්දියාවේ විශිෂ්ට උරුමයක් ලෙස තිබුණු නාලන්දා, වික්‍රමශිලා වැනි විශ්ව විද්‍යාල ගිනිබත් කරමින් එදා කළ විනාශය මෙන්ම පසු කාලීනව ඇෆ්ඝනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා විනාශ කිරීමද බොදු නොබොදු සියලු ශිෂ්ට ප්‍රජාවගේ ඉමහත් කම්පනයට හේතු වන බව අමුතුවෙන් කිව යුතු නැත. අන්තවාදී මූලධර්මවාදී ආගමික උමතුවකින් විකෘති වු මෙබඳු මූග්ධ ප්‍රතිචාර ලෝක ප්‍රජාවගේ ශාන්තිය හා යහපත උදෙසා වු සියලු සාධු සම්මතයන්ට අභියෝගයකි. අපේ රටේ කාලිංග මාඝලාගෙන්ද ඒ උතුම් ධර්මයට සිදු වූයේ අප්‍රමාණ විපතකි. ඉනික්බිතිව අප සතු වෙනත් සංස්කෘතික උරුමයන් මේ රට ආක්‍රමණය කළ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රිසින් අතට පත් වු බවද නොරහසකි. එහෙත් ඒ කිසිදු ආක්‍රමණයකුට විනාශ කළ නොහැකි වු ත්‍රිපිටක දායාදය සුරැකීමේ ගෞරවය අපේ භික්ෂුන් වහන්සේලාට හිමි වනු ඇත.

ක්‍රි.පූ. පළමුවන සියවසේ එනම් වලගම්බා රජ දවසේදි මාතලේ අළු විහාරයේදි පාලි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ ගෞරවය හිමිවන්නේද අපගේ මහා සංඝයා වහන්සේලාටමය. ඒ ත්‍රිපිටක ප්‍රයත්නයේ විශිෂ්ට හා ඵෙතිහාසික කාර්ය භාරය ලෙස ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හැඳින්විය යුතුය. ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය පිළිගත් හැම රටක්ම මේ සද් ක්‍රියාව අගයනු ඇත. සූත්‍ර, විනය, අභිධර්ම ලෙස හැඳින්වෙන ත්‍රිපිටකය තුළ එන සියලු ප්‍රභේද අඩංගුව මෙලෙස සංරක්ෂණය කිරීම එම ධර්මයේ පිවිතුරු පැවැත්මටද ඉවහල් වනු ඇත. ස්ථවිරවාදීන් විසින් තහවුරු කරන ලද ථෙරවාදය කිසිදු ආකාරයක විකෘති කිරීමක් සඳහාද මේ නිසා ඉඩ නොලැබේ.

බුදුදහම පිළිබඳ විවිධ අර්ථ කථන, නිර්වචන අදත් ඇසෙයි. එහෙත් ඒ නිර්මල ධර්මය සියවස් ගණනාවක් මුළුල්ලේ රැකගත් සම්ප්‍රදායකට හා සම්මුතියකට අයත් වූවකි. බුදුන්ගේ උපත ශ්‍රී ලංකාවේ සිදු වූ බවට කෙරෙන හාස්‍ය ජනක ප්‍රකාශද තිබේ. බුද්ධ ධර්මයට තමන් අභිමත පරිදි කෙරෙන විවරණද ඇසෙයි. එමතු නොව ඵෙතිහාසික සිංහල බෞද්ධ වටිනාකම් හා බැඳුණු ඉතිහාසයට සරදම් කරන්නෝද සිටිති. බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කිරීමේ වගකීම අද්‍යතන ආණ්ඩුවලද වගකීමක් ලෙස පිළිගනු ලැබේ. එහෙත් ඒ වගකීම දුබල කිරීමේ විවිධ බලවේගද දැක ගත හැකිය. එහෙත් අපට කිව හැක්කේ කිසිදු බලවේගයකින් හෝ සතුරු ආක්‍රමණයකින් බුදුදහම විනාශ කිරීමට මෙතෙක් නොහැකි වී ඇති බවය. බුදුදහම යනු පන්සාළිස් වසක් පුරා ලෝවැසියන්ගේ යහපත උදෙසා බහුජන හිත පිණිස දේශනා කළ ධර්මයකි. ඒ උතුම් බුද්ධ වචනය සංරක්ෂණය කිරීම මේ රටේ සියලු පාලකයන්ගේ වගකීමක් බවටද පත්ව තිබුණි. ථෙරවාද සම්ප්‍රදාය ආරක්ෂා වූයේද ඒ නරපතියන් ඇතුලු නූතන පාලකයන්ගේ මැදිහත්වීම් හා අනුග්‍රහයන්ද නිසාය. ත්‍රිපිටකයෙහි නිරවද්‍යතාව අඛණ්ඩව ආරක්ෂා වූයේද එනිසාමය.

බුදුන් වහන්සේගේ ස්වභාවය, බුදු සසුනේ විකාශනය හා එයට එල්ල වූ අභියෝග ආදී සියල්ල නිවැරදිව තහවුරු වී ඇත්තේද ත්‍රිපිටකයේය. ශාසන ඉතිහාසය හා ඇතැම් සාහිත්‍යමය වර්ණනා පිළිබඳ මතභේද තිබුණත් පාලි ත්‍රිපිටකයේ එන සූත්‍ර හා විනය විමර්ශනය කෙරෙද්දී බුදු උපතේ සිට පරිනිර්වාණය දක්වා සියලු කරුණු නිවැරදිව සංග්‍රහ වී තිබෙන බව පෙනේ. මහාවග්ගපාලියේ බුද්ධත්වය ගැන අගනා විස්තර සඳහන්ව ඇත. බුදුන් වහන්සේ විසින් තමන් පිළිබඳව කරන ලද ඇතැම් අනාවරණයන් බෞද්ධයාගේ හද ප්‍රකම්පිත කරවන සුළුය.

“ආනන්දය මම දැන් ජරාවට පත්ව සිටිමි. වියපත්ව සිටිමි. මගේ සිරුර දිරා ගිය ගැලක් මෙන්ය. රෝ දුක් පීඩා ද මට ඇතිවෙයි. මගේ සිරුර අර්හත් බවෙන් බැඳ රඳවාගෙන සිටියත් මට ඒ විඩාවද වේදනාවද දැනෙයි.”

මේ උන් වහන්සේගේ වදන්ය. වුන්දකර්මාර පුත්‍රයාගේ ‘සූකර මද්දව’වැළඳු බුදුන් වහන්සේ ගිලන්ව ආනන්ද හිමියන්ගෙන් පානය සඳහා පැන් පොදක් අයැද සිටි බවද සඳහන් වේ. මහා පරිනිබ්බාණ සූත්‍රය මගින් අපට පෙන්වා දෙන මේ අසිරිමත් ශාන්තිනායකයන්ගේ විලාසය කෙතරම් අව්‍යාජදැයි පසක් වේ. සංයුක්ත නිකායේ බොහෝ සූත්‍රවලද බුදුන් වහන්සේ පිළිබඳ නොයෙක් තොරතුරු දැක්වේ.

ශ්‍රී ලංකාවේ ථෙරවාදී භික්ෂු පරපුර විසින් දිවිහිමියෙන් සුරකින ලද්දේ ඒ ත්‍රිපිටකය බව කිව යුතුය. මිහිඳු මාහිමියන් එදා මෙරටට හඳුන්වා දෙන ලද්දේත් ඒ සම්ප්‍රදායයි. ඒ නිසා ඒ උතුම් ත්‍රිපිටකය අනාගත ලෝකය වෙනුවෙන් රැකදීම අපගේ වගකීමය. බුදුසිරිත, බුදුමඟ අපට හෙළිකරන ඒ නිවැරදි සම්ප්‍රදායද ත්‍රිපිටකයයි. ඒ උතුම් ධර්මය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම ජගත් ප්‍රජාවගේම උරුමයක් ලෙස ආරක්ෂා කළ යුතුය යන මෛත්‍රී ජනාධිපතිවරයාගේ සංකල්පයද අතිවිශිෂ්ට වූද ප්‍රායෝගික වූද එකකි. ඒ ප්‍රඥාලෝකය ජගත් මානව වර්ගයාටම පොදු උරුමයක් කිරීම කවර මිනුම් දණ්ඩක් අනුව බැලුවත් අමිල සද්කාර්යක් බව නිසැකය.

ගාමිණි සුමනසේකර


නව අදහස දක්වන්න