සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ විසිදෙකහමාරක් සවිබල ගන්වනවා | දිනමිණ

සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ විසිදෙකහමාරක් සවිබල ගන්වනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර
ඇමැති දයා ගමගේ

අපේ රටේ තිබෙන ආර්ථිකයට අවධානය යොමුකළ යුතුයි
- ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා

ළමයින් 14000ක් පමණ ළමා නිවාසවල
- නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම

සහනාධාර දීලා දුප්පත්කම තුරන් කරන්න පුළුවන්ද කියා ප්‍රශ්න තිබෙනවා
- මහින්ද අමරවීර

ආබාධිතයන්ට ලබාදෙන මුදල් කපාහරින එක හොඳ නෑ
- සුනිල් හඳුන්නෙත්ති

එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ විසිදෙකහමාරක් සවිබල ගන්වන බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

පසුගිය රජය යටතේ බඳවාගත් සමෘද්ධි නිලධාරින්ටද විධිමත් පුහුණුවක් ලබාදී අප්‍රේල් 30 වැනිදා වනවිට ස්ථිර සේවය සඳහා එක්කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැති දයා ගමගේ මහතා මේ බව සඳහන් කළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

නිවේදන, ලිපි ලේඛන හා පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් අසන ලද ප්‍රශ්න සඳහා ඒ ඒ විෂය භාර ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය සහ විශේෂ ප්‍රදේශ සංවර්ධනය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ විය.

වැය ශීර්ෂයන්ගෙන් රුපියල් දහය බැගින් කපාහරින ලෙස යෝජනා කරමින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා මහතා (එජනිස) - සමෘද්ධි ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව තවත් ලක්ෂ හයකින් වැඩිකරන බව අයවැය තුළ සඳහන්. ඒ සඳහා අපගේ පූර්ණ සහාය ලබා දෙනවා. නමුත් පසුගිය කාලය තුළ සමෘද්ධි ව්‍යාපාරය දේශපාලනීකරණය වුණා. ලැබිය යුතු සියලුදෙනාට සමෘද්ධිය ලැබිය යුතුය. දේශපාලන භේදයෙන් තොරව එය ක්‍රියාත්මක විය යුතුය.

වැඩි පිරිසක් ජීවත්වන අපනයන භෝග කර්මාන්තයට මේ වන විට හෙනහුරු හඬමින් සිටිනවා. අපේ රටට ගම්මිරිස් වෙ‍ළඳපළ අහිමි කළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ගම්මිරිස් කිලෝ කෝටි 21 ක් මෙරටට ගෙනැවිත් තිබෙනවා. එම ගම්මිරිස්වලින් එක් කිලෝවකට ඩොලර් තුනක පමණ ලාභයක් ලබා තිබෙනවා. මේ වංචාවන් අවසන් කළ යුතු වෙනවා.

(නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.)

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) - කතානායක කරු ජයසූරිය මහතාට සම්මානයක් හිමිවීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. සුදුස්සාට සුදුසු තැන ලැබී තිබෙනවා. සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය යටතේ ඇති සමෘද්ධි වැඩසටහන 1996 දී ආරම්භ කළා. ආදායම් මට්ටම අඩු පවුල්වල ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණින් ආරම්භ කළා. සමෘද්ධි පවුල් කාණ්ඩ තුනක් අපි හඳුනාගෙන තිබෙනවා. සමෘද්ධි ප්‍රතිලාභීන්ට විවිධ ප්‍රතිලාභ හිමිවෙනවා. මේ රටේ තරුණ ප්‍රජාව ගැන අපි සිතනවා නම් සමෘද්ධි පවුල්වල ඉන්න තරුණයින්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දෙන්න.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රී නේෂන් මහතා (දෙජාස) -

ප්‍රාථමික කර්මාන්ත අංශයේ අපේ රටේ යම් යම් ගැටලු තිබෙනවා. දක්ෂ ඇමැතිවරයෙක් මේ වෙනුවෙන් කටයුතු කරනවා.

දරිද්‍රතාව දුරලීම සඳහා අවංක නිලධාරීන්ගේ කාර්යය තුළ අවශ්‍ය ඉලක්කය කරා යන්න පුළුවන්. උතු‍රේ දී තල්ගස්වලින් විශාල ලෙස ප්‍රයෝජන ගන්න පුළුවන්. තල් සංවර්ධනය අවශ්‍යයි. උතුරේ හා නැ‍ඟෙනහිර ජනතාව එම නිෂ්පාදනවල නිරතව ඉන්නවා.

සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අල් සහීර් මවුලානා මහතා - සමාජයීය වශයෙන් පසුගාමීව ඉන්න ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කරන්න ප්‍රාථමික අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙනවා. සමාජයේ ඉන්න මේ ජනතාව ගැන රජය අවධානය යොමුකර තිබෙනවා. ආර්ථික මට්ටම ඉහළ නංවමින් සියලුදෙනාට සමාන අයිතිවාසිකම් දෙන්න කටයුතු කර ගන්නවා. සමාජයේ සුබසාධනය හා දිළිඳුකම අවම කරන්න අපි කටයුතු කරගෙන යනවා. සමෘද්ධි සංවර්ධන අධිකාරිය මේ රටේ දිළිඳු බව අඩු කරන්න වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එජනිස) - දයා ගමගේ මහතාගේ උත්සාහය කෙසේ වෙතත් ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන්කර නැහැ. මේ අයවැයෙන් වෙන්කරන මුදල හෝ වර්ෂය තුළ හෝ අමාත්‍යාංශයට ලැබෙන්නේ නැහැ. මේක ඉලක්කම් හරඹයක් විතරයි. ඒක විශාල ගැටලුවක්. වැඩසටහන් ඇනහිටිනවා. අමාත්‍යාංශවලට වෙන්කර තිබෙන මුදල් ගත් විට කිසිදු වැඩක් කරන්න වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව කරන වැඩසටහන්වලින් රටේ ජාතික ආදායමට සිදුවන දායකත්වය කුමක්ද?

නමුත් අද රටේ දුප්පත්කම ඉහළ ගොස් තිබෙනවා. අපිට ආධාර, සහනාධාර දීලා දුප්පත්කම තුරන් කරන්න පුළුවන්ද කියා ප්‍රශ්න තිබෙනවා. සමෘද්ධිය ලැබිය යුතු පිරිසකට ඒ සහනාධාරය නැහැ. නමුත් සමෘද්ධිය නොලැබිය යුතු පිරිසක් එම හිමිකම ලබන බවට අපි පිළිගන්නවා. නමුත් කාට හෝ සහනාධාර දීලා ඡන්ද අපේක්ෂා කරනවා නම් එය වැඩක් නැහැ.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා -කන්ටේනර් 156 ක් ගම්මිරිස් පැමිණ තිබෙන බවට සිදුවන ප්‍රකාශ සම්බන්ධයෙන් අපි පරීක්ෂා කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අපි බලනවා ඒක ගැන. මේක හැමෝම දන්නවා සිදුව තිබෙන දේ. මම කාටවත් ගෙන්වන්න දෙන්නේ නෑ. ප්‍රති අපනයනය සඳහා ‍හෝ මේ රටට ගෙන්වන එක තහනම් කර තිබෙනවා. මේ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය තීන්දුවක් අරගෙන තිබෙනවා. සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රශ්නය අප්‍රේල් වන විට විසඳා අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප) - නවසීලන්තයේ පල්ලියක් තුළ ඝාතනය වූයේ යාච්ඤාවේ යෙදුණු අහිංසක පිරිසක්. ජිනීවා යෝජනාව ගැන විවිධ ප්‍රකාශ කරනවා. නමුත් පසුගියදා මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා. අපට ජාත්‍යන්තර බලපෑම් එල්ල කරන්නෙ කරුණු කිහිපයක් නිසා. පසුගිය පාලන සමයේදී එවකට ජනාධිපති හා බෑන් කි මූන් මහතා එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා. 2009 දී 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියල එවකට ලංකා රජය ප්‍රකාශ කළා. මානව හිමිකම් චෝදනා අපේ රටට එල්ල වුණේ අද ඊයේ නෙවෙයි. ප්‍රේමවතී මනම්පේරි සිද්ධිය, ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිදුවීම, මුතුර්හි ඝාතනය සිදුවීම ඔය වැනි සිදුවීම්වලට පැවැති ආණ්ඩු නිවැරදි ලෙස කටයුතු නොකළ නිසා දිගින් දිගටම අපට චෝදනා එල්ල වුණා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (එජනිස) -මේ රටේ දුප්පත්කම වැඩිවී ඇති බව ආණ්ඩුවම පිළිගෙන තිබෙනවා. මේ ආණ්ඩුව මැතිවරණ පවත්වන්නෙ නැහැ. මේ රජය රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින් කෙරෙහි අවධානය යොමුකරන්නෙ නැහැ. වත්මන් ආණ්ඩුව බලයට එන විට රුපියල් පනස්දහසක බයික් ලෝන් එක දෙනවා කිව්වා. දුන්නද? එක්කෙනෙකුට දුන්නෙ නෑ. වත්මන් රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ගම්මිරිස් කඩාවැටුණා.

ඇමැති දයා ගමගේ මහතා -මහින්ද රාජපක්ෂ මහතාගේ වකවානුවේදී එනම් 2005 වන විට කඩාවැටුණු දේවල්, ව්‍යාපාර, අපනයන මේ සියල්ල නඟාසිටුවන්නටයි අපිට සිදු වුණේ. නිෂ්පාදන වැඩි කරනවා වගේම, අගය එකතු කිරීමක් කළ යුතුයි. සුදු ගම්මිරිස් හැදීමත් අපගේ ඉලක්කයක්. හොර වැඩ වංචාවන් ලෙස සිදුවෙන දේවල් නතර කළ යුතුයි.

නමුත් අගය වැඩිකරන දේවල්වලට උදව් කළ යුතු ප්‍රාථමික කර්මාන්ත සඳහා වෙන්කර ඇති මුදල් මදි කියා ඇතැමුන් කියනවා. අය වැය තුළින් වෙන්කර ඇති මුදල් ප්‍රමාණවත් නොවෙන්නට පුළුවන්. නමුත් මගේ අමාත්‍යාංශය යටතේ සිදුවන ව්‍යාපෘතිවලට මුදල් සොයාගන්න මට පුළුවන්. ලෝක වෙළෙඳ පොළ තුළ ගම්මිරිස් මිල අඩුනම් අඩුවෙනවා. අපි අස්වැන්න වැඩිකළ යුතුය. ඒ වගේම වගාකරන බිම් ප්‍රමාණය වැඩි කළ යුතුය.

2015 දී මම ගම්මිරිස් පැල ලක්ෂ 70 ක් බෙදා දුන්නා. 2016 දී පැළ ලක්ෂ 170 ක් දුන්නා. 2017 දී පැළ ලක්ෂ දෙසිය පනහක් දුන්නා. 2018 දී පැළ දශ ලක්ෂයක් බෙදීමයි ඉලක්කය වුණේ.

සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා - යෞවනයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න රජයට විශාල වගකීමක් තිබෙනවා. මේ රටේ තරුණ තරුණියන්ගේ ලිපි 22000 ක් මේ රටේ ළමාරක්ෂක අධිකාරියට පැමිණ තිබෙනවා. ළමුන් 14000 ක් පමණ ළමා නිවාසවල ජීවත්වෙනවා. අපි මේ ළමුන් ළමා නිවාසයට එන්න වූ සිදුවීම ගැන සොයා බැලිය යුතු වෙනවා. ඒ ළමුන් ළමා නිවාසයේ අද දුක් විඳිනවා. අපේ අමාත්‍යාංශයේ නිලධාරින් 25000 ට වැඩිය ඉන්නවා. ලක්ෂ ගණන් පඩි ගෙවනවා. ඒ සියලුදෙනා එක්ව රට වෙනුවෙන් සේවය කරන්න ඕන.

සමෘද්ධි නිලධාරින් පසුව දේශපාලනය ක්‍රියාත්මක වුණේ. ඔවුන් ඡන්ද මැසිම කිව්වා. අපි වැරැද්දට කරුණු සෙවිය යුතු වෙනවා. සවිබල ගන්වන රටක් නිර්මාණය කළ යුතු වෙනවා. දේශපාලන වශයෙන් පක්ෂ ගැන කතා කළ යුතු නැහැ. අපි සමෘද්ධිමත් රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා (ජ.වි.පෙ.) – මේ සමාජයේ අසාධාරණයට ලක්වූ ජනතාවට පිහිටක් වෙන්න මේ අමාත්‍යාංශය ස්ථාපිත කර තිබෙනවා. නමුත් මේ අමාත්‍යාංශයට ඒ වෙනුවෙන් ප්‍රමාණවත් මුදලක් ලබාදී නැහැ. පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් තමන් කියන දේ සිංගප්පූරු අගමැතිවරයා අහන්නේ නෑ කියනවා. නමුත් මේ රජයෙන් අවශ්‍ය වාර්තා දීලා නැහැ. ඒ ගැන මේ රජය පිළිතුරු ලබාදිය යුතු වෙනවා. සමෘද්ධි සහනාධාරය අලුතින් දෙන්න දීප ව්‍යාප්තව සමීක්ෂණයක් කළා. ඒ සමීක්ෂණයට රුපියල් කෝටි 8 ක් වියදම් කළා.

නමුත් ඒ සමීක්ෂණයට අනුව කිසිදු වෙනසක් අවශ්‍ය නැහැ කියන්න රුපියල් ලක්ෂ 14 ක මුදලක් වැයකර තිබෙනවා. මේ මුදල් ගැන වගකියන්නෙ කවුද?

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා - එම පත්වීම් නීත්‍යානුකූල නැහැ. ඒවා නීත්‍යානුකූල කරන්න ක්‍රියාමාර්ග ගන්නවා.

(නියෝජ්‍ය කාරක සභා සභාපති එස්. අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය)

නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා - සමෘද්ධිය දේශපාලනීකරණය වී ඇතැයි සමාජ මතයක් තිබෙනවා. පසුගිය රජය සමෘද්ධි ප්‍රශ්න විසඳන්න කටයුතු කළේ නෑ. අපි එම ප්‍රශ්න විසඳීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. දිවි නැඟුම සහනාධාර අවුරුදු 20 තිස්සේ ලැබුණේ එකම පිරිසකට. එය වෙනස් කරන ලෙස අපි ඉල්ලනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ. පී. ඩී. පී.) – සමාජයේ සෑම දෙයක්ම ලබාගැනීමට ජනතාව අද මුදල් වැය කරනවා. අද දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඇතැම් පක්ෂ අවස්ථාවාදීව කටයුතු කරමින් ජිනීවා ප්‍රශ්නයේදී වගවීම මෙන්ම රජයට ප්‍රශ්නද ඇති කරනවා. අද අපේ ජනතාව මේ කරුණු තේරුම්ගෙන තිබෙනවා.

උතුරු නැගෙනහිර සමෘද්ධි සහනාධාර බලාපො‍රොත්තුවෙන් දහස් ගානක් ඉන්නවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එ.ජ.නි.ස.) – අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා අල්ලස් දූෂණ කොමිසමේ කළ කතාව පිළිබඳ නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා කතා කළා. මහේන්ද්‍රන් ගේන්න ජනාධිපතිතුමා රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කර තිබෙනවා. පුද්ගලිකවම එරට අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එසේ සියලු ලිපිලේඛන සහිතවත් පුද්ගලිකවත් කළ එම ඉල්ලීම පිළිබඳව ළඟදීම රටට හෙළි කිරීමටද බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාගේ පාර්ශ්වය වශයෙන් මම එය කිව යුතුයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එ.ජා.ප.) – අද රටේ දෙපාර්ශ්වයක් සිටීම පිළිබඳ කතා කරනවා. ‍ෙමාන පාර්ශ්වය වුණත් මේ රටේ ජනතා පාර්ශ්වයට සෙතක් වන දෙයක් කරන්න සියලුදෙනා කටයුතු කළ යුතුයි. අපි දක්වන දින 52 ආණ්ඩුවේදී එස්. බී. මහතා කිව්වා සමෘද්ධි නිලධාරින් ස්ථිර කළා කියලා බොරුවක් කළා. සුවසැරිය මෙරටට හඳුන්වා දෙනකොට කිව්වා රෝ එනවා කියලා.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජ.වි.පෙ.) – ආබාධ සහිත පුද්ගලයින්ට ලබාදෙන දීමනාව ඉහළ නංවන බවට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මමත් උපතින් යම්කිසි ආබාධිතයෙක් අපේ පක්ෂයේ හැම අයෙකුටම සමානව කටයුතු කරනවා.

21 දෙනෙක් මේ ජාතික සභාවේ ඉන්නවා. පුද්ගලයින් 6 දෙනකු පමණයි ආබාධිත පුද්ගලයින් නියෝජනය කරන්නෙ. අඩු තරමේ මේ ජාතික සභාවෙන් හෝ ආබාධිත පුද්ගලයින්ට සාධාරණයක් ඉටුකළ යුතු වෙනවා.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ ඇමැති දයා ගම‍ෙග් මහතා -

අපි මේ සභාවට කණ්ඩායමක් පත් කළේ වැඩි යමක් කරයි කියන අරමුණින්. අපි මෙවර 72000 ට මුදල් වෙන්කර තිබෙනවා. රුපියල් 3000 දීමනාව 5000 දක්වා වැඩි කළා. ආබාධ සහිත පුද්ගලයින් අතර අනුකම්පාව ලැබිය යුතු පුද්ගලයින් ඉන්නවා. ආබාධ සහිත පුද්ගලයින්ට අරමුදලක් ඇති කරන්න රුපියල් 100 ක මුදලක් කපා ගන්නවා.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජ.වි.පෙ.) – මේ අසරණ ආබාධිතයින්ට ලබාදෙන මුදලින් කපාහරින එක හිඟන වැඩක්. ලැජ්ජයි මේ ගැන.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා -රුපියල් 100 අරමුදල ඇති කරන්නේ ආබාධිත පුද්ගලයින් වෙනුවෙන්. ඒ මුදල ආබාධිත පුද්ගලයින්ගෙන් නොකපා වෙනත් ක්‍රමවේදයකින් එම අරමුදලට ප්‍රතිපාදන වෙන් කරනවා.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජ.වි.පෙ.) –ලංකාවේ ජනගහනයෙන් සියයට 8.7 ක් ආබාධිත පුද්ගලයින් වෙනවා. ඒ වගේම ළමුන්ගෙන් 30000 ක් පමණ කිසිදු අධ්‍යාපනයක් ලබන්නේ නැහැ. ආබාධිත ශිෂ්‍යයන්ට ආධාර දෙන්න පාසල්වලට මුදල් වෙන් කළ යුතු වෙනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා (ජ.වි.පෙ.) – සිංගප්පූරු පුවත් සේවයේ ලියවිල්ල මම සබාගත කරනවා. සිංගප්පූරු උදර්පන නීතියට අනුව එම උපකාරක ලිපි තවමත් ලබාදී නැහැ. එම ලිපි ලැබුණු පසු ඒ ගැන සලකා බලන බවට සිංගප්පූරුව ප්‍රකාශ කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේළුකුමාර් මහතා (එ.ජා.ප.) – වතුකරයේ ජනතාවගේ තත්ත්වය පිළිබඳව අපි දන්නවා. වැඩිම දිළිඳුකමක් තිබෙන්නේ වතුකරයේ. වැඩිම ළදරු මරණ අඩු බර උපත් දෛනික ආදායම පහළ මට්ටමේ තිබෙන්නේ වතුකරයේ. නමුත් සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය මඟින් යම් යම් සහන ලබාදෙනවා. දුගී දුප්පත් තත්ත්වයට පත්ව සිටින ජනතාවට මේ අමාත්‍යාංශයේ සහන ලැබෙන්නේ ඉතාම අල්ප මට්ටමින්. සමෘද්ධි දීමනාව, ආබාධිත, වැඩිහිටි දීමනාව ලබාදීමේදී වතුකරයේ ජනතාව ගැනත් අවධානය යොමු කරන්න. මේ වසර අවසන් වනවිට අපි මැතිවරණයකට සූදානම් වෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා (එ.ජ.නි.ස.)- ආබාධිත පුද්ගලයින් පිළිබඳ ජාතික සභාවේ අපි නියෝජනයක් ඉල්ලා සිටියා.

එක් අයෙක් පත්කරන්න එකඟ වුණා. අමෙරිකානු ඉතිහාසයේ වැඩිම කාලයක් පාලනය කළේ කවුද? අමෙරිකානු ඉතිහාසයේ හොඳම ජනාධිපති ෆ්රෑන්ක්ලින් රූස් මහතායි. එවකට අමෙරිකාව දැඩි ආර්ථික අවපාතයක සිටියා. 1945 දී සිව්වැනිවරට බලයට ආවා. අමෙරිකාව බිහිකළ විශිෂ්ට ජනාධිපතිවරයාට පෝලියෝ රෝගය වැළ‍ඳෙනවා. ආබාධිත පුද්ගලයෙක් ලෙස ‍අමෙරිකාවට හොඳ වාතාවරණයක් බිහිකරනවා.

(මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේළුකුමාර් මහතා මුලසුනට පැමිණියේය)

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එ.ජ.නි.ස.) – ස්වර්ණවාහිනියේ ඊයේ සේවක වර්ජනයක් ඇතිවුණා. මේ වනවිට සේවකයන් 300 ක් පමණ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එම සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා - පසුගිය කාලයේ අපිට හරියට වැඩ කරන්න නොහැකි වුණා. පුද්ගලයින් ලක්ෂ 6 කට අලුතින් සමෘද්ධිය දෙන්න තීන්දුකර තිබෙනවා. දේශපාලන හේතූන් මත එදා සමෘද්ධියට බඳවා ගත්තා. අනෙකුත් පක්ෂවලට අවස්ථාව නැහැ. 94, 95 දී මේ ව්‍යාපාරය පටන් ගත්තා. මෙය දැන් ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. අද ගම්වල සමෘද්ධියට තෝරාගන්නා පිරිසත් දේශපාලනීකරණය වෙලා. මේ ගැන සොයා බලා දුප්පත් අයට පමණක් දෙන්න.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කංචන විජේසේකර මහතා (එ.ජ.නි.ස.) – මේ රටේ දැවැන්තම විදේශ ආයෝජනය හම්බන්තොට කර්මාන්ත පුරය කේන්ද්‍ර කරගනිමින් මේ මස 24 දා වනවිට ආරම්භ කරන බවට නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. නමුත් අද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. අද පළමුවරට තමයි මෙවැන්නක් අහන්න ලැබෙන්නෙ කියා. එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. මේකත් වොක්ස්වගන් වගේ රටේ ජනතාව නොමඟ යවන ව්‍යාපෘතියක් ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දෙනවා නම් ව්‍යාපෘතියකට මේ රටේ ජනතාව ඇතුළු සැම නොමඟ යවා තිබෙනවා.

අදටත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවයේ ගැටලු තිබෙනවා. නිලධාරීන්ගේ සේවය ස්ථිර කරන්න එදා බැසිල් රාජපක්ෂ මහතා දිවි නැඟුම වැඩසටහන හරහා ක්‍රියාමාර්ග ගත්තා.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා - අපි කටයුතු කරන්නේ ජනතාවගේ යහපතටයි. අපි අපේ රටේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ දිළිඳුකම තුරන් කරන්නයි. සමෘද්ධිය ලැබිය යුතු පුද්ගලයින් 850000 ක් පොරොත්තු ලේඛනයේ ඉන්නවා. අප්‍රේල් 1 වන විට නීත්‍යානුකූල පත්වීම් ලබා දෙනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එජනිස) - සමෘද්ධිය පිළිබඳ ඇමැතිවරයාට අවබෝධයක් තිබිය යුතුයි. එහෙම නැතිව මුදල් දීමක් නොවේ. පළමුවරට වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් පාරට බැස්සා. මේ ජනතාවට සේවය කළ යුතු වෙනවා. හර්ෂ ද සිල්වා ඇමැතිගේ ප්‍රධානත්වයෙන් ගිලන් රථ සේවය ආරම්භ කිරීම ගැන සතුටු වෙනවා. නමුත් මේ අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත් නැහැ.

පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා - අපිට රුපියල් මිලියන 3300 ක් පමණ වෙන්කර තිබෙනවා. අපිට විෂයන් කිහිපයක් තිබෙනවා.

(අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය මුලසුනට පැමිණියාය)

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. යෝගේෂ්වරන් මහතා (දෙජාස) - ආබාධිත පුද්ගලයින් සහ සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සමෘද්ධි බැංකුවල ඉතිරි කරන මුදල ණය වශයෙන් ලබා දෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ නිසා ජනතාව ක්ෂූද්‍ර ණය ලබා ගන්නවා. ඒ හරහා ඔවුන් විවිධ පීඩාවන්ට ලක්වෙනවා. මඩකළපුව දිස්ත්‍රික්කයේ පවුල් 76500 කට සමෘද්ධි සහනාධාර හිමි වෙනවා. නමුත් දුගී බව තුරන් වී නැහැ. එම දිස්ත්‍රික්කය දරිද්‍රතාවයෙන් පෙළෙනවා.

විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන ඇමැති වී. රාධා ක්‍රිෂ්ණන් මහතා - අනාගතයේදී මේ අමාත්‍යාංශය අනෙකුත් අමාත්‍යාංශ සමඟ එක්ව කටයුතු කරනවා. සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කර වසර 20 ක් පමණ ගතවුවත් කඳුකරයේ ඉතාම සීමිත පිරිසකට පමණයි සහනාධාර ලැබෙන්නේ. කඳුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවන්න සමෘද්ධි ප්‍රතිලාභය ඉතාම වැදගත්. නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය නංවන්න ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අවේන්ද කුමාර මහතා (එජාප) - මෙම අමාත්‍යාංශය ස්ථාපිත කිරීම කඳුකර ජනතාව පිළිගැනීමක් ලෙස අපි සළකනවා. ඒ වගේම මෙය සුවිශේෂී ජයග්‍රහණයක්. අප ලැබූ ජයග්‍රහණයක්. මෙමඟින් අපට විශාල කාර්යභාරයක් ඉටුකර ගත හැකි වේවි. රාධ ක්‍රිෂ්ණන් මහතා මේ සඳහා පත්කිරීමත් හොඳ තීරණයක්. මෙම අමාත්‍යාංශය බිහිකිරීම මඟින් අන් අයට වෙනස්කොට සැළකීමක් ලෙස සඳහන් කළා.

සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අලි සහිර් මවුලානා මහතා - රටේ ජනතාවට බොහෝ සෙයින් ආර්ථික බලපෑම් එල්ල වී තිබෙනවා. කුඩා පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා මෙවර අයවැයෙන් අරමුදල් වෙන්කර තිබීම අගය කළ යුතුයි. 2025 මිලියනයක් රැකියා ලබාදීමට හා ඇමෙරිකන් ඩොලර් බිලියන 25 ආදායමක් ලබාගැනීමට මෙම අඩිතාලමින් ශක්තිය ලැබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා (එජාප) - වැඩිහිටියන්ට රජයෙන් ගෙවන දීමනාව ප්‍රමාණවත් නැහැ. ඒ අයට අවශ්‍ය බෙහෙත් ටික ගන්න හෝ මුදලක් ලැබෙන්නේ නැහැ. වැඩිහිටි ආධාරය පසුගිය කාලේ රුපියල් 1000 ක් දුන්නා. අපි එය රුපියල් 2000 ක් කළා.

සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් වුණාද යන්න අපි සිතා බැලිය යුතු වෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස) - රටට හොඳ‍ දෙයක් නම් ඒ දෙය කරන්න ඕන. ගැසට් නිවේදනයකින් මේ රටේ විශ්වවිද්‍යාල කර්මාන්ත අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා. අපේ ර‍ෙට් ඉතිහාසයේ කිසිදු කලෙක නොකළ අසාධාරණ පවරාදීමක් මෙය. මෙහි ඉගෙන ගන්නා දරුවෙක් මොන විශ්වාසයකින් ද විශ්වවිද්‍යාලයට එන්නේ. විශ්වවිද්‍යාල දරුවන් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව තීන්දු තීරණ ගත යුතු නැහැ. විජාතිකයන් සනසන ප්‍රතිපත්තියක් තමයි පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය අරන් ගියේ. ක්ෂූද්‍ර මූල්‍ය ණය කපාහරින බවට අගමැතිවරයා ප්‍රකාශයක් කළා. කොහොමද මේක කරන්නේ. මේ කාන්තාවන් බලාගෙන ඉන්නේ ඡන්දයක් එනකල්. ජනතාවගේ ප්‍රශ්නය අපි බැලිය යුතු වෙනවා.

ඕමානයෙන් ආයෝජනය කරන්න ලංකාවට එනවා කියා ආණ්ඩුව කියනවා. එහෙම කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඕමාන් ආණ්ඩුව ප්‍රකාශ කරනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එජනිස) - හම්බන්තොට යෝජිත පිරිපහදුවට ඕමානයේ යම්කිසි සම්බන්ධයක් තිබෙනවාද කියා අගමැතිගෙන් මම ඇසුවා. ඒ සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මම සභාගත කරනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප) -

පෞද්ගලික උපකාරක පංති කළ පුද්ගලයෙකුට මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය දුන්නා. මේ රටේ මොන විෂය, කාට දෙනවාද යන්න නොව එය කරන්නේ කෙසේද යන්න ගැන අවබෝධයක් තිබෙනවා නම් ගැටලුවක් නැහැ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස) - ජාතිවාදය ඇවිස්සිය යුතු නැහැ. සාධාරණ ලෙස කටයුතු කළ යුතු වෙනවා. කර්මාන්ත අමාත්‍යාංශය යටතට තාක්ෂණ විශ්වවිද්‍යාල යටත්කර නැහැ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප) - මේ රටේ යම් යම් විෂයන් බෙදන්නේ අපි. පොහොට්ටුවට අවශ්‍ය විදිහට අපි විෂයන් බෙදන්නේ නැහැ. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මේ රටේ ජනතාවට විශාල සේවාවක් කරන්න පුළුවන්.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සී. මුතුකුමාරණ මහතා (එජනිස) - පාර්ලිමේන්තුවට එන බොහෝ අය රටට වඩා පක්ෂය ගැනයි, තමන් ගැනයි සිතනවා. එමනිසා රට එකතැන තිබෙනවා. සමෘද්ධිලාභීන් බලගන්වා ඔවුන් ඒ තුළින් ස්වයංපෝෂිත කරන වැඩපිළිවෙළක් යොදන්න. සමෘද්ධිලාභියා එසේ බලගැන්වූ විට ක්ෂූද්‍ර මූල්‍ය ආයතනවලට ගමේ ඉඩක් නැති වෙනවා. පිටරට කුළුබඩු ශ්‍රී ලංකාවේ ලේබලය යටතේ ප්‍රතිඅපනයනය කරන රාජ්‍ය නිලධාරීන් රාජද්‍රෝහින් ලෙස නම් කරන්න.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා (එජාප) - අවුරුදු 20 ක් සමෘද්ධි ලබාගත් පුද්ගලයින් අපේ සමාජයේ ඉන්නවා. ඔවුන් තමන්ගේ අතකොලු කරගත් දේශපාලනඥයින් ඉන්නවා. ඇතැම් සමෘද්ධි නිලධාරීන් දේශපාලනීකරණය වෙලා. එහෙත් සමෘද්ධිය ලැබීමට සුදුසු පුද්ගලයින්ට එය ලැබිලා නෑ. දේශපාලනඥයින්ගේ අතකොලු වුණත් සමෘද්ධි නිලධාරීන් ස්ථිර කරන්න හිටපු රජය කටයුතු කළේ නෑ. අපේ රජය මඟින් ලබන මාසයේදී සුදුසුකම් ලත් සමෘද්ධි නිලධාරීන් ස්ථිර කිරීමට කටයුතු සම්පාදනය කරනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා මුලසුනට පැමිණියේය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා - පසුගිය කාලය පුරාම අපේ රටේ ප්‍රශ්න තිබෙනවා. අපේ රටේ අයවැය සකස් කිරීමේදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා පාදක කරගැනීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අපේ රටේ ජීවන වියදම් කමිටුව අපිට තීන්දු තීරණ ගන්න බවක් පේන්නේ වෙළෙඳපළේ භාණ්ඩ හිඟයක් ඇති වූ පසුවයි. ලෝක වෙළෙඳපළේ මිල වැඩි වූ පසුවද එම කමිටුව තීන්දු තීරණ ගන්නවා. ඒ නිසා එවැනි දේ ඇතිවීමට පෙර තීන්දු තීරණ ගැනීම මේ කමිටුවේ කාර්යභාරය විය යුතුයි. රටේ ඉල්ලුම සැපයුම පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා (එජනිස) - වතු කම්කරුවන් 143,000 ක් ලංකාවේ ඉන්නවා. ඒ අය සමෘද්ධි ලබන්න සුදුසුයි. වතු කම්කරුවන්ට ගිලන්රථ සේවාව ලබාදීම ගැන අපි සතුටු වෙනවා. වතු කම්කරුවන්ට වැඩියෙන් සේවය කරන්න අවස්ථාව දී තිබෙනවා. වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්ට සමෘද්ධි දෙන්න සුදුසුකම් තිබෙනවා කියා මම කියනවා. ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් කරගෙන යනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා (එජනිස) - හෙක්ටයාර් 4500 ක් පමණ මේ රටේ ඉස්සන් කර්මාන්තය වෙනුවෙන් සකස් කර තිබෙනවා. එදා එම නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6500 ක් දක්වා ඉහළ ගියා. හරි රාජ්‍ය මැදිහත්වීමක් නොමැති වීම සහ නිසි කළමනාකරණයක් නොමැති වීම හේතුවෙන් මේ කර්මාන්තය කඩාවැටුණා. ඒ නිසා විවිධ අය මේ කර්මාන්තය කරන්න ගියා. මම පළාත් ධීවර ඇමැති ලෙස නාරා ආයතනය හා ස්ලාඩා ආයතනය, පේරාදෙණිය, කැනේඩියානු විශ්වවිද්‍යාලය එක් මේසයකට ගෙන වැඩ කරන්න උත්සාහ කළා. කෙසේ වුණත් රාජිත සේනාරත්න ඇමැතිවරයා අපිට මේ වැඩසටහන් කරන්න අවශ්‍ය සහාය දුන්නා.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා - වනමි ඉස්සන් මේ වන විට බෝ කරගෙන යනවා. නමුත් ඉදිරි මාස කිහිපය ඇතුළත පුත්තලම දිස්ත්‍රික්කයට ලබා දෙන්න පුළුවන්.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා - ඉස්සන් නිෂ්පාදනය වෙනුවෙන් කටයුතු කරන පුත්තලම් කළපුවට කැළිකසළ ගෙන යන්න යෝජනා වී තිබෙනවා. එසේ වුණොත් ඉස්සන් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වෙනවා. අපේ ගොවීන් ශක්තිමත් කරන්න ඕන. පුවක්, කජු, ගම්මිරිස්, ඉඟුරු, වැනිලා සඳහා අද ඉහළ ඉල්ලුමක් තිබෙනවා. යුද්ධය අවසන් වීමත් සමඟ අපිට භූමිය එකතු වුණා. නමුත් අද අපිට මානව හිමිකම් ගැන කියනවා. යුද්ධය අවසන් වීමත් සමඟ මානව හිමිකම් ආරක්ෂා වී තිබෙනවා. දින 52 ආණ්ඩුව පරාජය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරිය කතා කරනවා. මේ යුද්ධයට සම්බන්ධව මානව හිමිකම් ආරක්ෂා කළ රණවිරුවන් ආරක්ෂා කරන්න ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා.

පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - අපේ රටේ තිබෙන ආර්ථිකය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුයි. ඒ ගැන අමාත්‍යාංශය හරහා දත්ත වි‍ශ්ලේෂණ ඒකකයක් පටන් ගත්තා. ප්‍රධාන පෙළේ ආයතන හැමවිටම දත්ත විශ්ලේෂණය කර ඉදිරියේ දියුණුව කරා යන්නේ කොහොමද කියා කටයුතු කරනවා. නමුත් අපේ රටේ එවැන්නක් වුණේ නැහැ. විශ්වවිද්‍යාල තරුණයින් එකතු කරලා අපි මේ නව ඒකකය පටන් ගත්තා. මේ ඒකකය මඟින් කළ පරීක්ෂණයකින් පසු ගඩොලින් අන්වීක්ෂයට ව්‍යාපෘතිය ආරම්භ කළා.

දැන් අපි මේ සූත්‍රය සමඟ මිල ඉහළ යන්නේ නැහැ. ඉතිරි ගාන පාරිභෝගිකයාට එනවා. දැන් කිරිපිටි කිලෝව රුපියල් 920 ක් වී තිබෙනවා. වසර 5 ට පෙර නිෂ්පාදන වියදම් වැඩි වී තිබෙනවා. පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන විසඳුම් අපි ලබා දෙනවා.

(කතානායක කරු ජයසූරිය මහතා මුලසුනට පැමිණියේය.)

සුවසැරිය මගේ හි‍ෙත් හීනයක් වුණා. නමුත් අද විශාල සේවාවක් කරනවා. අද වන විට 162000ක් මෙයින් සේවා ලබාගෙන තිබෙනවා. දිනකට දුරකතන ඇමැතුම් 1200ට වඩා ලබා ගන්නවා.

රුපියල් ලක්ෂ 22000ක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර තිබෙනවා. සුවසැරිය කාර්ය මණ්ඩලයේ නේවාසික පහසුකම් ලබා දෙන්නද බලාපොරොත්තු වෙනවා.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා - කතානායක කරු ජයසූරිය මහතාට මාගේ උණුසුම් සුබ පැතුම් එක්කරනවා. බෞද්ධයකු ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළ ඔබතුමාට මෙවන් ගෞරව සම්මානයක් ලැබීම ගෞරවයක්.

මන්ත්‍රීවරුන් අද විවාදයේදී එක්කළ හොඳ අදහස් ක්‍රියාත්මක කරනවා. මට මෙම අයවැයෙන් රුපියල් දස ලක්ෂ 87000ක් වෙන් කරලා තිබෙනවා. ලෝක බැංකු මඟින් රුපියල් මිලියන 600ක් ලැබෙනවා.

අපේ රටේ ජනතාව දිළිඳුකමින් බේරාගන්න නම් ආධාර දීලා බෑ.

සමෘද්ධි නිලධාරීන් පසුගිය රජය බඳවා ගත්තත් ඒ අයට පලක් වී නෑ. අපි ඔවුන්ට හොඳ පුහුණුවක් ලබා දී අප්‍රේල් 30 දින වන විට ස්ථිර කරන්න බලාපොරොත්තු වෙනවා.

එක්සත් ජාතික පක්ෂ රජය මඟින් මෙම සමෘද්ධිලාභීන් ලක්ෂ 22 ½ට බලගැන්වීම කරනවා. දැන් ලක්ෂ 14යි ඉදිරියේදී 8 ½යි.

අපි වැඩිහිටියන් සඳහා දිස්ත්‍රික්කයකට බස් 2 බැගින් බස් 50ක් ලබා දෙනවා. වැඩිහිටි නිවාස 306කට මිලියන දෙක බැගින් ලබාදී පහසුකම් ලබාදෙනවා. වැන්දඹු කාන්තාවන් 650000ට සහන සලසනවා. සමෘද්ධි බැංකු පරිගණක ජාලයකට සම්බන්ධ කරනවා. රුපියල් දසලක්ෂ 50000ක් අපේ ආර්ථිකයට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට සංශෝධන එක්කරමින් නව වැය ශීර්ෂයක් එක්කර වැඩිපුර ප්‍රතිපාදන වෙන් කරනවා.

වැය ශිර්ෂ සංශෝධන සහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (22) පෙරවරු 9.30 යළි රැස්වේ.


නව අදහස දක්වන්න