කුණුවලට විද්‍යාත්මක විසඳුමක් දෙනකොට ඇතැමුන් බොරු විරෝධතා කරනවා | දිනමිණ

කුණුවලට විද්‍යාත්මක විසඳුමක් දෙනකොට ඇතැමුන් බොරු විරෝධතා කරනවා

කුණු කඳු ගොඩගැහෙද්දී, මීතොටමුල්ලේ 33ක් මැරෙද්දි, විරෝධතා කරන්න බැරි වූ අය කුණු සඳහා විද්‍යාත්මක විසඳුමක් දෙනකොට බොරු විරෝධතා පවත්වන බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා දඹුල්ල මෙගා මයින්ඩ්ස් වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

‘නාගරිකරණයේ ප‍්‍රශ්න, ගංවතුර, කැළි කසළ, වාහන තදබදය, පැල්පත්, ඩෙංගු. අපේ නාගරිකරණයේ තිබූ දෙයක් තමයි ජනප‍්‍රිය මතවාද. ජනපි‍්‍රිය මතවාද තමයි මල්පොච්ච් තියලා, පාරවල් හදලා පේමන්ට් හදලා එතකෙට නගරය ලස්සනයි. කොළඹ නගරයේ යටින් පානීය ජලය ගෙනයන නළ අවුරුදු 150 ක් පරණයි. ඒක හදන්න කවුරුත් නැහැ. මළපවාහන පද්ධතිය අවුරුදු 150ක් පරණයි. ඒක හදන්න කවුරුත් නැහැ. ඒ වගේම වැසිජලය ගෙන යන එකත් ඒ වගේම පරණයි. කනගාටුයි කියන්න කොළඹ නගරයේ මළපහයි වැසි ජලයයි දෙකම එකම නළ පද්ධතියෙන් ගෙන යන්නේ. මේක අපි හදන්නේ නැහැ. ඒ වෙනුවට මල් පෝච්චි තියලා ලස්සන කරනවා. නගරය පිරිසුදු කරල මීතොටමුල්ලේ කුණු කන්දක් හදනවා. ප‍්‍රශ්නේ විසඳන්නේ නැහැ. විසඳන්න යන හැම වෙලාවෙම පටන් ගන්නවා කොළඹ කුණු අපට එපා කියලා උද්ඝෝෂණ. කුණු කඳු ගොඩ ගැහෙනවා. මිනිස්සු ඒවට යට වෙනවා. මට හරිම කනගාටුයි කියන්න මේ ආගමික නායකයෝයි, අනෙක් අයයි හැමදෙනාම මේ ප‍්‍රශ්නේ ඉතාම බාල දේශපාලන ප‍්‍රශ්නයක් කරගෙන. මේ ප‍්‍රශ්නේ අපට විසඳන්න දෙන්නේ නැහැ.

නමුත් කොළඹ කුණු ගොඩ ගැහුණා මීතොටමුල්ලේ. ගොඩ ගැහිලා ඒ ප‍්‍රශ්නේ විසඳගන්න බැරි වුණාම 2017 අපේ අමාත්‍යාංශයට ආවා. අපි කොළඹ නගරයේ කසළ එකතු කිරීම විධිමත් කළා. කසළ වෙන්කර බාරගත්තා. අද කොළඹ නගරයේ කසළ 90% ක් වෙන් කර එන්නේ. කෙරවලපිටියට යන සෑම දිරායන කසළ බිඳක්ම කොම්පෝස්ට් වෙනවා. ඒ වගේම වසරකට මිලියන 600ක්, දශලක්ෂ 600 ක් ලැබෙනවා .කොළඹ නගරයේ තිබෙන දිරා නොයන කසළ ප්ලාස්ටික් පොලිතින් කඩදාසි ආදියෙන් අද ඒක විධිමත් කර තිබෙන්නේ. ඒ වගේම කොළඹ කසළවලින් බලශක්තිය නිපදවන ව්‍යාපෘතියක් අපි කි‍්‍රයාත්මක කර තිබෙනවා. මම හිතන්නේ ඒක මේ වසරේදී ක්‍රියාත්මක කළ හැකියි.

ඒ වගේම කාගෙත් විරෝධතා තිබුණත් අපි අරුවක්කාලූවේ හැදුවා. අවුරුදු 80 ක් ඕනෑනම් මේ මුළු ලංකාවෙම කසළ ගෙනයන්න පුළුවන් කසළ අංගනයක්. දැන් ඒකට විරුද්ධව විරෝධතා කරනවා කියලා තිබෙනවා. මම ඒ ගැන කනගාටු වෙනවා විතරයි. කුණු කඳු ගොඩගැහෙද්දි, මීතොටමුල්ලේ 33 දෙනෙක් මැරෙද්දි විරෝධතා පවත්වන්න බැරි වූ අය ඒකට විද්‍යාත්මක විසඳුම දෙනකොට පාරට එනවා. මේ බාල දේශපාලනය අපි පැරදවිය යුතුයි. ඔය බොරු විරෝධතාකරුවෝ කවුරුවත් මීතොටමුල්ල මිනිස්සුන්ගේ මළගෙවල්වල ගියේ නැහැ. මේක විද්‍යාත්මක විසඳුමක් තිබෙනවා. ඕනෑ කෙනෙකුට ගිහින් බලන්න පුළුවන් දොම්පේ සනීපාරක්‍ෂක කසළ අංගනය. මාරාන්තික උපවාස කළා, හර්තාල් කළා .මට විරුද්ධව. එම කසළ රඳවනය හදනවාට. හැබැයි අද ඒක විතරයි ලංකාවේ තිබෙන එකම විද්‍යාත්මක කසළ රඳවනය. ඒක නිසා විද්‍යාත්මක ක‍්‍රමයට ඉඩ දෙන්න. කොළඹ ඩෙංගු සම්පූර්ණයෙන් මර්දනය වුණා. අපි අරගෙන සති දෙකෙන් ඩෙංගු බිංදුවට බැස්සුවා. එක ඩෙංගු රෝගියෙක් මැරුණේ නැහැ, ඊට පස්සේ කොළඹ නගරයේ. කොළඹ නගරය පාලනය කළා නම් ලංකාවේ අනෙක් ඕනෑම නගරයක් පාලනය කළ හැකියි.

එසේම පාරේ උද්ඝෝෂණය නොකර පිරිසුදු පුත්තලමක් නිර්මාණය කර ගැනීම පුත්තලම කුණු කසළ තැන තැන කැලෑවල නොදමා අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ අංගනයට භාර දී මාස 03 ක කාලයක් එසේ සිදු කර විවිධ පාර්ශ්වයන් පතුරුවන කට කතාවල සත්‍ය අසත්‍යතාව බලා පිරිසුදු පුත්තලමක් බිහිකර ගැනීමට කැපවෙමු.


නව අදහස දක්වන්න