‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශ කළේ රටේ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමටයි | දිනමිණ

‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශ කළේ රටේ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමටයි

  • උඩුබද්දාව සෙල්ගිරි විහාරයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරමින් ජනපති කියයි
  • උඩබද්දාව සමූහ- ආර්.එම්. කරුණාතිලක

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාවට පූර්වගාමීව “ත්‍රිපිටකාභිවන්දනා” සතියක් ප්‍රකාශයට පත් කළේ රටේ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙන්ම රටේ තරුණ පරපුරට ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ අවබෝධයක් ලබාදීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

උතුම් බෞද්ධ දර්ශනය විවිධ ලෙස අර්ථකතනය කිරීමට ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින අතර ඒ පිළිබඳ අදහස් දැක්වීමේ දී තමන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා තමා ජනාධිපතිවරයා ලෙස මෙන්ම බෞද්ධයෙකු ලෙස බෞද්ධ දර්ශනයේ ආරක්ෂාව හා එය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරන බව අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ කුලියාපිටිය, නැවකඩ, උඩුබද්දාව සෙල්ගිරි විහාරයේ අභිනව ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට පසුගියදා (17) එක්වෙමිනි.

උඩුබද්දාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නැවකඩ ගම්මානයේ මුදුන්මල්කඩ ලෙස හැඳින්වෙන නැවකඩ මහවැව අභියස පිහිටි සෙල්ගිරි විහාරය ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත පුණ්‍ය භූමියකි.

ස්වභාවික කළුගලින් නිමකර ඇති මේ අලංකාරවත් සෙල් පිළිම වහන්සේ අඩි 56ක උසින් යුතුය.

ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය ජනාධිපති අතින් නිරාවරණය කෙරිණි.

අභිනව ප්‍රතිමා වහන්සේ වෙත පළමු මල් පූජාව සිදු කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

විහාරවාසී ආලංකුලමේ ප්‍රේමසිරි ස්වාමින් වහන්සේ වෙත ජනාධිපතිවරයා විසින් විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිවරයා වෙත අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් පිළිගැන්වීය.

අභිනව බුද්ධ ප්‍රතිමාවහන්සේ නිර්මාණය කළ දේශබන්දු සී.ඩබ්ලිව්. වික්‍රමසිංහ මහතා වෙත ද ජනාධිපතිවරයා අතින් සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

එහිදී වැඩිදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. මෙසේද කීය.

අප සියලු දෙනාට වගේම මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාවටත් අන්‍යා ආගමික භවතුන්ටත් මේ උතුම් ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගැනීමටත් දැක බලා ගැනීමටත් ලැබීම මම හිතන්නේ මහා පින්වන්ත කාර්යයක් ලෙසයි.

අපේ ආලංකුලමේ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම සඳහා ඉතාමත් කැපවීමකින් ධෛර්යයකින් සහ උනන්දුවකින් කටයුතු කර තිබෙනවා.

මේ පුණ්‍ය කටයුත්ත කරන්න සූදානම් වුණු දවසේ ඉඳලා ලැබුණු සහයෝගය, ආශිර්වාදය, පරිත්‍යාගය විඳින්නට සිදුවූ නින්දා අපහාස පිළිබඳව ආලංකුලමේ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේ මෙන්ම අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාවල දී සඳහන් කළා. මේ සියලු කටයුතුවලදී බෞද්ධයන් විදියට අපි විශ්වාසය තබන්නේ අටලෝ දහම පිළිබඳවයි. ලාභෝ අලාභෝ.. අයසො යසොච .. නින්දා ප්‍රශංසාච.. සුඛඤ්ච දුක්ඛං...

ඔබ වහන්සේ මෙවැනි පුණ්‍ය කටයුත්තකට මුල් වෙලා මේ ඓතිහාසික ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර දැක බලා ගැනීමට සැලසීමත් වගේම ඔබ වහන්සේට කොතෙක් නින්දා අපහාස ආවත් ඔබ වහන්සේගේ චිත්ත ධෛර්යය සකස් කරගෙන ඔබ වහන්සේ ලබාගත් මහා කුසල ධර්මය හේතුවෙන් ඔබ වහන්සේට කිසි දෙයකින් අඩුවක් වන්නේ නැහැ. බෞද්ධයන් විදියට අපි දන්නවා බුදුන් වහන්සේ තරම් නින්දා අපහාස විඳි කෙනෙක් ලෝකයේ නැහැයි කියලා. අපි බෞද්ධ දර්ශනය පිළිපදින අය විදියට සැලෙන්න වුවමනා නැහැ.

පිරිහිලා තිබෙන සමාජයක අපි දකින සියලු ප්‍රශ්නවලට විසඳුම තිබෙන්නේ බුදුන් වහන්සේ දේශනා කළ උතුම් ථෙරවාද බෞද්ධ දර්ශනයේයි. අද මේ පුණ්‍ය කටයුත්තට විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු දායක සභාව දානපතීන් පරිත්‍යාගශීලීන් සහාය දුන්නා.ගම්වාසීන් මේ සඳහා මොනතරම් කැපවීම් කළා ද කියලා විහාරාධිපති ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ඔවුන් තමන්ගේ මාසික ආදායමින් පවා මුදල් පරිත්‍යාග සිදුකර තිබුණා.

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා අනුශාසනා කළ පරිදි ත්‍රිපිටකාභිවන්දනා සතිය මේ සතියේ ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය තීරණයක් අරගෙන එය ප්‍රකාශයට පත්කර යුනෙස්කෝ සංවිධානයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ ඉල්ලීම ඉදිරිපත් කළාට පසුව ඒ යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ස්ථීර කිරීමට ඉඩකඩ ලබාදෙන්න කියා ඉන්දීය රජය අපෙන් ඉල්ලීමක් කළා. ඒ වගේම විශේෂයෙන් ආසියාතික බෞද්ධ රටවල්වල රාජ්‍ය නායකයන් වගේම සංඝරාජ ස්වාමීන් වහන්සේලා, මහානායක ස්වාමීන් වහන්සේලා ඒ යෝජනාවට ඒ අයගේ අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රසාදය ලබාදෙන්න, ගෞරවය ලබාදෙන්න ඉඩදෙන්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කළා.

ත්‍රිපිටකාභිවන්දනා සතියක් ප්‍රකාශයට පත් කළේ ඇයි. අපේ පිරිහෙන සමාජයට ත්‍රිපිටකය පිළිබඳව අවබෝධයක් ලබාදීම වෙනුවෙන්, අපේ බෞද්ධ ජනතාව ඒ වෙත හැඩගැස්වීමෙන් තිබෙන්නා වූ වැදගත්කම නිසයි. අපි මේ විදියට වැඩකටයුතු සිදුකරන්නේ කියන එක ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්නට ඕනෑ. ඔබ වහන්සේලාගේ අනුශාසනාවලදී සඳහන් කළා මෑත භාගයේ අලුත් පිරිසක් එකතු වෙලා බෞද්ධ දර්ශනය පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරන්න පටන් අරන් තිබෙන බව. ඔබ වහන්සේලා සඳහන් කළා වගේම මීට මාස කිහිපයකට පෙර මා මේ ගැන ප්‍රකාශයක් කළා .රාජ්‍ය නොවන සංවිධානවලින් එන සල්ලිවලින් තමයි මේ විදියේ භික්ෂූන් වහන්සේලා සුළු පිරිසක් අපේ බෞද්ධ දර්ශනය පිළිබඳව වැරදි අවබෝධයක් ලබාදෙන්න කටයුතු කරන්නේ කියලා. ඊට පසුව දැන් මාසයකට පමණ කලින් මට උන්වහන්සේලාගෙන් පණිවිඩයක් ආවා මම උන්වහන්සේලාට අපහාස කළා කියලා .උන්වහන්සේලා ළඟට ඇවිත් සමාව ගන්න කියලා. එහෙම නැත්නම් වහාම නරක විදියට කටයුතු කරනවා කියලා. උන්වහන්සේලා ඒ පණිවිඩයේ සඳහන් කර තිබුණා. මට ඒ පිළිබඳව දැනුම්දීම කළේ බොහොම උගත් වැදගත් මහත්තයෙක්. මම ඒ මහතාට කිව්වා මම රටේ නායකයා වගේම බෞද්ධයෙක් විදියට ඒ පිරිස කවුද කියලා රටට හඳුන්වා දීමට අවශ්‍ය නිසා එවැනි ක්‍රියා පිළිබඳව නිතරම සඳහන් කරනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේත් මෙවැනි පිරිස් හිටියා. ඒ නිසා අද වාගේ වකවානුවක මේ ගැන පුදුම වෙන්න ඕනෑ නැහැ. එහෙත් අපි මේ ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට පත්කළේ මෙවැනි ක්‍රියා සමාජයේ ඇති වෙනවා වගේම බෞද්ධ දර්ශනය තුළ අපේ වැඩිහිටියන්ටත් මවුපියන්ටත් වඩා නව උගත් තරුණ පරපුර දැනුවත් කිරීමේ අවශ්‍යතාව නිසයි. කෙනෙක් ඇහුවොත් ත්‍රිපිටකය කියන්නේ මොකක්ද කියලා බෞද්ධයන්ට වුණත් ඒක කියාගන්න අපහසු වෙනවා. ඒ නිසා ත්‍රිපිටකය පිළිබඳව දැනුවත් කිරීම අපි කළ හැකි ආකාරයෙන් මහා සංඝරත්නය ප්‍රමුඛව අප විසින් කළ යුතුයි කියා මා විශ්වාස කරනවා. ඒ නිසා ඒ උතුම් කාරණය පිළිබඳව අපි සියලු දෙනාම කැපවෙනවා වගේම මේ පුණ්‍ය කටයුත්තට මහා ශ්‍රද්ධාවක් තිබිය යුතුයි. ඒක තමයි ලොකුම පින. ඔබ වහන්සේලාට වගේම ඊට උපකාර කළ සෑම කෙනෙක්ටම මේ මහා පින ලැබෙනවා වගේම මෙය නිර්මාණය කිරීමේ දී දායක වූ පිරිස වෙත මොනතරම් කුසලයක් ලැබෙනවාද.

බෞද්ධ රටක් විදියට කලා නිර්මාණ, ශාස්ත්‍රීය දියුණුව එදා ඓතිහාසික යුගවල සිට එදා මෙදා තුර කාලය ගත්තාම අපේ දේශීය නිර්මාණකරුවන් කොයිතරම් දක්ෂ ලෙස ඉටුකරනවාද කියලා අප දන්නවා. අපේ රට ශාස්ත්‍රීය දැනුමෙන්, හැකියාවෙන්, නිර්මාණශීලිත්වයෙන්, කුසලතාවලින් පොහොසත් රටක්. ආර්ථික වශයෙන් අපිට අමාරුකම් තිබෙනවා තමයි. තවත් එවැනි අමාරුකම් කොතෙක් තිබුණත් අනෙකුත් රාජ්‍යයන්වල ජීවත්වන ජනතාව දෙස බලනවිට අපි පොහොසත් ජනතාවක්. ලෝකයේ වෙනත් රටවලට ගියාම තමයි දැනෙන්නේ අපේ රටේ වෙනස සහ ඒ රටවල් වෙනස් ද කියලා. අපි බොහෝ වෙලාවට කතාකරනවා මහා ධනවත් රටවල් සියලුම සම්පත් තිබෙන රටවල් කියලා. නමුත් මොනතරම් ධනවත් වුණත්, මොනතරම් සම්පත් තිබුණත් බොහොම සුළු ප්‍රමාණයයි තිබෙන්නේ අපේ වගේ අධ්‍යාත්මය දියුණු රටවල්. ඒ මහා ශක්තිය අපිට ලැබී තිබෙන්නේ බෞද්ධ දර්ශනයෙන්. ඒ නිසා අපි අපට සමාජයේ තිබෙන අභියෝග ජයගන්න, ඉදිරියට යන්න, අපි සැමවිටම බෞද්ධයන් විදියට අපේ ප්‍රතිපත්ති, වත්පිළිවෙත්, අනුව කටයුතු කරමු කියා ඉල්ලා සිටිනවා.

රාමඤ්ඤ මහානිකායේ මහානායක නාපාන පේමසිරි නායක හිමි, විහාරාධිකාරි ආලංකුලමේ ප්‍රේමසිරි නායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, මහජන නියෝජිතයන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය


“ත්‍රිපිටකාභිවන්දනා” සතියට දිවයින පුරා පාසල් සහ පිරිවෙන් එක්වෙති

“ත්‍රිපිටකාභිවන්දනා” සතියේ තෙවන දිනය වන පෙරේදා (18) දිවයින පුරා පාසල් සහ පිරිවෙන් කේන්ද්‍රකර ගනිමින් විවිධ වැඩසටහන් සංවිධාන කර තිබුණි.

එහි කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන කොළඹ 10, ගෝතමී බාලිකා විද්‍යාලයේ දී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ හා සාරධර්ම අංශයේ අධ්‍යක්ෂ නිමල් ධර්මසිරි සහ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී “ත්‍රිපිටකාභිවන්දනා” ප්‍රතිඥාව සිසු දැරියන් විසින් ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය සහ එම උතුම් ධර්ම දායාදය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැදගත්කම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කෙරිණි.

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය නිමිත්තෙන් පැවති ගද්‍ය, පද්‍ය සහ රචනා තරගවල ජයග්‍රාහක සිසුන්ට ත්‍යාග සහ සහතිකපත් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩල, මවුපියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර “ත්‍රිපිටකාභිවන්දනා” සතියේ පාසල් සහ පිරිවෙන් දිනය වෙනුවෙන් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී ද විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුණි.

එහිදී ද සිසු දැරියන් “ත්‍රිපිටකාභිවන්දනා” ප්‍රතිඥාව ලබා දෙනු ලැබීය.

බෞද්ධ සංකල්පය ඔස්සේ නිර්මාණය කරන ලද විශේෂ නාට්‍ය සහ ගීතවලින් ද මේ අවස්ථාව වර්ණවත් විය.

“ත්‍රිපිටකාභිවන්දනා” සතියේ සිවුවන දිනය වන 19 වැනි දින රාජ්‍ය නොවන අංශයේ දායකත්වයෙන් වැඩසටහන් රැසකි.


නව අදහස දක්වන්න