මිල දී ගැනීම් 10%ක් සුළු සහ මධ්‍ය ව්‍යවසායකයන්ගෙන් | දිනමිණ

මිල දී ගැනීම් 10%ක් සුළු සහ මධ්‍ය ව්‍යවසායකයන්ගෙන්

ජයසිරි මුණසිංහ

සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් ටෙන්ඩර් කැඳවා මිල දී ගනු ලබන භාණ්ඩ හා සේවාවලින් අවම වශයෙන් සියයට 10ක් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් ලබා ගත යුතු යැයි මුදල් අමාත්‍යාංශය තීරණයකට එළැඹ තිබේ.

මේ අන්දමට සියලු රාජ්‍ය ආයතනවල ටෙන්ඩර් කැඳවීම්වල දී සියයට 10ක අවම වෙන් කිරීමක් හෝ ලබාදීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දියුණුවට ලබාදුන් විශාල ශක්තියක් බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සියයට 10ක අවම අගයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අනිවාර්යෙන්ම වෙන් කිරීමට අවශ්‍ය නීතිරීතිවල සංශෝධනය ළඟදීම සිදු කරන බව ද මංගල සමරවීර මහතා සඳහන් කෙළේය.

දැනට ක්‍රියාත්මක ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සඳහා භාවිතයට ගන්නා අණපනත් හා නීතිරීතිවලට සංශෝධන ගෙන ආ විගසම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වාසි අත්වන බව ද ඇමැතිවරයා විස්තර කෙළේය. ඇතැම් රාජ්‍ය ආයතන මේ වන විට මෙරට සුළු හා මැදි පරිමාණ ව්‍යවසායකයෝ නිපදවන භාණ්ඩ හා සේවා පවා මහා පරිමාණ ආයතන ඔස්සේ මිල දී ගැනීමට කටයුතු කරති. ඉන් වාසි සැලසෙනුයේ කුඩා හා මධ්‍ය පරිමාණ පිරිස් වෙත නොවේ. ඒ නිසා කුඩා නිෂ්පාදකයන් අධෛර්යට පත්වේ. මේ දුර්වලතාව මඟහැරවීමට මේ තීරණය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම්ය. ඒ අනුව නව යෝජනාව මෙවර අයවැයෙන් රටට හඳුන්වා දුන් බව ද මංගල සමරවීර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කෙළේය.

නව අදහස දක්වන්න