යහපාලන ආණ්ඩුව ගම දියුණු කරන්න කිසිම ආණ්ඩුවක් නොකළ සේවාවක් කළා | දිනමිණ

යහපාලන ආණ්ඩුව ගම දියුණු කරන්න කිසිම ආණ්ඩුවක් නොකළ සේවාවක් කළා

අසේල ලියනගේ

  • කැකිරාව, මාඇල්ගමුව ශ්‍රී දේවතිස්ස රජමහා විහාරස්ථානයේ අංගසම්පූර්ණ විහාරස්ථාන ගොඩනැගිල්ලට මුල්ගල් තබමින් අගමැති කියයි

ගම සහ ගමේ පන්සල දියුණු කිරීමට කිසිදු ආණ්ඩුවකින් නොකළ සේවාවක් වත්මන් යහපාලන ආණ්ඩුව විසින් ගමේ ජනතාවට ලබාදී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය, සෞඛ්‍ය දියුණු කිරීමේ ප්‍රතිඵල ලැබෙන්නේ ගමේ ජනතාවට බව පැවසූ අගමැතිවරයා සඳහන් කළේ ගමේ දියුණුව මගින් රටේ ආර්ථිකය ශක්තිමත් වන බවය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (18) කැකිරාව, මාඇල්ගමුව ශ්‍රී දේවතිස්ස රජමහා විහාරස්ථානයේ අංගසම්පූර්ණ විහාරස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමෙන් අනතුරුව ප්‍රදේශයේ ජනතාව අමතමිනි.

එහිදී එම රජමහා විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකර තිබූ රන්වැට නිරාවරණය කිරීමද අගමැති වික්‍රමසිංහ මහතා විසින් සිදුකළේය.

හුරුලු කලාගම් දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේනාධිරියාගම විමල ජෝති ස්වාමීන් වහන්සේ හා කැකිරාව ශාසන රත්න බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කොස්සින්නේ රත්න ජෝති හිමියන් වහන්සේලා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙන යෑම සදහා ආශිර්වාද කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

කැකිරාව ආසන සංවිධායක චන්දිම ගමගේ මන්ත්‍රීතුමා නිතරම මට ඇවිත් කියනවා දේවතිස්ස රජමහා විහාරයට එන්නම කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න සෑම දවසකම ඇවිත් කියනවා කවදාද එන්නේ කියලා.

මම දන්න හැටියට මෙම විහාරස්ථානය ඉදිකර තිබෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ. ඒ නිසා මෙම විහාරස්ථානවල දිගු ඉතිහාසයක් තිබෙනවා. දේවානම්පියතිස්ස රජුගෙන් පසු සද්ධාතිස්ස රජතුමා විසින් මෙම වෙහෙර විහාරස්ථාන දියුණු කර තිබෙනවා.

චන්දිම ගමගේ මන්ත්‍රීතුමා ඉතාමත් ක්‍රියාශීලී මන්ත්‍රීවරයෙක්. මෙම ප්‍රදේශයේ දියුණු කිරීමට මුදල් ගන්නවා. මේ ප්‍රදේශය දියුණු කිරීමට කැපවෙලා වැඩකරනවා. මෙම විහාරස්ථානවල නිදන් ගණනාවක් තිබෙනවා කියා කටකතා තිබෙනවා. නිදන් හොරුන් මෙම ප්‍රදේශයේ වැඩි වශයෙන් ගැවසෙනවා කියා මට දැනගන්නට ලැබුණා. ඒ සඳහා මා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රදේශයේ ජනතාවගේ මැදිහත්වීමෙන් කැකිරාව දේවතිස්ස විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකළ ඇති රන්වැට නිරාවරණය කළා. ඒ සඳහා දායක වූ සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම විහාරස්ථානයේ ගොඩනැඟිලි ඉදිකරදීමට අපි රජයක් හැටියට පියවර ගන්නා බව ඔබට කියන්න කැමතියි. ගමේ පන්සල දියුණු කරන්නේ ගමේ ජනතාව. පන්සලේ දහම් පාසලට එන්නේ ගමේ සිසුන්. මේ සියල්ලේම පදනම ගමයි. ඒ නිසා ගම ශක්තිමත් වෙනවා නම් මේ පන්සලත් ශක්තිමත් වෙනවා.

කැකිරාව ප්‍රදේශයට මහවැලි ජලය ආ නිසා මෙම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ අතමිටි සරු වුණා. එදා ජේ. ආර්. ජයවර්ධන මහතා මහවැලියෙන් ජලය දුන්නේ නැතිනම් මොකක්ද මේ ගම්මානවලට වෙන්නේ. වියළි කලාපයට නව පණක් ලැබුණේ ජයවර්ධන මහතා ආරම්භ කළ මහවැලි ව්‍යාපාරය හරහායි.

ගමේ ආර්ථිකය දියුණු කරන්න, ගමට මුදල් ලබාදෙන්න වත්මන් රජය විසින් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සෑම ප්‍රදේශයේම කන්න තුන හතරක් වගාකරන්න බැරිව විශාල නියඟයක් ඇතිවුණා. ඒ නිසා අස්වැන්න අඩුවුණා. ජනතාවගේ අතේ තිබෙන ආදායම අඩුවුණා. ඒ නිසා අපි ගම්මානවලට උදවුකරන්න අලුත් වැඩසටහනක් කීපයක් ගෙනාවා.

විමධ්‍යගත අරමුදලෙන් මුදල් ලබාදුන්නා ගම්මාන දියුණු කරන්න, පළාත් සභාවලිනුත් මුදල් ලබාදුන්නා. දැන් මංමාවත් සැදීමේ වැඩසටහනක් අපි ආරම්භ කර තිබෙනවා. ඒ මගින් ගමේ ජනතාවගේ පාරවල් හැදෙනවා. ගමේ ප්‍රවාහනය ශක්තිමත් වෙනවා වගේම එම මාර්ග ඉදිකිරීමට අවශ්‍ය කොන්ත්‍රාත් ලබාදෙන්නේ ගමේ ජනතාවටයි.

පසුගිය දින (17) සතියේ අපි මහාමාර්ග 200ක් එක්වර ජනතා අයිතියට පත්කළා. තවත් මැයි, ජූලි, ජූනි මාසවල එවැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත්කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ගමේ පාරවල් දියුණු වෙනවා කියන්නේ ගමේ වෙළදාම දියුණු වීමයි.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙම ප්‍රදේශයේ පාසල්වලට ගොඩනැඟිලි ලබාදී තිබෙනවා. ජාතික පාසල් පළාත් සභා පාසල් සෑම එකකටම මුදල් ලබාදී තිබෙනවා. එම ඉදිකිරීම්වල ප්‍රතිඵල ලැබෙන්නේ ගමේ ජනතාවටයි.

ගම දියුණු කරන මීළඟ වැඩසටහන වන්නේ ගම්පෙරළිය වැඩසටහනයි. ගම්පෙරළිය වැඩසටහන යටතේ අපි සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම රුපියල් මිලියන 300ක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. දැනට මිලියන 200ක් ලබාදී තිබෙනවා. ගම්පෙරළිය කියන්නේ ගමේ සංවර්ධනයට රජයෙන් මුදල් ලබාදීමයි. ගම දියුණු කිරීම සඳහා ලබාදෙන මිලියන 300 ලැබෙන්නේ ගමේ සිටින ජනතාවටයි. මෙවැනි වැඩසටහන් ගණනාවකින් අපි ගම දියුණු කිරීමට මුදල් ලබාදෙනවා.

ගම දියුණු වුණාම, ගමේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වුණාම එයින් කොටසක් ගමේ පන්සලට යනවා. ගමේ ජනතාවට අවශ්‍ය ව්‍යාපාර කරගෙන යෑමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පහසු ක්‍රමයට ණය මුදල් ලබාදෙනවා. මේ හැම එකෙන්ම කරන්නේ විශේෂයෙන්ම ගමේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්නයි.

කුඩා ණය ගත්තු කාන්තාවන්ට ඒ ගත්තු ණය අවලංගු කිරීමට අපි ක්‍රියාකරගෙන යනවා. මේ සෑම දෙයින්ම ණය බර අඩු කරලා අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩිකරලා ගම දියුණු කිරීමටයි අපේ ඉලක්කය. ගම වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් ඉදිරියට ගෙනයනවා.

මෙසේ ගම දියුණු කරන ගමන් අපි වෙහෙර විහාරස්ථාන අමතක කළේ නෑ. වෙහෙර විහාරස්ථාන දියුණු කිරීම සදහා බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් මුදල් ලබාදෙනවා, සංස්කෘතික ත්‍රිකෝණයෙන් මුදල් ලබාදෙනවා, ජනාධිපති අරමුදලෙන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මුදල් ලබාදෙනවා. ඒ ආයතන හතර මගින් මීට පෙර නොලැබුණු ලෙස කුඩා වෙහෙර විහාරස්ථානවලට මුදල් ලබාදෙනවා.

ගම්පෙරළියෙනුත් ගමේ විහාරස්ථානවලට මුදල් ලබාදෙනවා වගේම සෑම ආයතනයකින්ම සෘජුව ගම දියුණු කිරීමත් ගමේ දියුණුවෙන් වෙහෙර විහාරස්ථාන දියුණු කිරීමත් අපි කරගෙන යනවා. මේ රටේ ජනතාව දුක්විඳපු කාලයක් තිබුණා. පසුගිය ආණ්ඩුව ගත්තු ණය ගෙවීමට සිදුවුණේ වත්මන් රජයටයි. ඒක අපි පිළිගන්නවා. දැන් එම ණය උගුලෙන් රට ගොඩ ඇවිත් තිබෙනවා.

කෘෂිකර්මාන්තය දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වී ගොවියාට අස්වැන්න අලෙවිකිරීමට හොඳ මිලක් මෙම කන්නයේ සිට ලබාදීමට බලාපොරොත්තු වෙනවා. පාසල් දියුණු කිරීම, අධ්‍යාපන ක්‍රමය නවීකරණය කිරීම, සෞඛ්‍ය ක්‍රමය දියුණු කිරීම මගින් එම සියලු පහසුකම් ලැබෙන්නේ ගමේ ජනතාවටයි.

අපි ගම අමතක කර නෑ. ගමේ දියුණුවෙන් තමයි රටේ දියුණුව ඇතිවන්නේ. ගම දියුණු වෙනවානම් විතරයි ගමේ පන්සල දියුණු වෙන්නේ. ඒ නිසා ගම සහ පන්සල දියුණු කිරීම සඳහා සෘජු හා වක්‍රව ආධාර දෙන ක්‍රමවලින් කිසිදු ආණ්ඩුවක් නොකළ සේවයක් වත්මන් රජය විසින් ගම්මානවලට ලබාදෙනවා. එයින් සම්පුර්ණ ප්‍රයෝජනය ගන්න කියා ගමේ ජනතාවට කියන්න කැමතියි.

කැකිරාව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා,

ග්‍රාම රාජ්‍ය වැඩසටහන යටතේ කැකිරාව ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක් සහ මාර්ග කීපයක් ප්‍රතිසංස්කරණ කිරීමට හැකිවුණා. එය ප්‍රදේශයේ ජනතාව ලද ජයග්‍රහණයක්. කිසිදු රජයකින් නොකළ සේවාවක් මෙම රජය විසින් කැකිරාව ප්‍රදේශයට කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නිවැරදි දැක්මක් තුළින් වෙහෙර විහාරස්ථාන දියුණු කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කැකිරාව ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ ජීවනෝපාය කෘෂිකාර්මාන්තයයි. එය දියුණු කිරීමට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇති බව අගමැතිතුමා පැවසුවා.

ගම්පෙරළිය වැඩසටහන මගින් අද ගමේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙනවා. ගමේ පාරවල් ටික හැදෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කුඩා ව්‍යාපාරිකයන් දිරිගැන්වීමේ ණය ලබාදී තිබෙනවා. කැකිරාව ප්‍රදේශයේ සිටින ජනතාව තීරණය කළ යුතුයි වැඩ කරන පාලකයෝ කවුද, වැඩ නොකරන පාලකයෝ කවුද කියා.

කැකිරාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ජයරත්න දිසානායක මහතා,

අගමැතිතුමනි ඔබතුමා වියළි කලාපයේ ජනතාව බැලීමට පැමිණිම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වචනයක් ගන්නවා කියන්නේ ඉබ්බගෙන් පිහාටුවක් ගන්නවා වාගේ දෙයක්. නමුත් ඔබතුමා දෙපාරක් නොසිතා මෙම විහාරස්ථානයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමට ගත් පියවර පිළිබඳව ජනතාව වෙනුවෙන් අනේක වාරයක් ඔබතුමාට මා ස්තූතිවන්ත වෙනවා.

ඔබතුමා විපක්ෂයේ සිටි කාලයේ සිටම ඔබතුමා කැකිරාව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. පසුගිය රජය මගින් කැකිරාව ප්‍රාදේශයට ඉල්ලා සිටි සංවර්ධන වැඩසටහන් හරි ආකාරව ලැබුණෙ නැහැ. නමුත් ඔබතුමා අගමැති ධුරයේ වැඩ භාරගෙන කෙටි කාලයක් තුළ මෙම ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා.

ජායාරූප - හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න