කෙටි දුර ශූරී රුමේෂිකා ගුවන් තොටුපොලේ බාධක දුවයි | දිනමිණ

කෙටි දුර ශූරී රුමේෂිකා ගුවන් තොටුපොලේ බාධක දුවයි

ප්‍රින්ස් ගුණසේකර

කෙටි දුර ධාවනය පිළිබඳ වැඩිදුර පුහුණුවක් සඳහා අමෙරිකාව බලා පිටත්වීමට ගිය රුමේෂිකා රත්නායක පෙරේදා අලුයම කටුනායක ගුවන් තොටුපොල නිලධාරීන් හරවා එවූවද, ඊයේ අලුයම යළි නැවැත අමෙරිකාවට පිටත් වූවාය. හමුදා ආරක්ෂක සේවයක නිරතව සිටියදී නියමිත පරිදි නිවාඩු ලබා නොගෙන විදෙස් ගතවීමට උත්සහා කිරීමේ චෝදනා මත ගුවන් තොටුපොල නිලධාරීන් රුමේෂිකාගේ ගමන වැළැක්වුවද, පසුව ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ හා ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ඉල්ලීම මත ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් රුමේෂිකාගේ විදෙස් ගමනට අවස්ථාව උදාවී ඇත.

දින 30ක පමණ කාලයක් අමෙරිකාවේදී කෙටි දුර ධාවනය පිළිබඳ පුහුණුව රුමේෂිකාට ලැබෙන අතර ලබන මාසයේ දෝහා කටාර් හී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ වැඩි දස්කම් දැක්වීම ඇයගේ ඉලක්කයවී ඇත. මේ සඳහා වැයවන සියලු මුදල් ඇතුළුව පුහුණු ශිෂ්‍යත්වය ජාතික ඔලිම්පික් කමිටුව විසින් ලබා දී ඇත.

“මගේ ගමන වැළක්වීමට කවුරු හරි බොරු චෝදනාවක් ගුවන් තොටුපොලට එවලා තිබුණා. හමුදාවට දැනුම් නොදී විදෙස් ගතවන බවට දැනුම්දී තිබුණා. පෞද්ගලික හේතුමත හමුදා සේවයෙන් ඉවත්වන බවට මා වසරකටත් පෙර අදාළ අංශ වෙත ලිඛිතව දැනුම්දී තිබුණා. ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් මහතා හා ලේකම් මැක්ස්වෙල් මහතා තත්ත්වය තේරුම්ගෙන ක්‍රීඩා ඇමැතිතුමාට කතා කළා. ඇමැතිතුමා හමුදාපතිතුමාට මේ බව දන්වා ගැටලුව නිරාකරණය කළා. මේ සියලු දෙනාට මගේ ස්තූතිය හිමි වෙනවා” රුමේෂිකා රත්නායක පැවැසුවාය.රුමේෂිකා දකුණු ආසියානු රන් පදක්කම් දිනාගත් අතර, 2017 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කම හා පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී මීටර් 200න් අවසන් පූර්ව තරගයට පිවිසීමේ අවස්ථා උදාකර ගත්තාය.

මීටර් 100 කාන්තා ඉසව්වෙන් ආසියාවේ 5වැනි තැනට පත්ව සිටින අතර, තත්පර 11.56කින් තම පෞද්ගලික හොඳම දක්ෂතාව සටහන් කළාය. ඇය දැනට සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශාට පසු ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම කෙටි දුර ධාවන ශූරිය බවට පත්ව සිටී. මීටර් 100 ඉසව්ව තරග ඉතිහාසයේ වසර 2000දී යොකොහාමා තරගාවලියේදී සුසන්තිකා ජයසිංහ තත්පර 11.04කින් හා 1999 වසරේ කත්මන්ඩු නුවරදී දමයන්ති දර්ශා තත්පර 11.19 හොඳම කාලය වාර්තා කර තිබූණි.


නව අදහස දක්වන්න