ටෝච් එළියෙන් හඳට යන්නෝ | දිනමිණ

ටෝච් එළියෙන් හඳට යන්නෝ

රට යහපත් වීමට රට වැසියන් කායික හා මානසිකව නීරෝගී විය යුතුය. ජනතාව විසින් ජනතාවගේම හිත සුව පිණිස රට දැහැමෙන් සෙමෙන් පාලනයට තාවකාලිකව පත් කරගන්නා පාලකයින්ගේ යුතුකම ජනතා අරමුණට අනුව රට පාලනය කිරීම ය. යුතුකම්, වගකීම්, වගවීම් පාලකයින් මෙන්ම සාමාන්‍ය ජනයාද ඉටු කළ යුතු ය. බුදු හිමියන් ද අනුදැන වදාරා ඇත්තේ රටවැසියන් සතුටු වන ලෙස රට පාලනය කිරීමයි. රට වැසියන්ගේ ආරක්ෂාව, සුබසාධනය හා සාධාරණව ජීවත් වීමේ අයිතිය පිළිගෙන සමානාත්මතාව පදනම් කොටගත් පාලන තන්ත්‍රයක් සැකසීම පාලකයන්ගේ යුතුකම් හා වගකීම් ලෙස දක්වා ඇත. තම තමන් පෞද්ගලිකව දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්‌තූන් තුළින් සමාජ සංවරයට දායක වන විට සමාජය ද ඒ අයුරින්ම පෙරලා සංග්‍රහ කරනු ඇතැයි බුදුහු කියති.

සාමාන්‍ය ජනයා හැකිතාක් නීරෝගීව, සතුටින්, අවම මූලික අවශ්‍යතා සහිතව හෝ ජීවත් වන විට රටක් දියුණු කිරීම එතරම් දෙයක් නොවේ. නීරෝගී ජනතාවගේ ශ්‍රමය සෘජු හෝ වක්‍ර ලෙසින් සංවර්ධනයට දායක කරගත හැකි වනු ඇත. ආහාර, වාසස්ථාන, ජලය, විදුලිය වැනි සාමාන්‍ය ජනයාට අත්‍යවශ්‍ය දේ පහසුවෙන් අත්පත් කරගැනීමට අවශ්‍ය අවකාශ සලසා දීම රජයේ යුතුකම හා වගකීම වේ. ජනතා සුබසාධනය ද ජනයා සුවපත් කිරීමට අත්‍යවශ්‍ය සාධකයකි. සුබසාධනයට රජයට මුදල් අවශ්‍ය වන අතර මුදල් රැස් කිරීම සඳහා මල නොතලා රොන් ගන්නා ආකාරයේ බදු ක්‍රමයක් හා රාජ්‍ය නිෂ්පාදන හා සේවාවලින් ලබා ගන්නා මුදල් වැනි විවිධාකාර සාධාරණ ප්‍රභව යොදාගත හැකිය. සැමටම එක හා සමානව නොසැලකෙන විට මිනිසුන් එකිනෙකා අතර සැකය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ඇතිවන අතර තරගය ද වැඩි වේ.

“සුඛිනො වා ඛෙම්නො හොන්තු - සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”(සියලු සත්ත්වයෝ සුව ඇත්තෝ වෙත්වා. භය නැත්තෝ වෙත්වා, සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත්වා) ලෙස බුද්ධ දේශනාවේ දැක්වෙන්නේ ද මෙයම ය. මෙලෙස සිදු නොවීමේ අනිටු විපාක ලෙස කායික හා මානසිකව රෝගී ජනයා වැඩි වෙමින් රටේ ඉදිරි ගමනට අවැසි ශ්‍රම ශක්තිය හීන වේ. මේ නිසා සෞඛ්‍ය සේවා සඳහා වැය වන මුදල වැඩි වී සංවර්ධනය ඒ අතින් ද අඩාල වේ.

දීඝ නිකායේ චක්‌කවත්ති සීහනාද සූත්‍රයට අනුව ධනය, ප්‍රාග්ධනය හෝ සාධාරණ ආයෝජන අවස්‌ථා සඳහා රාජ්‍ය මැදිහත් නොවීම සහ සුබසාධන නිසි ලෙස නොවීමෙන් සමාජ අසහනය ඇති වන බව කියවේ. ජනතාව සහ පාලකයන් තමන්ගේ දුෂිත චර්යාවන් හඳුනා ස්‌වයං විවේචනාත්මකව වැරදි නිවැරදි කර ගැනීමෙන් සමාජ අසහනය පහ වන බවද කියවේ.

අසහනයෙන් පෙළෙන වැඩ කරන ජනයා

වැඩ කිරීම සතුටක් හා පුරුද්දක් ලෙස වගා දිගා කරගත් ජපනුන් හපනුන් ලෙස ඉදිරියට යෑම ආදර්ශයට ගත යුතු දෙයකි. අප රටේ දේශපාලනයේ මෙන්ම බොහෝ වගකිව යුතු තැන්වල තරුණ ජවයට, ශ්‍රමයට ඇති ඉඩ ඉතා අඩු නිසා ත්‍රීවීලර් පැදවීම වැනි සරල කාර්යයන්වලට තරුණ ජවය කොටු වී ඇත.

සමකයට ආසන්න අපේ රටේ සෘතු භේදයක් බොහෝ විට නොපෙනෙන නිසා වසර පුරාම දැඩි සූර්ය රශ්මියක් දැකිය හැකි අතර වනාන්තර විනාශය වැඩි වීම, අලුතින් වන වගා සිදු නොවීම, නගරවල සෙවණ දෙන ශාක ගහනයේ අඩු වීම හේතුවෙන් වසරින් වසර උෂ්ණත්වය වැඩි වේ. මේ හේතුවෙන් ශ්‍රමිකයන්ගේ කායික හා මානසික අසහනය වැඩි වී කාර්යක්ෂමතාවය අඩු වේ. වායුසමීකරණ මෙයට විසඳුමක් වුවද ඒ සඳහා සෘජුව හා අනියම්ව වැයවන මුදලට ද කර ගැසීමට සිදුවන්නේ ජනතාවටමය. වැඩකරන ජනයාට තම සේවා ස්ථානවල වැඩකිරීමට අවශ්‍ය භෞතික හා මානසික පරිසරය මනාව තිබිය යුතුය. පිරිසිදු ජලය, පිරිසිදු වැසිකිළි, විවේකාගාර, භෝජනාගාර මෙන්ම නිසි විවේකය, සතුට නොමැති විට අසහනය වැඩිවීමෙන් ආයතනයේ දියුණුවට වැඩ සිදු නොවේ. මේ සියලු සුබසාධන රාජ්‍ය හා පෞද්ගලික මැදිහත්වීමෙන් පහසුවෙන් ඉටු කළ හැකි ක්‍රම සොයාබලා ඉ‍ටු කිරීම අත්‍යවශ්‍ය වේ. අසීමිතව දේශපාලකයන් නඩත්තුව, විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල ශ්‍රමය අපතේ යෑම, රාජ්‍ය ණය, ආදායම් හා වියදම් නිසි ලෙස කළමනාකරණය නොවීම ආදි ලෙසින් නාස්තිවන ජාතික ධනය කළමනාකරණය කරගතහොත් සුබ සාධනයත් කජ්ජක්ද?

සමෘද්ධිය හා වෙනත් සහනාධාර දීමෙන් මෙතෙක් ඇතිවූ මෙන්ම ඉදිරියට ද වන සුගතියක් නැත. අවශ්‍ය වන්නේ ශ්‍රමය දායක කළ හැකි හැමගේ ශ්‍රමය සාධාරණව රට වෙනුවෙන් ලබාගෙන සියල්ලන් සඳහා සාධාරණව ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාලීමය. අතට ගන්නා දේ ඇඟිලි අතරින් වැටෙන සේ නොසිට සියලු සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගතහොත් දිව්‍යලෝකයක් මවාගැනීම කජ්ජක් නොවනු ඇත.

දෛනික සේවා නිමා කර නිවසට පැමිණෙන අපට පසු දිනට අවැසි ජවය ලබා ගැනීමට හැකි වාතාවරණය අඩු බැවින් බොහෝ නිවාසවල පිටතින් පෙනෙන සුන්දරත්වය ඇතුළතින් දැකිය නොහැක. ප්‍රමාණවත් ඉඩකඩ, නිසි වාතාශ්‍රය, ආරක්ෂාව නැති බොහෝ නිවෙස්වල බලශක්තිය, ආහාර සකස් කිරීම, කුණු බැහැර කිරීම, ළමුන්ගේ අධ්‍යාපනය වැනි කාර්යයන් අර්බුදකාරී ලෙස මවුපිය වැඩිහිටියන් හා බද්ධ වේ. මේ නිසා සතුට හා සාමය පැනගොස් ඇතිවන අසහනය සියලු කාර්යයන් හා බද්ධ වී අනියම් ලෙස රටේ සංවර්ධනයට ද බලපානු ඇත. ගැටලුවක් පැන නැගෙන විට ඊට පිළිතුරු ලබා ගත හැකි නිසි ක්‍රමවේද රටක නොතිබෙන විට ජීවිතය විඳීම පසෙකලා විඳවීමට සිදු වේ. මෙවන් අසහනකාරී වටපිටාවක නොනිසි ක්‍රමවේද ඔස්සේ ජීවන ගැටලුවලට පිළියම් සොයා හෙම්බත් වන බොහෝ පිරිස් හුස්මක් කටක් ගැනීමටත්, විවේකයක් ලැබීමටත් ඉඩක් ලබාගන්නේ තම සේවා ස්ථානවලදී බව ඔවුන්ගේ හැසිරීමෙන් හා කරන කියන කටයුතුවලින් මනාව පෙනේ.

සඳුදා සේවා ස්ථානයට පැමිණ ගිමන් හරින අතරේ බොහෝ අය ප්‍රකාශ කරන්නේ “ ඇති යන්තං දැන් තමයි පොඩි විවේකයක් හම්බ වුණේ” කියාය. නමුත් දියුණු රටවල වැසියන් සේවා ස්ථානයට පැමිණ හොඳ ජවයකින් සතියේ වැඩ ආරම්භ කිරීමට සැරසෙන්නේ ගෙවුණු සති අන්තයේ රස මුසු තැන් එකිනෙකාගෙන් විමසමිනි.

අපේ නගරයකදී උදරාබාධ හෝ දැඩි මූත්‍රා කිරීමේ අවශ්‍යතාවයකදී පිරිමි පාර්ශ්වයට කෙසේ වෙතත් කාන්තාවනට නම් දෙවියන්ගේ පිහිටය. පිරිමින්ට නම් වැසිකිළිවලටම නොදෙවෙනි කානුවක පිහිට පැතිය හැකිය. නිකිනි සොයන තරමට අපහසුවෙන් හෝ වැසිකිළියක් සොයා ගත්තද දිය සීරා ගලමින්, දුගඳ හමමින්, කහපාට වූ දියසෙවෙල්, පුස් හා කහට බැඳුණු බිත්ති අතර හිඳ අවශ්‍ය කාර්යය කරගත් පසු සෝදා ගැනීමට එක්කෝ ජලය නැත. ජලය ගැනීමට ඇති බඳුන භාවිතයෙන් පසුපස සෝදා ගැනීම කෙසේ වෙතත් නා ගැනීමට සිදු වේ. වැසිකිළිය වසා ගැනීමට ඇති දොර ඊට හපන්ය. එවන් අපහසුතා මැද වුව ද වැසිකිළිය තුළ සීගීරි කැටපත් පවුරේ මෙන් කුරුටු ගී ද දුරකතන අංකද ලියා තිබෙනු දැකිය හැක. පොදු පහසුකම් භුක්ති විඳින ජනයාද බොහෝ දුරට ඒවා පරිහරණය කරනු ලබන්නේ මහා වෛරයකින් මෙන්ය.

පොදු වැසිකිළිය භාවිතයෙන් පසු නිසි ලෙස ජලය යොදා පිරිසිදු නොකරති. පිරිමි වැසිකිළිවල බොහෝ විට බිම පුරාම අපවිත්‍ර කිරීම සිදුවේ. නමුත් නිවසේ දී අප මෙලෙස නොකරන්නේ එය අපගේ බව දැනෙන නිසා විය හැක. පාසල්වල ද පිරිසිදු වැසිකිළි පද්ධතියක් දකින්නට නැති අතර තිබුණද ඒවා පිරිසිදුව තබා ගැනීමක් ප්‍රායෝගිකව නොපෙනේ. බොහෝ පාසල්වල පානීය ජල අර්බුදය පවතී. කැඩී ගිය ජල කරාම, නඩත්තු නොකරන ගොඩනැඟිලි, දුඟඳ හමන වැසිකිළි ආදිය මැද අධ්‍යාපනය මෙතරම් හෝ ඉදිරියට යාම අගය කළ යුතුය.

නගර මංමාවත්වල ඇවිදින විට ඇතිවන දාහය අඩුකර ගැනීමට, කෙටි විවේකයක් ගැනීමට, පිරිසිදු ජලය බිඳක් පානයට, නිදහසේ හුස්ම පොදක් ගැනීමට පොදු ස්ථාන ඇත්තේම නැති තරම්ය. වැඩකරන ජනයාට වැඩ කරන අතර විවේකයෙන් හා විනෝදයෙන් පසුවීමෙන් ජවයකින් යුතුව නැවත වැඩ කිරීමට අවශ්‍ය කායික මානසික සුවය ලැබෙන බැවින් ඒ සඳහා අවස්ථා සුලභ කිරීම රජයේ මූලික කාර්යයක් විය යුතුය. විවේක උද්‍යාන, මුහුදේ හා ගංගාවල ආරක්ෂිතව නෑමේ පහසුකම, නගරවලට සිනමා ශාලා, විවේකාගාර, වාඩිවී සිටීමේ ආසන, ජනතාව සූරා නොකන බොජුන්හල්, වැසිකිළි පහසුකම් ආදී බොහෝ දේ ඇති කිරීමට විධිමත් වැඩපිළිවෙලක් හා ඕනෑකමක් රජයට තිබිය යුතුය. දැනටත් මේවා දැකිය හැකි මුත් ඒවා ප්‍රමාණවත්ව, නිසි ලෙස නොමැත. තිබෙන ඒවා ද නිසි නඩත්තුවක් සිදු කෙරේ. මේවා නිසි පරිදි තිබුණේ නම් ජනතාව කායික හා මානසිකව නීරෝගී වී සෘජුව මෙන්ම වක්‍රව ද රජයට වාසි ලැබෙනු ඇත.

ජනතාව අතර අසහනය දුරු වීමෙන්, ඔවුන්ගේ ශ්‍රමය ඵලදායී වීමෙන් නිෂ්පාදන හා සේවාවල කාර්යක්ෂමතාව වැඩිවී රාජ්‍ය ආදායම ද වැඩිවනු ඇත. සෞඛ්‍යය සඳහා යන වියදම් ද අඩුකරගත හැකි වනු ඇත.

මහජන සුබසාධනය සඳහා වැයකරනු ලබන වියදම අනාගත ආයෝජනයක් ලෙස සැලකිය යුතු අතර ව්‍යාපාර දියුණු වූ විට රාජ්‍ය බදු ආදායම ද වැඩිවනු ඇත. සුබසාධනයට වැය කරන මුදල පාඩුවක් ලෙස නොදැකිය යුතුය. එකී මුදල් නැවත විවිධාකාරයෙන් ලැබෙනු ඇත. රජය අවංකව මේ සඳහා මැදිහත් වූ විට පෞද්ගලික අංශයද මෙයට නොපැකිලව දායක වනු ඇත.

ගුවන්තොටුපළෙන් ඇතුළු වන විටම රටේ පිළිවෙළ හොඳින් දැනේ. නිසි ලෙස නඩත්තු කෙරෙන පිරිසිදු හා ක්‍රමාණුකූල මාර්ග පද්ධතිය, අවශ්‍ය පමණටත් වඩා වැඩියෙන් පිරිසිදු වැසිකිළි හා කැසිකිළි, පිරිසිදු බොජුන් හල්, ඇවිදින මං තීරු, හැකි සෑම තැනකම ඇති කුඩා වන රොද සහිත විවේක උද්‍යාන, නවීන පුස්තකාල, විනීත හා ආචාරශීලී පොලීසිය, සාමකාමී ගෘහ ජීවිතයකට බලපාන සේවාවන් නිසිලෙස පැවතීම, මවුපියනට බරක් නොවන ශිෂ්‍ය අධ්‍යාපනය, සුරතල් සතුනට පවා වෙන්වූ සුබසාධක සේවා (උද්‍යාන, පාසල්, රැක බලාගන්නා ස්ථාන), අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කළ හැකි ආරක්ෂිත, පහසු ක්‍රමවේද, වැඩිහිටි හා ආබාධිතයන්ට සුවසේ සතුටින් කල් ගෙවිය හැකි ස්ථාන හා සේවා යනාදී දේ ක්‍රමානුකූලව පවතින විට ජනතාවට ඇත්තේ කරනු ලබන කාර්යය එළඹි සිහියෙන් කිරීම පමණි. යමෙක් රෝගී වු විට ඔහු හෝ ඇයගෙන් පමණක් නොව ඔවුන් හා සම්බන්ධ බොහෝ දෙනකුගේ ශ්‍රම දායකත්වය නිසි ලෙස රටට නොලැබී යන බැවින් දියුණු රටවල රෝග නොවැලඳෙන පරිසරයක් නිර්මාණය කිරීමට විවිධාකාරයෙන් කටයුතු සැලසුම් කර ඇත. මේ සියල්ල රජයකට පමණක් කළ නොහැකිය. කළ හැකි වන්නේ පුළුල් මතවාදී අරගලයකින් හා දැඩි මැදිහත්වීමකින් රටවැසි සියලු දෙනාගේම දායකත්වයෙනි. අවශ්‍ය වන්නේ අවංකව හොඳ ආරම්භයක් ගැනීම පමණය.

ජනමාධ්‍ය, ආගම හා සංහිඳියාව

මානසික සුබසාධනය සඳහා ආගමික මැදිහත්වීම ඉතා වැදගත්ය. අපේ රටේ බොහෝ ආගමික ආයතන ද ගිහි ආයතන තරමටම සංකීර්ණ වී ඇත. නියමාකාරයෙන් මනුෂ්‍ය සිත් නිවන, ප්‍රඥාව පහළ කරවන මාර්ගයක් මේ ආයතන ඔස්සේ නොලැබෙන අතර පැවිද්දන්ද සරල විනෝදාත්මක වින්දනයක් හා ආමිසයට බර වූ මාර්ග උදාකර දෙමින් වාසය කරනු දක්නට ලැබේ. ප්‍රඥාව පහළ කරවන ක්‍රියාමාර්ග ඇත්තේම නැති තරම් නිසා ආගමික ආයතනවලින් ලැබෙන්නේද අසහනය පමණි.

ජනතාව කොටවමින්, විවිධ පාර්ශ්වයන්ට පක්ෂපාතීවෙමින්, ජනතාවට රොඩු-බොඩු බෙදා හරිමින්, ජන මනස අවුල් කරවන ආකාරයෙන් ජනමාධ්‍ය ක්‍රියාකරන විට ජනතාව කෙලෙස නීරෝගී වෙයිද? යකාගේ හැටියට විමානය මෙන් ජනතාවගේ ම කරුමයට මේ සියල්ල එකට ගැට ගැසී පෑහී පවතින අතර ඒ බව වැටහෙන අතළොස්සටද නොවැටහෙන ලෙස ජීවත්වීම හැර වෙනත් විකල්පයක් තිබේද?

දහම් බාලසූරිය
[email protected]


නව අදහස දක්වන්න