පුත්තලම පානීය ජල ගැටලුවට ආණ්ඩුවෙන් විසඳුම් | දිනමිණ

පුත්තලම පානීය ජල ගැටලුවට ආණ්ඩුවෙන් විසඳුම්

‘රට වෙනුවෙන් එකට සිටිමු’

පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවට පිළියම් යෙදීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. ඒ අනුව දංකොටුව, මැටිකොටුව, නෙළුම් උයන හා නවගත්තේගම ජල පිරිපහදු මධ්‍යස්ථාන මේ වන විට ක්‍රියාත්මක වන අතර 'රට වෙනුවෙන් එකට සිටිමු'ජාතික වැඩසටහන යටතේ පානීය ජල ව්‍යාපෘති ගණනාවක් අලුතෙන් ඇරැඹීමට ද කටයුතු කැර ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ පසුගිය වසරේ ග්‍රාමීය යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘති හා ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කැර ඇති බවත් පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසයි.

දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක අතරින් පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධනයට බලපා ඇති අභියෝග අතර ජනතාවගේ දිළිඳුකම බරපතළ සමාජ ගැටලුවක් වන අතර දිස්ත්‍රික්කයේ පවතින නියඟය ද ජල පද්ධතිය 80%ක් සිඳීයාම ද ජනතාව මුහුණ දෙන තවත් සමාජ ගැටලුවක්ව පවතී.

එමෙන්ම දිස්ත්‍රික්කයේ වැව් පද්ධති සිඳීයෑම තුළින් ද කෘෂී කර්මාන්තය හා අනෙකුත් බෝග වගාවන්හි අස්වැන්න අඩුවීම ද මෙම දිස්ත්‍රික්කය මුහුණ දෙන තවත් බරපතල සමාජ ගැටලුවක් වේ.

දිස්ත්‍රික්කයේ පවතින ජල ගැටලුවට විසැඳුමක් ලබා දීම රජයේ මූලික අරමුණ වී ඇති අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ පූර්ණ මැදිහත්වීම මත පසුගිය තෙවසරක පමණ කාල පරිච්ඡේදය තුළ දී පානීය ජල පිරිපහදු මධ්‍යස්ථාන කීපයක් ආරම්භ කැර තිබේ. දංකොටුව, මැටි කොටුව, නෙළුම් උයන, නවගත්තේගම ප්‍රාථමික පාසල, ආණමඩුව මහා විදුහල ඒ අතරින් ප්‍රධාන වේ.

ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමටත්, වකුගඩු රෝග පාලනය කිරීම සඳහාත් ජනාධිපති ලේකම් කාර්යාලයේ දායකත්වය මත රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ ද ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16ක් ආවරණය වන පරිදි ගෘහස්ථ ජල පෙරණ ලබාදීම ජල පද්ධති ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම, වකුගඩු රෝග වැලක් වීම සඳහා මහජනතාව දැනුවත් කිරීම, සායන පැවැත්වීම මෙම වැඩ සටහන තුළින් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක වන අතර මේ සඳහා රජයේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් මෙම වැඩසටහන සමඟ එක් වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නව අදහස දක්වන්න