ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේදී පාට කණ්ණාඩියෙන් බලන්නේ නෑ | දිනමිණ

ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේදී පාට කණ්ණාඩියෙන් බලන්නේ නෑ

පක්ෂ-විපක්ෂ බේදයකින් තොරව,දේශපාලන පාට කණ්ණාඩියෙන් නොබලා ඉඩම් අමාත්‍යාංශය මගින් ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව බව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඉඩම් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

දශක ගණනාවක සිට නොවිසඳුණු අවිස්සාවේල්ල මැතිවරණ බල ප්‍රදේශයේ කළුඅග්ගල මූණමලේවත්ත ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ඔප්පු සිහිනය යථාර්ථයක් කරමින් ඇමැතිවරයා අතින් පවුල් 80කට ඉඩම් ඔප්පු ප්‍රදානය ඉඩම් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද කීය.

විදෙස් තාක්ෂණික දැනුම ඉඩම් මැනීමේ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කළද, රටේ එක බිම් අඟලක්වත් විදේශිකයන්ට ලබා දෙන්නේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණක්ව පවතින ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යථාර්ථයක් කිරීමට ඉඩම් අමාත්‍යාංශය කැප වී සිටිනවා.

ඉඩමට ඔප්පුවක් නොමැතිවීමෙන් දරුවන් පාසලකට ඇතුළත් කිරීමේදී සිට ඉඩම් හිමිකම් පැවරීම දක්වා පවතින දුෂ්කරතා පිළිබඳව ඉඩම් ඇමැතිවරයා ලෙස තමන්ට හොඳ අවබෝධයක් තිබෙනවා. උපරිම කාර්යක්ෂමතාවකින් ඉඩම් ඔප්පු රටපුරා බෙදාදීමේ කටයුත්තට තම අමාත්‍යාංශය අතගසා තිබෙනවා . පක්ෂ - විපක්ෂ බේදයකින් තොරව දේශපාලන පාට කණ්ණාඩියෙන් නොබලා ඉඩම් අමාත්‍යාංශය මගින් මේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.මම ඒ පිළිබඳව සෑම මොහොතකදීම පක්ෂ විපක්ෂ මහජන නියෝජතයන්ද ඇගයීමට ලක් කර තිබෙනවා .

පාර්ලි‌‌මේන්තුවේදීත් අමාත්‍යාංශයේදීත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ සිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්‌ද ජනතාව මුහුණ දී සිටින ඉඩම් ගැටලු පිළිබඳව නිරන්තරයෙන් කරුණු සැල කරනවා. ඉඩම් අමාත්‍යාංශයේ කාර්යක්ෂම නිලධාරීන් සමඟ ඉඩම් ඔප්පු දසලක්ෂයේ වැඩසටහන සාර්ථක කිරීමට දීපව්‍යාප්ත පියවර ගනිමින් සිටිනවා.

 


නව අදහස දක්වන්න