මෙත්සිරි සෙවණ ජනපති අතින් අද ජනතා අයිතියට | දිනමිණ

මෙත්සිරි සෙවණ ජනපති අතින් අද ජනතා අයිතියට

මෙත්සිරි සෙවණ වකුගඩු පර්යේෂණ මධ්‍යස්ථානය ජනපති අතින් අද ජනතා අයිතියට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ගොඩනංවන ලද ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගි කැර ගනිමින් අනුරාධපුර මහා රෝහලට අනුබද්ධව ඉදි කළ මෙත්සිරි සෙවණ, වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (20) විවෘත වෙයි.

පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සමයේ තම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලද අරමුදල් උපයෝගි කැර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්ථාපිත කරන ලද ජාතික වකුගඩු අරමුදල මේ වන විට දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර මත ශක්තිමත් අරමුදලක් බවට පත්ව ඇත.

අදාළ අරමුදලේ ප්‍රතිපාදන යොදා ගනිමින් වකුගඩු රෝගීන්ගේ සුබ සාධන කටයුතු, රෝගී ප්‍රතිකාර සඳහා අවශ්‍ය යටිතල පහසුම් සම්පාදනය, වකුගඩු රෝගය නිවාරණය සඳහා සහ රෝග මූලය හඳුනා ගැනීම සම්බන්ධව සිදු කෙරෙන පර්යේෂණ සඳහා දායකත්වය දැක්වීම හා වකුගඩු රෝගී අවදානම් ප්‍රදේශ සඳහා පිරිසිදු පානීය ජලය සම්පාදනය ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. මේ අතර ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක් වැය කරමින් මහනුවර මහා රෝහලට අනුබද්ධිතව ඉදිකරන ලද වකුගඩු රෝගී සහන සත්කාර හා සුබ සාධන මධ්‍යස්ථානය පසුගියදා ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරුණු අතර රුපියල් මිලියන 89ක වියදමින් ඉදිකරමින් පවතින ගිරාඳුරුකෝට්ටේ වකුගඩු රෝගී සහන සත්කාර හා සුබ සාධන මධ්‍යස්ථානය ද තව නොබෝ දිනකින් ජනතා අයිතියට පවරාදීමට නියමිතය.රුපියල් මිලියන 156ක වියදමින් කැලණිය විශ්වවිද්‍යාලයේ වකුගඩු රෝග පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකරමින් පවතින අතර මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව වකුගඩු රෝගීන් ඇතුළු රෝගීන් වෙත බද්ධ කිරීම සඳහා ගුවන් මඟින් ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් සැලසීම ඇතුළු ව්‍යාපෘති ද මේ වන විට ක්‍රියාත්මකය.

රුපියල් මිලියන 800කට අධික පිරිවැයක් දරමින් වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ප්‍රදේශ සඳහා ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 600 ක් පමණ මේ වන විට ස්ථාපිත කැර ඇති අතර එහි 600වන ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය,මෙත්සිරි සෙවණ, වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව අද පෙරවරුවේ ඉසුරුමුනිය රජමහා විහාරස්ථානයේ දී විවෘත කෙරේ.

ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය සඳහා ප්‍රවේශයක් නොමැති පවුල් 7600ක් සඳහා ගෘහස්ත ජල පෙරන උපකරණ ලබාදීම, වැසි ජල ටැංකි ලබාදීම, නළ ජල පහසුම් ලබාදීම හා පවත්නා නළ පද්ධති දීර්ඝ කිරීම වැනි ව්‍යාපෘති මේ වන විට ජාතික වකුගඩු අරමුදලේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මකවන අතර වකුගඩු රෝගයෙන් මව/පියා අහිමි වූ පාසල් දරුවන් සඳහා මසකට රු. 3000 බැගින් වූ ජනාධිපති අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම, අඩු ආදායම්ලාභි වකුගඩු රෝගීන් සඳහා මසකට රු 5000 බැගින් වූ ජීවනාධාර මුදලක් ලබාදීම, අඩු ආදායම්ලාභී වකුගඩු රෝගි පවුල් සඳහා නිවාස ආධාර ලබාදීම ඇතුළු සුබ සාධන වැඩසටහන් රැසක් ද ජාතික වකුගඩු අරමුදල යටතේ ක්‍රියාත්මකය.


නව අදහස දක්වන්න