රට ගොඩනඟන්න උගත්, බුද්ධිමත් ඔබේ හඬ අවදි කරන්න | දිනමිණ

රට ගොඩනඟන්න උගත්, බුද්ධිමත් ඔබේ හඬ අවදි කරන්න

රක්ෂණ ශ්‍රියන්ත

යහපත් සමාජයක් ගොඩනැගීමට සියලු දෙනාම කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. අපේ රටේ ඉතාමත් නරක විදියට කුලවාදය කියන එක එදත් අදත් තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයනාංශයේ සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සහ අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. එම උත්සව අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

පාඨමාලා සාර්ථකව අවසන් කළ 166 දෙනෙකු ඩිප්ලෝමා සහතික පත් ලබාගත් අතර සංකේතවත්ව 06 දෙනෙකු වෙත ජනාධිපතිවරයා අතින් සහතික පත් පිළිගැන්විණි.

එහිදී වැඩිදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

අපේ රට වර්තමානයේ වගේම අනාගතයේ මුහුණ දෙන විවිධ සමාජ, දේශපාලන ප්‍රශ්න දෙස බැලීමේ දී මේ යුගයට ගැළපෙන පාඨමාලාවක් හැදැරූ පිරිසක් සමඟ මේ වැදගත් උත්සවයට එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

කෙන්යාවේ පැවති එක්සත් ජාතීන්ගේ දෙදින ජාත්‍යන්තර පරිසර සමුළුවට සහභාගි වෙලා මම දිවයිනට පැමිණියේ පෙරේදා. මම මීට පෙර අප්‍රිකානු රටකට ගිහින් තිබුණේ නැහැ. පළමුවෙනි වතාවට තමයි අප්‍රිකානු රටකට ගියේ. ඒ දවස් තුනේ අප්‍රිකානු රටවල නායකයන් කිහිපදෙනෙක් සමඟම ඉතාම සමීප ව කතා බහ කරන්න මට අවස්ථාව ලැබුණා. අපේ රටේ සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න සහ, අප්‍රිකානු රටවල් හා බැඳි විවිධ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්නවල තිබෙන්නා වූ වෙනස්කම් පිළිබඳව ඉතාමත් සුළු අවබෝධයක් ලබා ගැනීමට මට පුළුවන්කම ලැබුණා.

මීට වසරකට පමණ පෙර මම කියවපු රුවන්ඩා රාජ්‍යයේ මහා අමානුෂික මිනිස් ඝාතනය පිළිබඳව කෘතිය නිසා ඒ රටට යන්න මගේ ලොකු ආසාවක් තිබුණා. ඔබ හුඟ දෙනෙක් රුවන්ඩා රාජ්‍යයේ මීට දශක දෙකහමාරකට එහා කතන්දරය කියවලා ඇති. මගේ ජීවිත කාලය තුළ දී මම කියවලා තිබෙන පොත්වලින් දැඩි සංවේගයට පත්වුණු කෘතියක්. මට මතකයි ඒ කෘතියේ එක තැනක කියනවා. ඒ රටේ ජීවත්වන ජන කොටස් දෙක ටුට්සි සහ හුටූ. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ප්‍රශ්න ඉතිහාසය පුරා ඇති වෙලා තිබෙනවා. අපේ රටෙත් ගෝත්‍රික ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. අදත් තිබෙනවා. අපේ රටේ ඉතාමත් නරක විදියට කුලවාදය කියන එක එදත් තිබිලා තියෙනවා. අදත් උගතුන් අතරෙත් තිබෙනවා. මට හරි පුදුමයි. ඇතැම් ආචාර්ය මහාචාර්යවරු එක්කත් කතා කරන කොට කුලය පිළිබඳව කතා කරන අය මේ රටේ තවමත් ඉන්නවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටි නියෝජ්‍ය මහලේකම්වරයෙක් මේ දිනවල විවේකයක් ගත කරන්න ලංකාවට ඇවිත් තිබෙනවා. පැය එකහමාරක් පමණ ඔහු සමඟ කතාබහ කරමින් ඉඳලා මේ ස්ථානයට පැමිණියේ. ඔහු මගෙන් ඇහුවා වසර හතරක ඔබේ පාලන කාලයේ මේ රටේ ප්‍රශ්න විසඳීම පිළිබඳ ඔබ සෑහීමට පත්වෙනව ද කියලා. මම කිව්වා සියයට පනහක් මම සතුටු වෙනවා. සියයට පනහක් අසතුටු වෙනවා කියලා. ඒවගේම ඉතාම සතුටු වෙනවා වගේම ඉතා කනගාටු වෙන දේවලුත් තියෙනවයි කියලා. ඔහු මගෙන් ඇහුවා ඔබ ඉතාම කනගාටු වෙනවයි කිව්වේ කුමක් ගැනද කියලා. මම කිව්වා ඔබ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා විදියට කටයුතු කළ කෙනෙක්. ඔබ මීට පෙර ලංකාවට පැමිණ තිබෙනවා. මම කනගාටු වෙන බරපතළම ප්‍රශ්නය මේ රටේ ජාතික සංහිඳියාව පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමේ දී උතුරේ තිබෙන කුලවාදය පිළිබඳව ප්‍රශ්නයයි කියලා. අදත් සිංහල, දෙමළ මුස්ලිම් ජනතාව අතරේ සංහිඳියාව ඇති කරනවාට වඩා ජාතික සමඟිය ගොඩනඟනවට වඩා උතුරේ ප්‍රබලම ප්‍රශ්නය තමයි කුලවාදය. ඒ නිසා උතුරේ මිනිස්සු එකතු කරන්න බැරිකම. මම නියෝජ්‍ය මහ ලේකම්වරයාට කිව්වා ළිංවලින් වතුර බොන්න ළිං වෙන් කරලා තිබෙන්නේ කුලවාදය නිසා කියලා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකා රජයේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය සතියේ නිකුත් කළ නිවේදනය පිළිබඳව මම එතුමා එක්ක කතා කළා. ඒ නිවේදනයේ එක තැනක තිබෙනවා ශ්‍රී ලංකා රජය හමුදා කඳවුරුවලට ලබා ගත් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට ඉතාමත් අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කරන්න ශ්‍රී ලංකා රජය වහාම ස්වාධීන කොමිෂන් සභාවක් පත් කළ යුතුයි කියලා. මම නියෝජ්‍ය මහ ලේකම්වරයාට කිව්වා මානව හිමිකම් කොමසාරිස්තුමිය එක්සත් ජාතීන්ගේ සංවිධානය මොනතරම් අනවබෝධයකින් ද මේ ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ කියලා. මොනතරම් වැරදි තොරතුරු පදනම් කරගෙන ද කියලා. අපි මේ වන විට සියයට අනූවක් ඉඩම් නිදහස් කර තිබෙනවා. නමුත් අපි නිදහස් කළ ඉඩම් එතැනින් එහාට ජනතාවට යන්නේ නැත්තේ ඇයි? ජනතාවට නොයන්නේ අපෙන් පහළ ඉහළ ඉන්න බලධාරීන් අපි ඉඩම් ටික නිදහස් කළාම පළාත් සභාව පළාත් ඉඩම් කොමසාරිස් ප්‍රාදේශීය ලේකම් කුලවාදය නිසා එක් එක් කුලවල අයට වටිනාකම අනුව ඉඩම් වෙන් කර දෙන්න ඒ ප්‍රදේශවල අය තීන්දු කර තිබෙන්නේ. උතුරේ කුලවාදය නිසා ඒ අයටත් වැඩ කරන්න බැහැ. ඒක නිසා ඒ මිනිස්සුන්ගේ ඉඩම් ටික ඒ මිනිස්සුන්ගේ අතට යන්නේ නැහැ. ඉඩම් ටික බෙදන කොට කුලය බලනවා. මම රුවන්ඩාව ගැන කිව්වා. 90 දශකයේ මුල් භාගයේ හුටූ සහ ටුට්සි ජාතිකයන් අතරේ ඇති වුණු ආරවුලට ඇති වුණු මහා මිනිස් ඝාතනවලට වගකිව යුත්තෝ වෙනත් බටහිර ජාතීන්.

මම එක තැනක කියෙව්වා විවාහක යුවළක් ගෙදර නිදාගෙන සිටිනවා. දරුවෝ තිදෙනෙක් ඉන්නවා. දරුවෝ තුන්දෙනාම නිදි. දරුවෝ තුන්දෙනාගේ අම්මයි තාත්තයි එක ඇඳක නිදන් ඉන්නවා. දරුවෝ ඇඳන් තුනක තුන් දෙනා නිදාගෙන සිටිනවා. රාත්‍රී දරුවන්ගේ තාත්තා නින්දෙන් ඇහැරෙනවා. තාත්තා ටුට්සි. මව හුටූ හමේ පැහැයේ පොඩි වෙනසක් තිබෙනවා. තාත්තා රෑ නින්දෙන් නැගිටලා පිහියක් අරගෙන තමන් එක්ක ඇඳේ නිදාගෙන සිටි භාර්යාවගේ බෙල්ල කපනවා. ඒවගේ සිදුවීම් අනන්තයි අප්‍රමාණයි.

මේ ඩිප්ලෝමාව හැදෑරීම මගින් ලබාගත් දැනුම භාවිතා කර යහපත් විනයගරුක සමාජශීලී රටක් හදන්න ඔබ කැපවෙයි කියලා මම විශ්වාස කරනවා. පොලීසියේ නිලධාරි මහත්වරු අතින් ඝාතනය වූවා යැයි සැක කරන රත්ගම දෙදෙනෙකුගේ ඝාතනය පිළිබඳව මේ දිනවල බොහෝ කතාබහට ලක් වී තිබෙනවා. ඒ රත්ගම දෙදෙනාගේ භාර්යාවන් දෙදෙනා සහ දරුවන් මම ගිය සතියේ ගෙන්නුවා. එක් භාර්යාවකට එක් දරුවයි. අනෙක් භාර්යාවට දරුවෝ තුන් දෙනයි. දරුවෝ තුන්දෙනා ඉන්න පවුලට ලක්ෂ පහළොවකුත්, එක් දරුවෙක් ඉන්න පවුලට ලක්ෂ දහයකුත් මම ලබා දුන්නා. දැනට මේ දෙන මුදල්වලින් පවුලේ නඩත්තුව සඳහා මොනවා හරි දෙයක් කර ගන්න කියලා. එක දරුවෙක් සිටි දරුවා වයස අවුරුදු දහයක පිරිමි දරුවෙක්. මම ඒ අයට සලකලා කන්න බොන්න දීලා සංග්‍රහ කරලා මුදල් පරිත්‍යාග කරලා දැන් එහෙනම් යන්න කියපුවහම අර අවුරුදු දහයක දරුවා මා ළඟට ආවා. මා ළඟට ඇවිත් මට ඔයාට රහසක් කියන්න තියෙනවා කිව්වා. මම නැමිලා ඔළුව පාත් කරලා ඇහුවා පුතේ මොකද්ද ඔයාට කියන්න තියන රහස කියලා. මේ දරුවා මට කිව්වා ඔයා දන්නවා නේද අපේ තාත්තා ඉන්නේ කොහෙද කියලා. අපේ තාත්තා ඔයා තියාගෙන ඉන්න තැනින් මට ගෙනැත් දෙන්න කියලා ඒ දරුවා කියනවා. මම හිතනවා මෙතන දරුවෝ ඉන්න මවුපියෝ ඉන්නවා නම් කොච්චර සංවේදී වෙනව ද කියලා. ඒ දරුවා එහෙම අහපුවහම. මම නිහඬ වුණොත් මේ පුංචි දරුවා ගෙදර ගිහිල්ලත් නැත්නම් හම්බවෙන අයටත් කියයි. අපි ජනාධිපති මාමාට කිව්වා අපේ තාත්තා හොයලා දෙන්න කියලා. එයා ගාව ඉන්න නිසා .එයා මුකුත් කිව්වේ නැහැ කියලා. ඒ නිසා මම ගත් කටටම කිව්වා පුතේ ඔයාගේ තාත්තා ඉන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. මාත් හොයනවා කියලා. මම හොයා ගත්තොත් මම ඔයාලට කියන්නම් කියලා කිව්වා. මේ සිදුවීම් මගින් ඔබට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් වගේම එයින් ලැබෙන ප්‍රායෝගික දැනුමත් එක්ක සමාජයට මහා සුවිශාල වූ කාර්යයක් ඉටු කරන්න පුළුවන් කියලා මම හිතනවා.

අද අපේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සියදිවි නසාගැනීම්. එහි වාර්තා ගත තත්ත්වය ඔබ ඇහුවොත් පුදුම වෙයි. සමහර වාර්තා එළියට දෙන්න තරම් සුදුසු තත්ත්වයේ නැහැ. ලංකාවේ පාසල්වලින් බාලිකා පාසල්වල සියදිවි නසාගැනීම් පිළිබඳව ලැබෙන වාර්තා හරිම අනුවේදනීයයි. හරිම ඛේදජනකයි. පසුගිය දවසක කොළඹ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ගැහැනු දරුවෙක් සියදිවි නසා ගත්තා. ඒ දරුවාගේ තාත්තත් අම්මත් දෙන්නම ගුරුවරු. මේ සියදිවි නසා ගැනීමේ දී මම ඒ දරුවන්ගේ මවුපියෝ එක්කත් හොඳට කතා කළා .දරුවා සිය දිවි නසා ගත්තේ ඇයි කියන කාරණාව ගැන දැනගන්න ඕනෑ නිසා. මේ පවුලේ එකම දරුවා. මේ ගැහැනු දරුවා සාමාන්‍ය පෙළ විභාගය පාස් වුණු වෙලාවේ ඒ සතුටට දරුවට ගෙනැත් දුන්නේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකථනයක්. මාස කිහිපයක් යන විට අම්මටයි තාත්තාටයි දැනුණා මවුපියෝ එක්ක කතා බහ කරනවාට වැඩිය දරුවා කාමරය ඇතුළේ ඉන්නේ. ෆෝන් එකේ තමයි වැඩිපුර ඉන්නේ කියලා. කිහිප ගමනක් අවවාද කෙරුවා. සිද්ධිය වුණු දවසේ මේ දරුවා අම්මා එක්ක තාත්තා එක්කත් කතා කරන්නේ නැතිව, කෑම කන්න එන්නයි කිව්වම කෑම කන්නෙත් නැතිව කාමරයට වෙලා ෆෝන් එකේ ඉන්නවා. ඊටපස්සේ තාත්තා ගිහිල්ලා දරුවට හොඳටම සැර වෙලා ෆෝන් එක උදුර ගත්තා. උදුරගෙන තාත්තා කාමරයෙක් එළියට ආවා. මේ ගැහැනු දරුවා තාත්තා ෆෝන් එක උදුරගෙන ගියාට පසු ව එයා සිටි කාමරයේ දොර වේගයෙන් තදින් වසා තිබෙනවා. ඒ අම්මයි තාත්තයි කියනවා වෙනදටත් අපිත් එක්ක පොඩි කතා බහක් වුණාම දුව කරන්නේ කාමරයට ගිහිල්ලා හයියෙන් දොර වහ ගන්න එක කියලා. ඉතින් අපි හිතුවා ඒ වගේ ඊයෙත් දොර වහගන්න ඇති කියලා. පහුවදා උදේ පාසල් යන්න කියලා දරුවා එයි කියලා බැලුවා නැහැ. දොර අරින්න හැදුවා බැහැ. දොරට ගහලා දොර කඩපුවම දරුවා එයාගේ කාමරයේ ගෙල වැලදාගෙන .

ෆෝන් එකක් අරන්දීම ගැන අම්මයි තාත්තයි දෙන්නම හොඳටම පසු තැවුණා. මේ ජංගම දුරකථනය නිපැයූ ඒ විද්‍යාඥයා කළ සේවය ඔබ දන්නවා. අපිට මේ වගේ බොහෝ දේ කතා කරන්න පුළුවන්. මේ වගේ කතන්දර හුඟක් කියන්න පුළුවන්. මහාචාර්යතුමාලා මත්ද්‍රව්‍ය පිළිබඳව කිව්වා.

මේ සතිය ත්‍රිපිටකාභිවන්දනා සතිය විදියට අපි ප්‍රකාශයට පත් කර තිබෙනවා. 17 වැනිදත් 23 වැනිදත් අතරේ ත්‍රිපිටකය පිළිබඳව රටේ ජනතාව දරුවන් සමාජය වඩ වඩා දැනුවත් කරන්නත් එය ලෝක උරුමයක් කිරීම සඳහා 23 වැනිදා යුනෙස්කෝ ආයතනයට යෝජනාව භාරදීමේ ඒ කටයුතු පිළිබඳවත් ඒ පවත්වන උත්සවයත් සමඟ අපි මේ සතිය ත්‍රිපිටකාභිවන්දනා සතිය බවට ප්‍රකාශ කර තිබෙනවා. විනය, සූත්‍ර අභිධර්ම පිළිබඳව අපි කොතරම් අහලා තිබෙනව ද? කොතරම් කතා කර තිබෙනව ද? නමුත් මේ බෞද්ධ රටේ අනිකුත් මුස්ලිම් දමිළ ක්‍රිස්තියානි ඒ සහෝදර ජනතාවත් සමඟ ජීවත්වන රටේ මොනතරම් අපරාධ රැල්ල ඉහළට යනව ද? සිය දිවි නසා ගැනීම් කොච්චර වැඩි වෙනව ද? මත්ද්‍රව්‍ය ප්‍රශ්නය මොනතරම් බරපතළ සමාජ අභියෝගයක් බවට පත් වෙලා තිබෙනව ද? මේ සියල්ලත් එක්ක යහපත් සමාජයක් ගොඩනගන්න අපි කැපවෙන්න ඕනෑ.

පසුගිය සති දෙකක කාලය මම අලුතෙන්ම විවේචනවලට ලක් වෙනවා. කොහොමටවත් දවසේ එක තත්ත්පරයක්වත් මොබයිල් ෆෝන් එකක් මගේ අතේ නැහැ. මම සමාජ වෙබ් අඩවි බලන්නෙත් නැහැ. නමුත් මට පැය 24 කට සැරයක් රාජ්‍ය බුද්ධි අංශය සියලුම වාර්තා එවනවා. මම ඒක පෙරළලා බලනවා. ඒකේ තිබෙන කරුණුවලදි පසුගිය සති දෙකේ මම වෙනසක් දැක්කා. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සමාජ වෙබ් අඩවිවල දැඩි විවේචනයට ලක් කර තිබුණා. මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳව ගෙනියන වැඩපිළිවෙළ පිළිබඳව සෝෂල් මීඩියා හරහා බරපතළ විවේචන සහ ප්‍රහාර එල්ල කර තිබුණා. ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න අපි ගන්න උත්සාහයත් වැරදියි කියලා කියන්නේ.

මම අර හැමවේලෙම කියනවා වගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස දෝරේ ගලා යෑමක් තිබෙන නිසා ඒකෙන් ඉස්මතු වෙන කටු අකුල් තමා මේ දකින්නේ. ඉතින් ඒ නිසා අපිට ඔබේ අද දවසේ දැනුම රට වෙනුවෙන් හෙට දවස සඳහා රාජ්‍ය සේවයේ ද රාජ්‍ය නොවන විවිධ ක්ෂේත්‍රවල ද වෘත්තිකයන් , විද්වතුන් උගතුන් බුද්ධිමතුන් බහුශ්‍රැතයන් විශාරදයන් මේ සියලුදෙනාගේම එකතුවෙන් යහපත් රටක් ගොඩනගන්න ඕනෑ. එහිදී මා දකින ප්‍රබල ප්‍රශ්නයක් තමයි මාටින් ලුතර් කිං කියූ අපේ රටෙත් බොහෝ මිනිසුන්ගේ මහා ඝෝෂා හඬත් උගත්, බුද්ධිමතුන්ගේ නිහඬතාවත් මේ රට ගොඩනඟන්න බරපතළ අභියෝගයක් වෙලා තිබෙනවා කියන කාරණාව.

උගත් බුද්ධිමත් ඔබ පුහු ඝෝෂාකාරීන්ගේ නඟන හඬට රට යට කරන්නේ නැතිව මේ රට ගොඩනඟන්න ඔබේ හඬ වඩ වඩා අවදි කරන්නයි කියන ගෞරවනීය කාරුණික ඉල්ලීම කරනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා-

මේ ගෙවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හැට වන වසරයි. හැට වන වියට පා තැබීම ගැන අප ඉතා ආඩම්බර වෙනවා. වර්ෂ 1873දී දකුණු ආසියාවේම බුද්ධිමතා ලෙස සලකන හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් විද්‍යෙයා්දය පිරිවෙන සාමනේර හිමිවරුන් හත් දෙනෙකුගෙන් ආරම්භ කළා. උන්වහන්සේ නිදහස් සටන තුළ ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ විශාල ලෙස සැලකුවා. නූතන ලංකාවේ ශාස්ත්‍ර උන්නතිය විද්‍යෝදය පිරිවෙණයි. අද ලංකාවේ ලොකුම විශ්ව විද්‍යාල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. අපේ බලාපොරොත්තුව යමක් දරුවන්ට ලබාදෙන්න යහපත් සමජයක් උදෙසා. අපිත් එක්ක පෙළ ගැසෙන්න මේ රට දියුණු සංවර්ධන රටක් කරා ගෙන යන්න. මට තිබෙන ගැටලුවලින් එක් ගැටලුවක් තමයි මත්ද්‍රව්‍ය ගැටලුව. අපේ දරුවන්ට මත්ද්‍රව්‍ය හුරු කරවන්න නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින්න පැමිණෙන පුද්ගලයා හඳුනා ගන්න ඉතා අපහසු ආකාරයටයි පැමිණෙන්නේ. සමහර විට ඔහු විශ්ව විද්‍යාලයේ ටී ෂර්ට් එකකින් සැරසී එන්නත් පුළුවන්. අපේ රට මත් රකුසාට බිලි වීමෙන් වළක්වා ගැනීමට ජනාධිපති ගන්නා උත්සාහය ඉතා අගය කරනවා. මේ රට මත් රකුසාට බිලිවීමට දුන්නොත් අප මේ කරන කාර්යයෙන් කිසිදු වටිනාකමක් නැහැ. අප්‍රේල් මස දෙවන දින මේ ස්ථානයේම අපේ දරුවන්ගේ නව නිපයුම් 130ක ප්‍රදර්ශනයක් පවත්වනවා. ඒ නව නිපයුම් ලෝකයටම යා යුතු ඒවායි. එම ප්‍රදර්ශනය අප පාසල් දරුවන්ට නොමිලේ පවත්වනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, මානව සම්පත් හා සමාජ විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය ජී.පී.එන් චන්ද්‍රකුමාර, මහචාර්ය මයුර සමරකෝන්, මහාචාර්ය ඩබ්ලිව්.එස්. වි ජේකෝන්, මහාචාර්ය ප්‍රණිත් අබේසුන්දර මහත්වරුන් ඇතුළු විද්වත් පිරිස් සහ විද්‍යාර්ථීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූප - සුදත් මලවීර සහ ජනාධිපති මාධ්‍ය ඒකකය


නව අදහස දක්වන්න