මොනරාගල බඩඉරිඟු හෙක්ටයාර 26194කට සේනා දළඹුවාගෙන් හානි | දිනමිණ

මොනරාගල බඩඉරිඟු හෙක්ටයාර 26194කට සේනා දළඹුවාගෙන් හානි

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණතිලක.

2018/2019 මහකන්නයේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ වගාකළ බඩඉරිඟු හෙක්ටයාර් විසිහයදහස් එකසියඅනූහතරකට සේනා දළඹුවාගෙන් හානි සිදුවී ඇතැයි මොනරාගල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජේ.පී සුමනරත්න මහතා පැවැසීය.

බඩඉරිඟු වගාකළ හෙක්ටයාර් හත්දහස් හැටනවයකට පූර්ණ හානි සිදුවී තිබෙන අතර හෙක්ටයාර් දාහතරදහස් හත්සියතිහකට අර්ධහානි සිදුවී ඇත.හෙක්ටයාර් හාරදහස්තුන්සිය අනූපහකට සුළුහානි සිදුවී තිබේ.

ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන මගින් ග්‍රාමීය මට්ටමින් සිටින රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් යොදවා සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණවලදී වගාහානිවූ බඩඉරිඟු හෙක්ටයාර් ප්‍රමාණය හඳුනාගෙන ඇත. ඒ සඳහා ගොවි සංවිධාන නියෝජිතයන්ගේද සහාය ලබාගෙන තිබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලැබී ඇති තොරතුරු අනුව වැඩිම හානියක් සිදුවී ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වගාකළ බඩඉරිඟු වගාවන්ටය. ප්‍රමාණය හෙක්ටයාර් දහනවදහස් හතරකි. එම කොට්ඨාසයේ බඩඉරිඟු වගාකැර ඇති හෙක්ටයාර ප්‍රමාණය විසිහතරදහස් එකසියහැත්තෑහයකි.

2018/19 මහ කන්නයේදී මොනරාගල දිස්ත්‍රික්කය තුළ බඩඉරිඟු වගාකැර ඇති හෙක්ටයාර් ප්‍රමාණය තිස්දෙදහස් අටසිය හතලිස්පහකි.

සේනා දළඹුවාගෙන් හානි බඩඉරිඟු වගාකළ ගොවීන්ට වන්දි ගෙවීම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් සිදුකෙරේ.

වගාහානි පිළිබඳව සිදුකළ සමීක්ෂණ වලදී කිසියම් අසාධාරණයක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත අභියාචනා ඉදිරිපත් කිරීමටද පුළුවන. සේනාදළඹුවාගෙන් හානිවූ බඩඉරිඟු හෙක්ටයාර් එකක් සඳහා රුපියල් හතළිස්දහසක උපරිමයකට යටත්ව රජය මගින් වන්දි ගෙවීමට නියමිතය.

නව අදහස දක්වන්න