වේල්ස් කුමරුවෝ එක්දින සටන දිනති | දිනමිණ

වේල්ස් කුමරුවෝ එක්දින සටන දිනති

නිරෝෂාන් ප්‍රියංකර
ඩිල්වින් මෙන්ඩිස්

මොරටුව වේල්ස් කුමර විදුහල සහ සාන්ත සෙබස්තියන් විදුහල අතර හැටනවවැනි වරට පැවැති ‘මොරටු රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

මීට සමගාමීව දෙපිල අතර 34 වැනි වරට පැවැති එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 5ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන් මේ තරගයේ ජය වාර්තා කළේ වසර 5කට පසුවවීම විශේෂත්වයකි. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ 2013 වසරේ වේල්ස් කුමර විදුහල අවසන් වරට එක්දින තරගය ජයගෙන තිබිණි.

මොරටු ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සා.සෙබස්තියන් ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 218ක් රැස්කළ අතර එම වර්ෂාවෙන් බාධා වීම නිසා තරගය නතර කරනවිට එම ඉලක්කය හඹාගිය වේල්ස් කුමර පිල ඕවර 39.2කදී කඩුලු 6ක් දැවී ලකුණු 169ක් රැස්කර තිබිණි. තරගයේ ජයග්‍රහණය සඳහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඔවුන් ඒවනවිට ලබාගත යුතුව තිබුණේ ලකුණු 164ක් පමණි.

දෙදින තරගයේදී දස්කම් දැක්වූ සා.සෙබස්තියන් නායක නුවනිඳු ප්‍රනාන්දු මේ තරගයේදී ලකුණු 76ක් රැස්කළ අතර ජනිශ්ක පෙරේරා ලකුණු 54ක් රැස් කළේය. පන්දු යැවීමේදී විනුජ රනපුල් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. නායක සුවත් මෙන්ඩිස් ලකුණු 43ක්, තරිඳු අමරසිංහ ලකුණු 36ක් සහ කුසල් මෙන්ඩිස්ගේ සොයුරු ඔමේෂ් මෙන්ඩිස් ලකුණු 34ක් වේල්ස් කුමර ඉනිමට එක් කළහ.

දෙපිල අතර දෙදින තරගය රන් සටනේ ඉතිහාසයට එක්වූයේ ජය පරාජයෙන් තොරව නිමාවූ 60 වැනි තරගය ලෙසිනි. මේ තරගය අවසන් වරට විසඳුමක් සහිතව නිමාවී ඇත්තේ වසර 2011දීය.

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් සා.සෙබස්තියන් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහලට පළමු ඉනිමට ලකුණු 194ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෙබස්තියන් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී තිබියදී ඉනිම අත්හිටවූයේ ලකුණු 220ක් ලබා සිටියදීය. තරගය නිමාවනවිට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන වේල්ස් කුමරුවෝ කඩුලු 3ක් දැවී ලකුණු 51ක් රැස්කර තිබිණි. කෙසේ වෙතත් තරගයේ පළමු ඉනිමේ ජය සාන්ත සෙබස්තියානුවන් සතුවුහ.

සාන්ත සෙබස්තියන් පිල වෙනුවෙන් ශතකයක් රැස්කරමින් හා පන්දු යැවීමෙන් කඩුලු 4ක් බිඳ දැමූ නුවනිඳු ප්‍රනාන්දු තරගයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත් අතර දක්ෂතම පිතිකරු ලෙස වේල්ස් කුමරයේ සුවත් මෙන්ඩිස් (ලකුණු 78) සහ එම විද්‍යාලයේ දේවක පීරිස් දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන දිනා ගත්හ.

 


නව අදහස දක්වන්න