2015 සිට අපි උසස් අධ්‍යාපනයට වෙන් කළ මුදල බිලියන 204ක් | දිනමිණ

2015 සිට අපි උසස් අධ්‍යාපනයට වෙන් කළ මුදල බිලියන 204ක්

උසස් අධ්‍යාපනයට මහින්ද රාජපක්ෂ යුගයේ වෙන් කළේ රුපියල් බිලියන 102ක් පමණයි. නමුත් අපි 2015 සිට මේ දක්වා රුපියල් බිලියන 204 ක ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. ඒ කාලයට වඩා මේ කාලයේ දෙගුණයක මුදල් වෙන් කර තිබෙන බව ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා මේ බව අනාවරණය කළේ මාතර පනන්ගොඩ, මීගොඩ විද්‍යාරාජ පිරිවෙන් පරිශ්‍රයේ පැවති ‘ප්‍රජා ජල අභිමානී’- මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට පසුව පැවති ජනහමුවට සහභාගිවෙමිනි.

මුදල් ඇමැති මංගල සමරවීර,මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් අතපත්තු මහත්වරුද,ප්‍රදේශයේ දේශපාලන නායකයෝ සහ ප්‍රදේශයේ විශාල ජන පිරිසක් මේ ජනහමුවට එක්වූහ.

එහිදී වැඩිදුරටත් ඇමැති හකීම් මහතා මෙසේද කීය.

ජල සම්පාදනයට ඒ කාලයේ වෙන් කර තිබුණු මුදල මෙන් තුන් ගුණයක් අපි මෙවර වෙන් කර තිබෙනවා. ඒ කාලයට වඩා විශාල මුදල් ප්‍රමාණයක් ජල සම්පාදන කටයුතු සඳහා අපි වියදම් කර තියෙන බව පැවසීය.නමුත් අපි මේවා ප්‍රචාරය කරන්න වැඩිපුර කටයුතු කළේ නැහැ. නමුත් අපි තීරණය කළා. මුදල් නාස්ති නොකර මේ ගැන ජනතාව දැනුවත් කරන්න පියවර ගන්නවා. ප්‍රජා ජල දෙපාර්තමේන්තුව රටපුරා තිබෙන 5000කට ආසන්න ප්‍රජා ජල කමිටුවල ප්‍රශ්න ගැන සොයා බලා , තවත් ව්‍යාපෘති 1000ක් ආරම්භ කරන්න ලැබීම විශාල ජයග්‍රහණයක්. මේ පිළිබඳව මුලින් මුදල් ඇමැතිතුමාට පැහැදිලි කළා.එතුමා ඒ මොහොතේම ප්‍රතිපාදන වෙන් කරන්න අදාළ පාර්ශ්වයන්ට අවශ්‍ය නියෝග ලබා දුන්නා. මාතර 4 වෙනි අදියර ජල ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 18 000ක මුදලක් වෙන් කොට තිබෙන අතර ගම්මාන 135ක වෙසෙන ලක්ෂ දෙකහමාරක ජනතාවට මෙයින් ප්‍රතිලාභ ලැබෙනවා. අප්‍රේල් වනවිට එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට අපට හැකි වෙනවා.

එමෙන්ම, පසුගිය ආණ්ඩුව කාලේ යුද්ධය දිනුව තමයි. නමුත් ඊට අඩිතාලම කොහොමද වැටුණේ? රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තමයි ජාත්‍යන්තර අනුග්‍රහය ඇතිව සාම සාකච්ඡා පටන් ගත්තේ. එවිට තමයි නිවැරදිව පෙනුණේ කොටි සංවිධානය උපක්‍රමශීලීයි කියලා. උපක්‍රමශීලීව යුද්ධය නිමා නොකර දිගටම ඇදගෙන ගිහින් තනි රාජ්‍යයක් පිහිටුවා ගැනීම තමයි කොටි සංවිධානයේ අපේක්ෂාව වුණේ. මේ පිළිබඳ දැනගන්නට ලැබුණට පසුව දැඩි තීන්දුවක් ආණ්ඩුව ගත්තා.තවද රනිල් වික්‍රමසිංහ 2005 දී මැතිවරණයට ඉදිරිපත් වෙන විට කොටි සංවිධානයෙන් යෝජනාවක් ආවා “අන්තර්වාදී පාලනයකට තමන් ඉදිරිපත් කරන යෝජනාවට එකඟවෙන්න කියලා. එතුමා ඒ අවස්ථාවේ එයට එකඟ වුණා නම් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසයි කොටි සංවිධානය දමිළ ජනතාව ඡන්දය දෙන එකෙන් වැළැක්වූවේ.අපිට ජාත්‍යන්තරව සහයෝගය අවශ්‍ය වුණා ඒ වෙලාවේ. එහෙම ලැබුණු නිසයි අපි දිනුවේ.

නමුත් යුද්ධය දිනුවාට පසු, රටේ තිබුණු සංහිඳියාව නැතිවුණා. උතුරු-නැඟෙනහිර ඉන්න අය සතුරෝ ලෙස සලකලා විවිධ සංවිධාන හදලා අපි අපි අතරේ තරහ ඇති කළා. සුළු සුළු දේවල් තිබෙන්න ඇති. නමුත් අනවශ්‍ය ලෙස ජනතාව කුපිත කිරීමට පසුගිය ආණ්ඩු කාලයේ කටයුතු කළා. මාධ්‍යවේදීන් අමු අමුවේ ඒ කාලේ මැරුණා. ජාත්‍යන්තරය මේ දෙස බලා සිටියා. නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා අප සිදු කරන අයුරු ඔවුන් නිරීක්ෂණය කරනවා. මානව අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තරය සමඟ තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කර විසඳා ගත යුතුයි. සංහිඳියාව ඇති කිරීමට අපි අවංකවම අවතීර්ණ විය යුතුයි. ජනතාව කුපිත කරන දේවල් නොකළයුතුයි. අපේ රටේ නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කර දිය යුතුයි.


නව අදහස දක්වන්න