මොරටු විදුහල-ශ්‍රී සුමංගල රන් හටන අද-හෙට | දිනමිණ

මොරටු විදුහල-ශ්‍රී සුමංගල රන් හටන අද-හෙට

මොරටු මහ විදුහල් පිල: ඉදිරි පෙළ (වමේ සිට)- ප්‍රසන්න දිසානායක (පුහුණුකරු), නිශාන් මධුෂ්ක (නායක), හේමසිරි අදාවුදගේ මයා (විදුහල්පති), නදිත් විසේන්ද්‍ර (උප නායක) සහ රසික චමින්ද (ක්‍රිකට් භාර ආචාර්ය), මැද පෙළ (වමේ සිට)- චමල්ක පුෂ්පකුමාර, ඒරාන් හංසමාල්, දිල්ෂාන් දිලක්‍ෂණ, මධුෂාන් දිලංක්‍ෂණ, රෂාන් කවිෂ්ක, ජනිත ස්වෙමිත්, නිරාජ් කවිෂ්ක, විශ්ව දිදුලන සහ අවන්ත සුලක්‍ෂණ, පසු පෙළ (වමේ සිට)- දමිත් පුෂ්පකුමාර, මහිත් මෙත්දිනු, හෂාන් ආදිත්‍ය, චතුල භාග්‍ය, මධුර ගිම්හාන, විනුර නිපුන්, සුකිත දෙව්තිළිණ සහ තුෂාන් නිමන්ත

මොරටු විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන රන් හටන මහා ක්‍රිකට් තරගය 67වැනි වරටත් අද (22) සහ හෙට (23) දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මීට සමගාමීව පැවැත්වෙන 27 වැනි එක්දින තරගය 24 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

1934 වසරේ ආරම්භ වී ඇති ශ්‍රී සුමංගලෙ-මොරටු මහා විද්‍යාල රන් හටන මේ වන විට තරග 66ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක් ශ්‍රී සුමංගල විද්‍යාලය ජයගෙන තිබේ. තරග 7ක ජය මොරටු විද්‍යාලය සතුකරගෙන සිටී. 1956 වසරේදී පළමු ජයග්‍රහණය මොරටු විද්‍යාලය වාර්තා කිරීමට සමත්ව ඇති අතර 1962 වසරේදී ශ්‍රී සුමංගල විද්‍යාලය පළමු ජය වාර්තා කිරීමට සමත්ව තිබේ. 2007 වසරේදී මොරටු විද්‍යාලය අශේන් කල්හාරගේ නායකත්වයෙන් අවසන් වරට මේ තරගය ජයගෙන තිබේ.

වසර 110 පැරණි ශ්‍රී සුමංගල විද්‍යාලයට නායකත්වය දෙන්නේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ක්‍රීකට් ක්‍රීඩාවට ඉමහත් සේවයක් කළ එමෙන්ම ශ්‍රී සුමංගල විද්‍යාල කණ්ඩායමට 1981 වසරේදී නායකත්වය දුන් සමන් කුමාර මහතාගේ පුතෙකු වන ජනිඳු ඉදුවරයි. මොරටු මහා විද්‍යාල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ 19න් පහළ ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කරන නිශාන් මධුෂ්කයි.

මෙවර පාසල් තරග වාරයේ තරග 14කට සහභාගි වී ඉන් තරග 4ක් ජයගෙන ඇති මොරටු විදුහල අනෙක් තරග ජය පරාජයෙන් තොරව නිමාකර ගෙන තිබේ.

තරග 13කට එක්ව ඇති සුමංගල ක්‍රීඩකයෝ තරග හයක් ජයගෙන තරග තුනක් පරාජය වී ඇති අතර තරගක් විසඳුමකින් තොරව නිමාකරගෙන ඇත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජයගත් අජන්ත මෙන්ඩිස් මොරටු මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් කෞෂාල් සිල්වා, කිත්රුවන් විතානගේ, ඕෂධ ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ මුලකුරු කී ක්‍රීඩකයන් වෙති.

මෙවර තරගය සඳහා සිවුවැනි වරටත් ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කරයි.

ගීෂා මුණසිංහ
ඩිල්වින් මෙන්ඩිස් - මොරටුව ක්‍රීඩා


නව අදහස දක්වන්න