ශ්‍රී ලංකා පිල අද තරගාවලිය සම කිරීමේ සටනට | දිනමිණ

ශ්‍රී ලංකා පිල අද තරගාවලිය සම කිරීමේ සටනට

සුපුරුදු සටන්කාමී ක්‍රීඩා විලාශයට නැවත අවතීර්ණ වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ජයග්‍රහණයක් අත්කරගැනීමේ බලාපොරොත්තුවෙන් අද (22) සෙන්චූරියන් නුවරදී දෙවැනි විස්සයි20 තරගයට එක්වෙයි. ලකුණු සමවීම හේතුවෙන් සුපිරි ඕවරය දක්වා ඇදි ගිය කේප්ටවුන් නුවර පැවැති පළමු තරගයෙන් සියුම් පරාජයක් අත්විඳීමට සිදුවූවත් අද තරගයේදි සිය සටන්කාමීත්වය නැවත පෙන්නුම් කරමින් තව දුරටත් තරගාවලියේ රැඳී සිටීම නායක ලසිත් මාලිංගගේ අරමුණ වනු ඇත.

දකුණු අප්‍රිකාව හමුවේ තරග 5-0කින් පරාජය වීමේ වේදනාව අමතක කරමින් ශ්‍රී ලංකා පිල විස්සයි20 තරගයට උපේක්සා සහගතව එක්වූවද ඉන් පරාජය වීම නිසා දැන් පසුවන්නේ 1-0ක් ලෙස දකුණු අප්‍රිකාවට වඩා පසුපසිනි. එබැවින් අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට තීරණාත්මක වන අතර ලබන 24දා පැවැත්වෙන අවසන් තරගයට පෙර 1-1ක් ලෙස තරගාවලිය සමකර ගැනීමට හැකි සියලු උත්සාහයන් දරනු ඇත.

යොවුන් ක්‍රීඩකයන් රැසක් ඇතුළත් කරමින් පළමු තරගයට එක්වූ ශ්‍රී ලංකා පිලට එවැනි තියුණු තරගයක් ජයගැනීමට තරම් ප්‍රමාණවත් අත්දැකීම් ‍නොතිබුණ ද ජයසම්පන්න බවින් යුතු තරුණ ක්‍රීඩකයන්ගෙන් ලද දායකත්වය නායක මාලිංගගේ දැඩි පැසසුමට ලක්විය. දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් අවශ්‍ය වී තිබූ ඉසුරු උදාන යැවූ අවසන් ඕවරයේ අවසන් පන්දුවෙන් ඉම්රාන් තාහීර් දුවද්දී දවාලීමට කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලට ලැබුණු පහසු අවස්ථාව ඔහුගෙන් මඟ නොහැරුණානම් සුපිරි ඕවරයට නොයා එක් ලකුණකින් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව තිබිණි.

සිය දෙවැනි විස්සයි20 තරගයට ක්‍රීඩා කළ 20 හැවිරිදි වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් එම තරගයේදි මැදපෙළ පිතිකරුවකු ලෙස කටයුතු කරමින් පන්දු 29කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමග ලකුණු 41ක් රැස් කොට ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය. සුපිරි ඕවරයට මුහුණ දීමට අවිශ්ක ප්‍රනාන්දු සමග තිසර පෙරේරා පිටියට නොයවා ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ කමිඳුට අවස්ථාවක් ලබා දුන්නේ නම් ප්‍රතිඵල සාර්ථක වීමට ඉඩ තිබිණි.

කෙසේ වෙතත් අද තරගයේදි ද කමිඳුට වැඩි කාර්යභාරයක් පැටවෙනු ඇත. නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් එම තරගයේදි ලකුණු නොලබා දැවීයාම නිසා අද තරගයේදි ශ්‍රී ලංකා පිලේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට සධීර සමරවික්‍රම කැඳවීමට ඉඩ ඇතැයි දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි.

පළමු තරගයේදි ශ්‍රී ලංකා පිල රැස් කළ ලකුණු 134 විස්සයි20 තරගයක් ජයගැනීමට තරම් ප්‍රමාණවත් නොවූවත් එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගැනීමට පන්දු යවන්නන් ගත් උත්සාහය කැපී පෙනුණි. එම දස්කම අද තරගයේදිත් ඒ අයුරින්ම රඳවාගැනීමට නම් පිතිකරුවන්ට සිය වගකීම අකුරටම ඉටු කිරීමට සිදුවනු ඇත.

දකුණු අප්‍රිකානුවන්ට පළමු තරගයෙන් ජය ගෙන දෙමින් ඩේවිඩ් මිලර් පළමු තරගයේ දී ශ්‍රී ලංකා පිලට දැඩි හිසරදයක් බවට පත්වි සිටි අතර ඔහු දකුණු අප්‍රිකානු ඉනිම අතරතුර ලකුණු 41ක් රැස් කළේ පන්දු 23කිනි. හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඊට ඇතුළත්වූ අතර සුපිරි ඕවරයේදි ඉනිම ආරම්භ කරමින් දකුණු අප්‍රිකානුවන් ලකුණු 13ක්ම ගෙනදුන්නේ ඔහුගේ පිත්තෙනි. මීට අමතරව දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් පන්දුවට එක් ලකුණක් රැස් කර තරගය සම කළ ඉම්රාන් තාහීර් අනතුරුව සුපිරි ඕවරය යවමින් ශ්‍රී ලංකා පිල ලකුණු 5කට සීමා කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට ගෙන දුන්නේය. මේ යුගලය අද තරග‍යේදිත් ශ්‍රී ලංකා පිලට හිසදරයක් ගෙන දෙනු ඇත.


නව අදහස දක්වන්න