දරුවන්ගේ රාජකාරි කරන රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ | දිනමිණ

දරුවන්ගේ රාජකාරි කරන රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ

අනාගත ලෝකයේ අභියෝග ජයගත හැකි යහගුණ හා නුවණ කැටිවුණු ශක්තිමත් දරුවකු දැයට තිළිණ කිරීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙයවන දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන වෙනුවෙන් දරුවන් සම්බන්ධ රාජකාරි ඉටුකරනු ලබන රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (18) පුත්තලම නගර ශාලාවේ දී පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ වැඩසටහනට පුත්තලම දිස්ත්‍රික්කයේ ළමයින් පිළිබඳව ක්‍රියාකාරි රාජ්‍ය ආයතනවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්, දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරින්, පොලිස් නිලධාරින්, මුල් ළමාවිය සම්බන්ධ නිලධාරින්, ළමා හිමිකම් නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් ඇතුළු හාරසියයකට (400) ආසන්න නිලධාරින් පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වූහ. මෙහිදී “වත්මන් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන සුරක්ෂිත පරිසරයක ජීවත්වන ළමා පරපුරක්” යන මාතෘකාව යටතේ ළමා සංවර්ධනය පිළිබඳව ස්නායු මනෝවිද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳව චතුර අබේරත්න, චමින්ද වීරසිරිවර්ධන වෛද්‍යවරුන් විසින් මෙහිදී රාජ්‍ය නිලධාරින් දැනුවත් කරන ලදී.

ළමා සංවර්ධනය හා ආතති කළමනාකරණය, ළමා වියේ අවදානම් සාධක සහ දරුවන්ගේ පෝෂණය හා ශාරිරික වර්ධනය යන විෂයයන් යටතේ පිළිබඳව විද්වතුන් රැසක් මේ වැඩසටහනේදී අදහස් දැක්වූ අතර විශේෂයෙන් පූර්ව ළමාවියේ සිට දරුවන්ට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම, සෙනෙහස, ආදරය හා රැකවරණය ලබාදීම වැඩිහිටි පරම්පරාවේ වගකීම බව වෛද්‍ය චතුර අබේරත්න මහතා මෙහිදී අවධාරණය කළේය. සංවර්ධනය යන්න රටකට අවශ්‍ය සාධකයක් වූවත් භෞතික සංවර්ධනය තුළින් පමණක් සමාජයක් ඉදිරියට ගෙන යා නොහැකි බව මෙහිදී පෙන්වා දුන් හෙතෙම මානව සම්පත් සංවර්ධනය මඟින් සමාජයේ බොහෝ ගැටලුවලට පිළියම් සෙවිය හැකි බව ද අවධාරණය කළේය.


නව අදහස දක්වන්න