දකුණු අප්‍රිකාව 1-0කින් විස්සයි20ත් පෙරමුණ ගනී | දිනමිණ

දකුණු අප්‍රිකාව 1-0කින් විස්සයි20ත් පෙරමුණ ගනී

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග කෙප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගය සුපිරි ඕවරයෙන් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. මේ සමගින් තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස දකුණු අප්‍රිකානුවෝ පෙරමුණ ගත්හ.

ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම තරග මුහුණුවර වන විස්සයි20 තරග රටාවේ කුතුහලයත්, ආශ්වාදයත් ඒ අයුරින්ම ඉස්මතු කරමින් සුපිරි ඕවරය දක්වා ඇදීගිය ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු පළමු විස්සයි20 තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර නිව්ලැන්ඩ්ස් පිටියේ රාත්‍රී තරගයක් ලෙස පෙරේදා පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 134ක් රැස්කළ අතර දකුණු අප්‍රිකාවටද ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 134ක් පමණි. ඒ අනුව ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ කළාතුරකින් දක්නට ලැබෙන සුපිරි ඕවරය ක්‍රියාත්මක වූ අතර ලසිත් මාලිංග යැවූ එම ඕවරයේදී දකුණු අප්‍රිකානු පිලේ ඩේවිඩ් මිලර් සහ රසී වැන්ඩර ඩුසෙන් ලකුණු 14ක් උදුරා ගත්හ. ලකුණු 15ක ඉලක්කයක් සුපිරි ඕවරයෙන් අත්කරගැනීමට පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දුට සහ තිසර පෙරේරාට එම ඕවරය යැවූ ඉම්රාන් තාහීර් ලකුණු 5කට වඩා රැස් කිරීමට ඉඩ තැබුවේ නැත. පිතිකරුවන් දෙදනාටම රැස් කිරීමට හැකිවූයේ එක් ලකුණ බැගිනි. අනික් ලකුණු 3ම ලැබුණේ වයිඩ් පන්දුවලිනි.

දකුණු අප්‍රිකානු පිලේ ඇරැයුමෙන් පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 2ක් ලකුණු 7ක් තුළ බිඳ වැටීමෙන් අනතුරුව අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 35ක්, ඇන්ජලෝ පෙරේරා සමගින් 5 වැනි කඩුල්ලට ලකණු 31ක් එක්කිරීමට සමත් විය. පන්දු 29කට මුහුණදුන් කමිඳු ලකුණු 41ක් රැස්කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2කින් ඉනිම සරසා ගනිමිනි. තිසර පෙරේරා (18) සහ ධනංජය ද සිල්වා (14) 6 වැනි කඩුල්ලට පන්දු 36කින් ලකුණු 37ක්, ඉසුරු උදාන සහ අකිල ධනංජය අවසන් පන්දු දහයෙන් ලකුණු 21ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළහ. උදාන පන්දු 6කින් නොදැවී ලකුණු 12ක් සහ අකිල ධනංජය පන්දු 4කදී හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 8ක් රැස් කළහ. පන්දු යැවීමේදී ඇන්ඩිල් පෙලුක්වායෝ කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 135ක ඉලක්කය හඹායෑමට පිවිසි දකුණු අප්‍රිකානු ඉනිමේ 10 වැනි ඕවරයේදී ලකුණු 52කට තෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව පිටියේ එක්වූ රසී ඩුසෙන් සහ ඩේවිඩ් මිලර් පන්දු 42කින් ලකුණු 66ක් රැස්කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 118 දක්වා ඉදිරියට ගෙන ගියහ. නායක ලසිත් මාලිංග ලකුණු 34ක් ලබාසිටි ඩුසෙන්ගේ ඉනිම නිමා කිරීමත් සමග තරගයට අවතීර්ණවූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පන්දු 21කදී දකුණු අප්‍රිකානු කඩුලු 4ක් දවාගත් අතර ලබා දුන්නේ ලකුණු 16ක් පමණි. මිලර් පන්දු 23කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 41ක් රැස් කළේය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මාලිංග ඕවර 4 දී කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 11ක් පමණක් ලබාදෙමිනි. ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් දවා ගත්හ.

තරගයෙන් පරාජයට පත්වූවත් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ සටන්කාමීත්වය පිළිබඳ තමා සතුටට පත්වන බව තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග සඳහන් කළේය. ලකුණු 134ක් යනු විස්සයි30 තරගයක් ජයගැනීමට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවූව ද, ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යවන්නන් සාර්ථක පන්දු යැවීමක නිරතවීමෙන් දකුණු අප්‍රිකානු පිතිකරුවෝ දැඩි අසීරුතාවට පත්වූ බව මාලිංග කියා සිටියේය. එම තරගයේ අවසන් ඕවරයේදි දකුණු අප්‍රිකානුවන්ට රැස් කිරීමට අවශ්‍ය වූයේ ලකුණු 5ක් පමණි. නමුත් අවසන් ඕවරය යැවූ ඉසුරු උදාන එම ඕවරයේදී ලබා දුන්නේ ලකුණු 4ක් පමණි.

මාලිංග සුපිරි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කළ මිලර් ලකුණු 13ක් ලබා ගත් අතර අනෙක් පිතිකරු වැන්ඩර් ඩුසෙන් එක් ලකුණක් රැස් කළේය.

තියුණු දඟ කැවීමක් සහිත ඉම්රාන් තාහීර්ගේ සුපිරි ඕවරයේ පළමු පන්දුවට තිසර පෙරේරා එක් ලකුණක් ලබා ගත් අතර අවිශ්ක ප්‍රනාන්දු දෙවැනි හා තුන්වැනි පන්දු හමුවේ නිරුත්තර විය. සිවුවැනි පන්දුවට අවිශ්ක එක් ලකුණක් රැස් කළ අතර පස්වැනි පන්දුව වයිඩ් පන්දුවක් විය. ඊළඟ පන්දුවෙන් තිසරට ලකුණු ලබා ගත නොහැකි වූ අතර අවසන් පන්දුව වයිඩ් පන්දුවක් වීමෙන් ශ්‍රී ලංකා පිලට තවත් පන්දුවක් හිමිවිය. එම පන්දුව ද වයිඩ් පන්දුවක් වූ අතර අවසන් පන්දුවට තිසරට ලබා ගත හැකිවූයේ එක් ලකුණක් පමණි.

‘මෙවැනි අවස්ථාවලට මම පුරුදුයි. ඒත් මම දැන් වයසයි වගේ. විවිධාකාරයේ පන්දු යවන්නේ කොහොමද කියලා අපේ තරුණ ක්‍රීඩකයන්ට පෙන්වමින් මගේ උපරිම දස්කම් පෙන්වීමට බලාපොරොත්තු වුණත් මිලර් සාර්ථකව ඊට මුහුණ දුන්නා. මම නිතරම විශ්වාස කරන්නේ ඕනෑම කෙනකුට විශේෂ දෙයක් කරන්න පුළුවන් කියලයි.

මම මීට කළින් පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් බිඳ දමා තිබෙනවා. නමුත් සුපිරි ඕවරයේදි මම සාර්ථක වුණේ නෑ’ මාලිංග පැවැසීය. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු පිල ඕවර 14ක් නිමාවනවිටත් කඩුලු 3ක් දැවී රැස් කර තිබුණේ ලකුණු 83ක් පමණි. ඒ අනුව ඉතිරි පන්දු 36දී ඔවුන්ට ලකුණු 52ක ඉලක්කයක් තිබිණි. තරගයේ වාසිය දකුණු අප්‍රිකානු පිල වෙතට හැරුණේ 15 වැනි ඕවරය යැවූ ඉසුරු උදාන එම ඕවරයේදි ලකුණු 20ක් ලබාදීමය. එම ඕවරයේදි ඩේවිඩ් මිලර් හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කළේය.

ධනංජය ද සිල්වා යැවූ ඊළඟ ඕවරයේදි හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කළ වැන්ඩර් ඩුසේන් දකුණු අප්‍රිකානු ඉලක්කය පන්දු 24කදී ලකුණු 18ක් දක්වා පහළ දැමුවේය. කෙසේ වෙතත් මාලිංග 17 වැනි ඕවරය යවමින් මිලර්ගේ කඩුල්ලත්, ඩුසේන්ගේ කඩුල්ලත් දවාගැනීම නිසා දකුණු අප්‍රිකානුවන් පීඩනයකට හසුවිය.

දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය මේ 22 වැනිදා සෙන්චුරියන්හිදී පැවැත්වේ.

නව අදහස දක්වන්න