ණය කපාහැරීම! | දිනමිණ

ණය කපාහැරීම!

ගැමි කාන්තාවන් ලබාගෙන ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහැරීම ආරම්භ කර තිබේ. මෙයින් සාධනීය ලක්ෂණ තුනක් මතුවෙයි. එක; ගැමි පවුල්වල ණය බර කපාහැර ඔවුන්ගේ පවුල් තුළ ප්‍රබෝධනයක් ඇතිකිරීම ය. දෙක; ග්‍රාමීය දිළිඳුභාවය තුරන්කොට ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සහභාගී කර ගැනීමය. තුන; ගමේ සංවර්ධනය වේගවත් කිරීමය. රජය මෑතක සිට ගෙන යන වැඩසටහන් නිසා ග්‍රාමීය දිළිඳුභාවය අඩුවෙමින් පවතින බව ලෝක බැංකුව පෙන්වා දී ඇත. ඒ අනුව සංවර්ධන ණය හා ආධාර ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදුසු රාජ්‍යයක් බව ද ලෝක බැංකුව පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ආර්ථික අභියෝගයක් ලෙස ග්‍රාමීය දිළිඳුභාවය හඳුන්වා දිය හැකි ය.

ගැමි කාන්තාවන් මේ තරමින් ණය ලබාගන්නේ කුමකට ද? ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය - ආයතන වෙත නැඹුරුවන්නේ කුමකට ද? යන ගැටලුව මෙහිදී පැන නඟී. ඊට පිළිතුරු ගණනාවක් ලබාදිය හැකි ය. ගැමි පවුල්වල වැඩි බර දරන්නේ කාන්තාව යැයි කීම ප්‍රායෝගික සත්‍යයෙකි. ඒ අනුව කෘෂිකාර්මික කටයුතුවලට, සුළු ව්‍යාපාරවලට, ස්වයං රැකියාවලට මෙන්ම පවුලේ නඩත්තුවට හා නිවාස ඉදිකිරීම ආදියට ද ඔව්හු ණය ලබාගනිති. ණය ලබාගැනීමේදී පිළිගත් බැංකු ඉහත කාන්තාවන් කෙරෙහි විශ්වාසයක් තබා කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ඒ හැරත් පිළිගත් බැංකු ඉල්ලා සිටින සහතික, රක්ෂණ, ඇප ආදිය සපයාගැනීම කාන්තාවට හිසරදයකි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීම පහසු ය. ඉක්මන් ය. ණය ආපසු අය කර ගැනීමේ වගකීම එම ආයතන භාරගෙන ඇත.

ණය ලබාගත්ත ද සාර්ථක නිෂ්පාදන මාර්ග හා සාර්ථක ආදායම් මාර්ග අත්පත් කරගන්නෝ, සුළු පිරිසක් වෙති. නියඟය, ගංවතුර හා කෘමි රෝග නිසා වගාව පාළුවෙයි. වෙළෙඳ පොළ ගැටලුවලට සාර්ථක ව මුහුණ දී ගත නොහැකිව සුළු ව්‍යාපාර හා ස්වයං රැකියා අසාර්ථක වෙයි. මේ සියල්ලට වඩා බරපතළ අභියෝගය වන්නේ ඉහත කී ආයතනවල ණය පොලිය බෙහෙවින් වැඩිවීම ය. ග්‍රාමීය කාන්තාවන්ගේ ණය බර පිළිබඳ තත්ත්වය බරපතළ සමාජ ඛේදවාචකයක් ලෙස පවතී. එය කෙතරම් ද යත් කිහිපදෙනකු දිවි නසාගෙන තිබේ. තව කිහිප දෙනකු ගම් අතහැර ගොස් තිබේ. තවත් කිහිප දෙනකු අසනීප වී තිබේ. ණයහිමියන් අතර පවතින පොදු අසහනය උත්සන්න වෙමින් පවතී.

රජය මේ සම්බන්ධයෙන් ගෙන යන පිළිතුරු වැඩසට‍හනේ දී ප්‍රධාන කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකර ඇත. පළමුවන්න ගැමි කාන්තාවන් ණය බරින් නිදහස් කිරීම ය. දෙවන්න ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය - ආයතන වෙත නැඹුරුවීම වැළැක්වීමට පියවර ගැනීම ය. අවසර ලත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මෙන්ම කිසිදු ප්‍රමිතියකින් තොර ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ද පවතී. ඇතැම් ආයතන බලහත්කාරයෙන් ණය හා පොලී එකතු කිරීම සිදුකරයි. තව ආයතන මැරවර කණ්ඩායම් යොදවා ණය වාරික හා පොලී අයකර ගනී. තවත් ආයතන ණය ගැතියාට තර්ජන එල්ල කරයි. මේ සම්බන්ධයෙන් නව - නීති රීති සකසා ගැමි කාන්තාව ණය උගුලෙන් බේරා ගැනීමට ක්‍රියා කරන බවද රජය ප්‍රකාශ කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන අන්දමට “ගම් පෙරැළිය” වැඩසටහන ද “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන ද ගමේ සංවර්ධනය සඳහා සෘජුව මැදිහත් වී ඇත. “ගම් පෙරැළිය” ඔස්සේ එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් දසලක්ෂ තුන්සියයක් වෙන්කර ඇත. ඇතැම් මැතිවරණ කොට්ඨාස සඳහා මුළු මුදලම ලබා දී ඇති අතර තවත් මැතිවරණ කොට්ඨාස සඳහා රුපියල් දස ලක්ෂ‍ දෙසීයයක් ලබාදී ඇත. එහි දෙවන පියවර ‍ලෙස ඉතිරි දස ලක්ෂ සියයද ලබාදීමට නියමිත ය. මේ මුදල් වෙන්වන්නේ ගමේ පොදු සංවර්ධන කටයුතු සඳහා ය. නැතහොත් ග්‍රාමීය ප්‍රදේශවල වැඩි දියුණුව සඳහා ය. ණය ලබාදීම සඳහා සෘජුව මැදිහත් වන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ය. එයින් නිකුත් කරන ණයවල පොලියෙන් 75%ක් රජය විසින් ම ගෙවනු ලැබේ.

ග්‍රාමීය ණයගැතිභාවය දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ පවතින ගැටලුවකි. ගමේ දිළිඳු පවුල්වල ණයගැතිභාවය ඉතා ඉහළ ය. මුල් කාලයේ ගමේ ප්‍රභූ කොටස් ණය ලබා දීමටද ඒ සඳහා අධික පොලියක් අය කිරීමට ද පටන්ගෙන තිබිණි. මේ අනුව ණය ගෙවාගත නොහැකි පවුල්වල ඉඩකඩම් හා වෙනත් දේපළ ප්‍රභූ කොටස් පවරා ගනු ලැබීය. ණයගැතියා සඳහා විවිධ බලපෑම් කිරීම ද එදා දක්නට ලැබිණි. අද එම කාර්යය භාරගෙන ඇත්තේ ක්ෂුද්‍ර - මූල්‍ය ආයතන යැයි කියන්නට පුළුවන. මේ ආයතන ඉතා ඉක්මණින් ද පහසුවෙන් ද ණය ලබාදෙයි. එහෙත් පොලිය අධික ය. එය ගිනි පොලියකි. ණය ගෙවිය යුතු කාලය ද කෙටි ය. එය ණය උගුලක් බවට පත්වන්නේ ඒ නිසා ය.

අප මුලින් ද සඳහන් කළ අන්දමට ගැමි පවුලේ වැඩි බර දරන්නේ කාන්තාව ය. පවුලේ ඉදිරිගමන, දරුවන්ගේ අනාගතය, පවුලේ නඩත්තුව යන සාධකවලදී ප්‍රමුඛතාව ගන්නේ ද කාන්තාව ය. ඒ අනුව ණය ගැනීමට ද ණය හා පොලිය ගෙවීමට ද ඇයට සිදුවෙයි. ණය ලබාදීමේදී ද ඉහත ආයතන කාන්තාව කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇත. මේ ක්‍රියාදාමය තුළ ගැමි කාන්තාව ණය උගුලේ හිරවෙයි. එහි ප්‍රතිඵලය ලෙස ඇය බලවත් පීඩනයකට ලක්වෙයි. පවුලක කාන්තාව හෙවත් ගෘහමූලිකාව පීඩනයකට හා අසහනයකට ලක් වූ කල එම පවුලේ කටයුතු අඩාල වෙයි. පිටිසරබද බොහෝ ගම්වල පොදු ප්‍රශ්නයක් හැටියට මෙය පෙන්වා දිය හැකිය.

ග්‍රාමීය සංවර්ධනය රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රමුඛ අංශයක් විය යුතු බව; කව්රුත් පිළිගනිති. සෑම ආණ්ඩුවක්ම ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි උනන්දු වීමෙන් ද ඒ බව තහවුරු වෙයි. එහෙත් ගමේ සංවර්ධනයට අදාළ ප්‍රධාන ගැටලුවක් වු ග්‍රාමීය ණයගැතිභාවය සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත්තේ කලාතුරෙකින් ය. එය නොසලකා හරින ලද ප්‍රධාන ආර්ථික ගැටලුවක් සේ සැලැකිය හැකිය. වත්මන් රජය ග්‍රාමීය ණයගැතිභාවය කෙරෙහි දැඩි අවධානයක් යොමුකර තිබීම සාධනීය ලක්ෂණයකි. දිළිඳුකම පිටුදැකීම කෙරෙහි ආණ්ඩුවට සැබෑ වුවමනාවක් ඇති බව එයින් පෙනී යයි. මේ සමඟ ක්‍රියාත්මක විය යුතු තවත් වැඩසටහනක් තිබේ. එනම්; උපදේශනය යි. මුදල් භාවිතයේදී මූල්‍ය විනය කෙරෙහි පාඩම් ගමට ගෙන යා යුතුය.


නව අදහස දක්වන්න