ඉතිහාසයේ මුල් වරට යාපනයේ මෝටර් රථ ධාවන තරගයක් | දිනමිණ

ඉතිහාසයේ මුල් වරට යාපනයේ මෝටර් රථ ධාවන තරගයක්

මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ නිම්වළලු පුළුල් කරමින් ඉතිහාසයේ මුල් වරට යාපනය අර්ධදීපය කේන්ද්‍ර කොටගෙන මෝටර් රථ ධාවන තරගයක් සංවිධානය වෙයි. ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය, යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමය හා යාපනය දිස්ත්‍රික් මෝටර් රථ ක්‍රීඩා සමාජය එක්ව පළමු වරට සංවිධාන කරන නොදර්න් ස්පීඩ් මෝටර් රථ ධාවන තරගය (NORTHERN SPEED RALLY 2019) අද (22) ආරම්භවෙයි. දෙදිනක් ක්‍රියාත්මක වන තරගාවලිය යාපනය නගර සභා ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ.

අද පෙරවරු 9.00ට චුන්නීකුලම් ඒ. 9 කැෆටේරීයා අසලදී සියලු මෝටර් රථ හා යතුරු පැදි පරීක්ෂාව සිදුකරන අතර ආරම්භක උත්සවය යාපනය ආඥාපතිතුමාගේ හා නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සවස 7.15ට ආරම්භ විමට නියමිතය. රාත්‍රීයේ නොදන් ස්පීඩි මෝටර් රථ ධාවන තරගයේ පළමු අදියර පැවැත්වීමට නියමිත අතර පසුදින උදැසන දෙවැනි, තෙවැනි හා සිවුවැනි අදියර පැවැත්වේ. 24 වැනි දා අවසන් අදියර පැවැත්වෙන අතර එදින සවස 2.00ට කුසලාන හා සහතික පත් ප්‍රදානය කිරීමට නියමිතය. එක් එක් තරග ඉසව්ව වෙනුවෙන් වෙන වෙනම ජයග්‍රහකයන් උදෙසා කුසලාන ප්‍රදානය කිරීමට නියමිත අතර සමස්ත තරගාවලියේ ජයග්‍රහකයන් උදෙසාද කුසලාන ප්‍රදානය කෙරේ.

එස්.එල්. එච්.මෝටර් රථ, එස්.එල්. ජී.ටී. මෝටර් රථ ට්‍රක් හා ජීප් මෝටර් රථ හා එස්.එල්.එස්. මෝටර් රථ යන කාණ්ඩ ඇතුළත්ව තරගාවලිය සංවිධාන වන අතර විවෘත යතුරුපැදි ඉසව්වකින්ද තරගාවලිය සමන්විත වෙයි.

මෝටර් රථ කාණ්ඩය කිලෝමීටර් 130ක් ආවරණය කළ යුතු අතර යතුරුපැදි කිලෝමීටර් 100ක දුරක් ආවරණය වන පරිදී තරගාවලිය සංවිධාන කර ඇත. තරගාවලිය පළමු වරට අන්තර් ජාතික ප්‍රමිතියට සංවිධානය කර ඇති බව පසුගිය දා කොළඹ පැවැති ධාවකයන් දැනුවත් කිරීමේ අවස්ථාවේදී තරගාවලියේ ප්‍රධාන සංවිධායක රීස්වාන් අහාමත් ක්‍රීඩකයන් දැනුවත් කළේය.

තරගාවලිය සංවිධානයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඩේවිඩ් ඩොට්, යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමය වෙනුවෙන් බ්‍රිගේඩියර් වසන්ත මාදොල හා කර්නල් ඉන්දු සමරකෝන් කටයුතු කරයි.

ගීෂා මුණසිංහ සහ හිඳෝගම සමූහ


නව අදහස දක්වන්න