සංචාරක ආකර්ෂණයට වයිස්රෝයි... | දිනමිණ

සංචාරක ආකර්ෂණයට වයිස්රෝයි...

යුරෝපා ධනවත් සංචාරකයන්ගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රවාහන සේවයට එක්කර තිබෙන වසර අනූඑකක් පැරණි ගල් අඟුරු බලයෙන් ක්‍රියා කරන බී 2 බී 213 වයි‍ස්රෝයි ස්පෙෂල් දුම්රිය 2019.03.19 දින හදිසියේ ගම්පහ ප්‍රධාන දුම්රිය ස්ථානයේ නතර කළෙන් එය දැකබලා ගැනීම පිණිස විශාල පිරිසක් ඒකරාශීවිය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ 1858 අගෝස්තු මස 03 වෙනි දින නැන්රි මෝඩ් ආණ්ඩුකාරතුමා කොළඹ - නුවර දුම්රිය මාර්ගය තැනීම සඳහා ප්‍රථම පස් පිඩැල්ල කැපීය. ශ්‍රී ලංකාවේ පළමුවන වරට දුම්රියක් දුවවන ලද්දේ 1864 දෙසැම්බර් මස 27 වෙනිදාය. එදින ලංකාවට පැමිණි බැල්ජියමේ ඔටුන්න හිමි කුමාරයා වූ බ්‍රැබන්ටිහි ආදිපාදතුමා රැගත් විශේෂ දුම්රියක් කොළඹ සිට අඹේපුස්ස දක්වා ගමන් කළේය. 1867දී කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මග සාදා අවසන්වූ හෙයින් කොළඹ හා නුවර අතර දුම්රිය ගමනාගමනය ආරම්භ වූයේය.

ඒ මුල් යුගයේ කොළඹ - මහනුවර දුම්රිය මාර්ගයේ ධාවනය වූයේ ගල් අඟුරු දුම්රියයන් ය. කාර්මික හා තාක්ෂණික ලෝකයේ දියුණුවත් සමඟ ගල් අඟුරු දුම්රිය වෙනුවට ඉන්ධන බලයෙන් ක්‍රියා කරන දුම්රිය බලවේග කට්ටල දුම්රිය ධාවනයට පසුව එක්විය.

පසු කාලයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයකුව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත යුරෝපා ජාතීන්ගේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වූ ගල් අඟුරු දුම්රිය යුරෝපා ධනවත් සංචාරකයින්ගේ ගමන් පහසුව සඳහා යෙදවීමෙන් සංචාරක කර්මාන්ත‍යත් දියුණු වී රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට හැකි බව තේරුම් ගෙන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ජේ. එෆ්. ටුවර්ස් ආයතනය එක්කර මෙම ගල් අඟුරු දුම්රිය සංචාරකයින්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා එක්කර ඇත.


නව අදහස දක්වන්න