මානව අයිතීන් රැකීමට ආණ්ඩුව කැප වෙනවා | දිනමිණ

මානව අයිතීන් රැකීමට ආණ්ඩුව කැප වෙනවා

බුද්ධි කරුණාරත්න

සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කරමින් කල්පවතින ප්‍රතිසන්ධානයක් ඇති කිරීම මඟින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ආණ්ඩුව කැපවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේය.

ආණ්ඩුව අනිකුත් ජාතීන්ගේ විද්වතුන් සමඟ ද නිදහස් හා සාධාරණත්ව මත සංවාදයක් ඇති කොට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් ජාතික සැලැස්මක් යටතේ යුක්තිය ස්ථාපිත කරන බව ඒ මහතා කීවේය. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතුවල වර්ධනය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඇති වී තිබෙන සංවාදය ගැන ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශයට පිළිතුරු දෙමින් සමරවීර අමාත්‍යවරයා මේ බව කීවේය.

යුද, නාවුක සහ ගුවන් හමුදාවන්ට ආණ්ඩුවෙන් ලබාදෙන ගෞරවයේ කිසිදු අඩුවක් නොමැති බව කී ඔහු ඔවුන්ගේ සාම සාධක කටයුතුවල නිරතවීම වැනි වෘත්තිකභාවය ආරක්ෂා කරන වැඩවලට සහාය දීමටත් ලොව අග්‍රගන්‍ය හමුදා සමඟ එක්ව කටයුතු කිරීමටත් ඒ සමඟම කිසියම් අපයෝජනයක් සිදු වූ විට ද නීතියට අනුව කටයුතු කිරීම ඒ ආකාරයෙන්ම සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා තම සුපුරුදු ලෙස ජනතාව නොමඟ යැවීමට කටයුතු කර ඇති බව කී ඇමැතිවරයා යුදමය ආකාරයට අණ දෙන ස්වරූපයක් හිතෙන් මවාගෙන ක්‍රියාකර ඇතැයි වැඩිදුරටත් කීවේය. ඔහු තවදුරටත් මේ රටේ ජනාධිපති නොවන බවත් අගමැතිවරයාවත් නොවන බවට වූ සරල සත්‍යයවත් ඔහුට අමතක වී ඇතැයි සමරවීර මහතා කියයි. ආසියාවේ පැරැණිතම ප්‍රජාතන්ත්‍රවාදය හිමි අපේ රටේ පුරවැසියන් වශයෙන් මීට මාස කිහිපයකට පෙර මේ රටේ අගමැති ධූරය පැහැර ගැනීමට මහින්ද රාජපක්ෂ ගෙනගිය අසාර්ථක උත්සාහය මේ රටේ පුරවැසියන්, එහි ස්වාධීන අධිකරණය ඇතුළු ආයතන විසින් පරාජය කළ බව ඔහුට අමතක වී ඇතැයි ද පෙන්වා දුන් සමරවීර අමාත්‍ය රයා වැඩිදුරටත් කීවේ සැබෑ මිතුරකු වශයෙන් වාදභේද පසෙක දමමු යැයි යෝජනා කරන බවද කීවේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව මතු ව තිබූ අහිතකර තත්ත්වයන් නැතිකර දැමුවේ වත්මන් ආණ්ඩුව විසින් බවද මහින්ද රාජපක්ෂ මහතාට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.


නව අදහස දක්වන්න