ආර්ථිකය ශක්තිමත් කිරීමට පෞද්ගලික අංශය ශක්තිමත් කළ යුතුයි | දිනමිණ

ආර්ථිකය ශක්තිමත් කිරීමට පෞද්ගලික අංශය ශක්තිමත් කළ යුතුයි

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් පෞද්ගලික ව්‍යාපාර අංශය ශක්තිමත් කළ යුතු බවත් බොහෝදෙනා උනන්දුවක් දක්වන්නේ රජයේ රැකියාවක් කර විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මිස අයෝජනයක් සිදුකර දියුණුවක් ලැබීමට බොහෝදෙනා උනන්දු නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය වර්ධනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති විවෘත සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි සාකච්ඡා කරන Fire Side නම් විවෘත සංවාදයක් කොළඹ හිල්ටන් හෝටලයේදී 19දා පැවැත්විණි. මෙහිදී අදියර දෙකක් යටතේ සංවාද මණ්ඩප දෙකක් පැවැති අතර රටවල් රැසක තානාපති නිලධාරීන් මේ පළමු වටයේදී තම අදහස් දැක්වීය. අහඹු ලෙස තෝරාගත් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඒ තානාපතිවරුන්ට අවස්ථාව ලබාදී තිබූ අතර තම රටේ අත්දැකීම් බෙදාගැනීමට ද ඔවුහු අමතක නොකළහ. ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින් අදහස් දැක් වූ අතර එයින් අනතුරුව මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර රටේ ආර්ථිකය ගැන විවෘත සංවාදයක් ද පැවැත්විණි.

මේ අවස්ථාවේ සභාව ඇමැතූ අගමැතිවරයා ‘‘2015 වන විට අපට බාරගැනීමට සිදු වුණේ නරක තත්ත්වයේ තිබූ ආර්ථිකයක්. විශාල වශයෙන් විදේශවලට අපි ණය වෙලයි හිටියේ. ඒවගේ අවස්ථාවක ඇත්ත වශයෙන්ම කළයුතු දේ කරන්න ඕනෙම ආණ්ඩුවක් පැකිලෙනවා. මහා බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් මේවගේ අවස්ථාවකට පිළියම් සොයන්න කටයුතු කරද්දී ඒ රටේ සමහරු කැරැලි ගැහුවා. ඒවගේ අපත් මේ සඳහා නිවැරැදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පටන්ගත් අවස්ථාවේ බොහෝ අය බාධා මතු කළා. ඒත් එදා නිහඬව වැඩ ආරම්භ කළ අප අද ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. ආණ්ඩුව තමන් විසින් ගෙවිය යුතු විශාල ණය කොටසක් ගෙවා තිබෙනවා. 2018 වන විට තවදුරටත් ගෙවීමට ඉතිරිව ඇත්තේ රුපියල් බිලියන 30ක ණය මුදලක් පමණයි. ආර්ථිකයේ මුදල් ඉපැයීම් වර්ධනය කර ඉතුරු රුපියල් බිලියන 30 හැකි ඉක්මනින් ගෙවීමට අප කටයුතු කරනවා. රටේ ආර්ථිකය සමනය කිරීමට රුපියල් බිලියන 300ක් නිදහස් කිරීමට ආණ්ඩුව කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. 2017 සිට 2019 අතර කාලයේ මේ රටේ ආර්ථිකය 0.3 සිට 1.5 දක්වා වේගයකට වර්ධනය කරන්න අපට හැකි වුණා. කෙතරම් වේදනාකාරී වුවත් මේ රටේ මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්තිය නිවැරැදි මාවතට ගෙන ඒමට ආණ්ඩුව තවත් බොහෝ පියවර ගතයුතුව තිබෙනවා. ශක්තිමත් පදනමක් ඇති කළ විට ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති ආර්ථිකය වඩාත් ඵලදායී සහ තිරසාර ලෙස ශක්තිමත් වනු ඇත' යි කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ කීවේය

ආර්ථිකය නඟාසිටුවන්න නම් ආදායම වර්ධනය කළයුතුයි, ඒ ඇරෙන්න වෙන විකල්ප නැහැ. 2018 වසරේ සිට රුපියල ස්ථාවර තැනකට ගෙන ඒමට අපට හැකි වුණා. ගම්පෙරළිය, රජයේ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් සහ අනෙකුත් සංවර්ධන වැඩකටයුතු නිසා රුපියල් බිලියන 150ක් වෙළෙඳපොළට පැමිණීමෙන් ද ඉදිරි මාසය වන විට තවත් රුපියල් බිලියන 300ක් පැමිණීමට නියමිත බැවින්ද රටේ අනාගත ආයෝජන ප්‍රවර්ධනයට විශාල මෙහෙවරක් ඉටු වනු ඇති.

අපි කලාපයේ ණය පොළිය වැඩිම රටවල්වලින් එකක්. පසුගිය කාලයේ රටේ බොහෝ ණය ලබාදීම් කර තිබුණත් ඒවා බහුතරයක් පරිභෝජන ණයයි. මේ නිසා මේ ණයවල ප්‍රතිඵල ආර්ථිකයට එකතු වුණේ නැහැ. ඒවායින් පරිභෝජනය ඉහළ ගිය නිසා ආනයනවලට වූ වියදම ඉහළ යාමෙන් විදේශ විනිමය පිටතට ගලායාමයි වැඩි වුණේ. උද්ධමනය පාලනය කිරීමට අප රජයට හැකි වී ඇති නිසා පොළී අනුපාත දැන් පහළ බසිමින් තිබෙනවා.

ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් පෞද්ගලික අංශය ශක්තිමත් කළ යුතුයි. රටේ ආයෝජන වර්ධනය වීමට මූල්‍ය පහසුකම් සුලබ වීම වැදගත් වෙනවා. මේ රටේ මුදල් විශාල වශයෙන් තිබෙන සේවක අර්ථසාධක අරමුදල වගේ තැන්වල ඇති මුදල් රටේ කොටස් වෙළෙඳපොළ වගේ ආයෝජනවලට ඇතුළත් වීමට කාලය පැමිණ තිබෙනවා. සම්ප්‍රදායික ආර්ථිකය වර්ධනය වන්නේ නැහැ, ඒ නිසා ආර්ථිකයට නව දේවල් එකතු විය යුතුයි. අපි දකුණු ආසියාවේ ඉන්දියන් සාගරයේ පිහිටි ගුණාත්මක වශයෙන් ඉහළ මට්ටමේ ආර්ථිකයක් ඇති ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් විය යුතුයි. ව්‍යාපාරික කටයුතු සඳහා කේන්ද්‍රස්ථානයක් වන අතර භාණ්ඩ හුවමාරු කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙසද අප රටේ පහසුකම් වර්ධනය කළ යුතුයි. ආර්ථික දියුණුව කරා අපට යා හැක්කේ එවිට පමණයි.

කාලගුණික විපර්යාස නිසා පසුගිය කාලයේ කෝටා අහිමි වීම්වලින් අපට බිලියන ගණන් පාඩු සිදු වුණා. සෑම දෙනාටම පහසුවෙන් වැඩ කළ හැකි නිදහස් මූල්‍ය ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. ව්‍යාපාරික ප්‍රජාවට කටයුතු පහසු කිරීම ඉතාම වැදගත් කාරණයක්.

ව්‍යාපාරිකයකු ව්‍යාපාරයක් ආරම්භ කරන විට කී තැනකින් අවසරගත යුතුයි කියලා නියම කරලා තියෙනවද? මේවා ව්‍යාපාර කරගෙන යාමට බාධාවල් බවට පත් කරන්න අවශ්‍ය නැහැ. සෑම තැනකම වැඩකරන රටාව පහසු කළ යුතුයි.

අපට තිබෙන වටිනාම සම්පත මානව සම්පත බව කී වික්‍රමසිංහ මහතා එය වැඩි දියුණු කිරීමට පියවර රැසක්ම ගන්නා බව කියා සිටියේය. මේ යටතේ රැකියා අපේක්ෂකයන්ගේ තො‍රතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම, වෘත්තීය පුහුණුව ලබාදීම සහ කුසලතා වර්ධනය කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. අපේ රටේ බොහෝ දෙනා කැමැති රජයේ රැකියාවක් කරලා විශ්‍රාම වැටුපක් ලබා ගැනීමයි. ඒත් ආයෝජනයක් කරලා උත්සාහයෙන් දියුණුවක් ලබන්න උනන්දු වෙනවා අඩුයි. අපට ඉදිරියට යන්න වෙලා තියෙන්නේ මේ මහා රජයේ සේවකයන් පිරිසත් කරපින්නා ගෙනයි.

මේ අවස්ථාවේ අදහස් පළ කළ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පෙන්වා දුන්නේ ආර්ථිකයේ පළමු අපහසු කටයුත්ත නිමවා ඇති අතර මීළඟට කළයුත්තේ 2030 ඉදිරි තැනකට පැමිණීමේ ඉලක්කය ඇතිව ඉදිරි පස් වසර ඇතුළත සිදු කළයුතු පරිවර්තනීය කටයුතු සැලසුම් කිරීම බවයි. දැනට ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4,000ක තිබීම ප්‍රමාණවත් නොවන බවත් එය ඇමෙරිකානු ඩොලර් 12,000කට ගෙන යාමට උත්සාහ කළ යුතු බවත් කී ඔහු අවම වශයෙන් කෙටි කාලයක් ඇතුළත එය ඩොලර් 10,000කට වත් ගෙනයායුතු යැයි පෙන්වා දුන්නේය. එයට අවශ්‍ය නිසි පියවර නොගෙන දැනට පවතින වේගයෙන් ආර්ථිකය ඉදිරියට ගියහොත් ඒ ඉලක්කය අත්පත් කරගැනීමට ශත වර්ෂයකට ආසන්න කාලයක් ගතවන බවත් පෙරේරා මහතා හේතු ඇතිවම පෙන්වා දුන්නේය. ලෝක ආර්ථිකය ඉදිරියේ ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නම් අපි ශ්‍රී ලාංකික සන්නාමය ඉදිරියට ගෙනයායුතු යැයි කී ඔහු මේ සඳහා ඵලදායීතාවය සහ කර්මාන්ත වර්ධනය කළයුතු අතර සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තත්, විශාල කර්මාන්ත ක්ෂේත්‍රයත්, කෘෂි සහ ආහාර කර්මාන්තයත්, ජාතික සහ යහපත් පාලනයක් ඇති කිරීමත්, මහජනතාව සහ අනාගත රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම වැදගත් වන බවත්, ආගමික, සංස්කෘතික සහ උරුමය රැකීමට පියවර ගතයුතු යැයි පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවට ආයෝජකයන් ගෙන්වා ගන්නේ කෙසේදැයි මේ අවස්ථාවේ අදහස් දැක්වූ මැලේසියානු මහකොමසාරිස් ටෑන් යෑන්ග් තායි මහතා ප්‍රකාශ කළේ ආරක්ෂණවාදී පියවරවලට වඩා වෙළෙඳපළට ව්‍යාජ අනුකරණ පැමිණීම වැළැක්වීම මෙහිදී ඵලදායී වන බව පෙන්වා දුන්නේය. නෙදර්ලන්ත තානාපතිනී ජොආන් ඩූම්වර්ඩ් පෙන්වා දුන්නේ තම රට ආර්ථික වශයෙන් ඉදිරියට ඒමට කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබාදීම, නිවස පදනම් කරගෙන රැකියාව කිරීමට අවස්ථාව උදාකර දීම වැනි පියවර රාශියක් මඟින් රටේ ශ්‍රම බළකායට කාන්තා දායකත්වය වැඩිකරගැනීම හේතු වූ බව පෙන්වා දුන්නේය.

කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොෆ්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස්, චීන තානාපති චෙන්ග් සෙයුන්, යුරෝපා සංගමයේ තානාපති ටුන්- ලායි මාර්ගු, බංග්ලාදේශ තානාපති රියාසු හමිදුල්ලා, ඉන්දුනීසියානු තානාපති ඉගුස්ටි අර්දියාසා, ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස් පීටර් මොක් සහ තුර්කි තානාපති ටුන්කා ඔසුවාදර් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවේ අදහස් දැක්වූහ. ඒ සෑම දෙනාම පොදුවේ ප්‍රකාශ කළේ රටේ සංවර්ධනය වේගවත් කිරීමට විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා විනිවිද පෙනෙන කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම වැදගත් බවයි.

බුද්ධි කරුණාරත්න
ඡායාරූප- හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න