‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ කැරම් ආධිපත්‍ය ගුවන් හමුදාවට | දිනමිණ

‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ කැරම් ආධිපත්‍ය ගුවන් හමුදාවට

නිරෝෂාන් ප්‍රියංකර
සුපිරි අට දෙනා අතරට එක්වූ ක්‍රීඩකයෝ: ඉදිරි පෙළ (වමේ සිට)- උදේෂ් චන්දිම, ෂහීඩ් හිල්මි, දිනෙත් දුලක්‍ෂණ, හසිත අනුරුද්ධ, පසු පෙළ (වමේ සිට)- නිශාන්ත ප්‍රනාන්දු, අනස් අහමඩ්, එවෝන් වික්‍රමසිංහ, එම්. ෂෙරිෆ්ඩීන්.

කැරම් මේසයේ දක්ෂතමයන් උදෙසා ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධාන කළ ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ කැරම් ශූරතාවලියේ ආධිපත්‍ය පැතිරවීමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. එහි පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේශ චන්දිම පෙරේරා සමත් වූ අතර ගුවන් හමුදාවේම චලනි ලක්මාලි ලියනගේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය.

එමෙන්ම සුපිරි ක්‍රීඩකයන් අටක් හා ක්‍රීඩිකාවෝ 8ක් තෝරා ගැනීම සඳහා පැවැති මේ තරගාවලියේදී පිරිමි කණ්ඩායමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ 4ක් සහ ක්‍රීඩිකාවක් ඇතුළත්වූ අතර යුද හමුදාවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 5 දෙනකු ඇතුළත් වූහ.

කොහුවල කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැති තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගයේ පසුගිය වසරේ ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ ශූරතාව සහ නිමාවු ජාතික ශූරතාවලියේ කිරුළ දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඩ් හිල්මි පරාජය කිරීමට උදේශ්ට හැකිවිය. පළමු වරට මේ ශූරතාව දිනාගත් උදේශ් තරගය නිමාකළේ වට 2-1ක් ලෙසනි. ලකුණු තත්ත්වය වූයේ 25/07, 15/25, 25/23කි.

උදේශ් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී හිටපු ලෝක කැරම් ශූර නිශාන්ත ප්‍රනාන්දු තරග වට 2-1කින් පරාජය කිරීමද කැපී පෙනුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොෂිටා පරාජය ලකුණු 25/00, 25/24ක් ලෙස වට 2-0කින් පරාජය කරමින් හයවැනි වරටත් ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ ශූරිය වීමට චලනි ලක්මාලිට හැකිවූවාය. චලනි නිමාවු 51 වැනි ජාතික කැරම් ශූරතාවලියේදී ද්විත්ව ශූරතා දිනාගත් ක්‍රීඩිකාවකි.

මේ තරගාවලියේදී ‘ස්ලෑම්’ (ප්‍රතිවාදී තරගකරුට අවස්ථාවක් නොදී තරග වාරයක් නිමා කිරීම්) අවස්ථා ප්‍රමාණය 11ක් වාර්තා විය. එහිදී ෂහීඩ් හිල්මි (3), නිශාන්ත ප්‍රනාන්දු (2) ‘ස්ලෑම්’ වාර්තා කළ අතර උදේෂ් චන්දිම, සුරාජ් මධුවන්ත, අනාස් අහමඩ්, දිනෙත් දුලක්‍ෂණ, ප්‍රමේද මෙන්ඩිස් සහ ජෝශප් රොෂිටා ‘ස්ලෑම්’ එක බැගින් වාර්තා කළහ.

මේ ශූරතාවලිය සඳහා නිමාවූ ජාතික කැරම් ශූරතාවලියෙන් පසු ශ්‍රේණිගත කරන ලද කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 23දෙනකු සුදුසුකම් ලබා සිටියහ.

මේ තරගාවලියේදී ලබාගත් ශ්‍රේණිගත ලකුණු අනුව පිරිමි හා කාන්තා සුපිරි කැරම් ක්‍රීඩකයන් අට දෙනා සිය ජයග්‍රහණයන් තහවුරු කරගත් අනු පිළිවෙළ මෙසේය.

පිරිමි

1.උදේෂ් චන්දිම පෙරේරා (ගුවන්), 2.ෂහීඩ් හිල්මි (කොළඹ රාජකීය), 3.දිනෙත් දුලක්‍ෂණ (ගුවන්), 4.හසිත අනුරුද්ධ (ගුවන්), 5.නිශාන්ත ප්‍රනාන්දු (නාවික), 6.අනස් අහමඩ් (යුද), 7.එවෝන් වික්‍රමසිංහ (ගුවන්), 8.එම්. ෂෙරිෆ්ඩීන් (යුද)

කාන්තා

1. චලනි ලක්මාලි ලියනගේ (ගුවන්), 2.ජෝශප් රොෂිටා (නාවික), 3. එම්. චිත්‍රාදේවී (යුද), 4.මධුවන්ති ගුණදාස (යුද), 5.රෙබෙකා ඩැල්රින් (යුද), 6.මධුකා දිල්ශානි (යුද), 7.තස්මිලා කාවින්දි (නුගේගොඩ මහාමායා බාලිකා), 8.සසිකා සඳමාලි (යුද)

නව අදහස දක්වන්න