වකුගඩු රෝගීන්ට ශාරීරික හා මානසික සුවය සලසන මෙත්සිරි සෙවණ | දිනමිණ

වකුගඩු රෝගීන්ට ශාරීරික හා මානසික සුවය සලසන මෙත්සිරි සෙවණ

මූළු රටම මහත් ව්‍යසනයකට ඇද දමමින් තිබූ මාරාන්තික, නිදන්ගත වකුගඩු රෝගය මුලින්ම වාර්තා වූයේ 1994 වසරේදීය. ඒ උතුරුමැද පළාතෙනි. මේ වැව් බැඳි රටේ ජනතාව, පානීය ජල අවශ්‍යතාවන් සපුරා ගන්නේ ප්‍රධාන වශයෙන් වැව්වලිනි. වකුගඩු රෝගයේ පැවැත්මද ප්‍රාදේශීය වශයෙන් රජරට ගංගා නිම්න හා වැව් ආශ්‍රිතව විසිරී පවතී. රෝගීන්ගේ පැවැත්මද උතුරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක පුරා පැතිර පවතින්නේද ඒකාකාරීව නොවේ.

කෙසේ වෙතත් මේ වනවිට රටේ පළාත් රැසකම රෝගීන් වාර්තාවීමේ නව ප්‍රවණතාවක් දැකගන්න හැකි විය. ආරම්භයේ දී රෝගයට ගොදුරුවූවන්ගේ බහුතරය වයස අවුරුදු 40ත් 60ත් අතර වයස්ගත පුද්ගලයන් වූ අතර එය මේ වනවිට වයස් සීමාවකින් තොරව කුඩා දරුවන් දක්වාම පැතිර තිබෙන අයුරු දැක ගත හැකිය.

1994 වසරේ දී ව්‍යාප්ත වීමට පටන් ගත් මේ වකුගඩු රෝගය 2009 වසර වනවිට සමස්‌ත රෝගීන් සංඛ්‍යාව පහළොස්‌ දහස ඉක්‌මවන තැනට අවම වශයෙන් රෝහල් හා නිවෙස්වල වසරකට මියැදෙන රෝගීන්ගේ සංඛ්‍යාව 1500 ඉක්ම වූ බව සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. එම වසරේ දී පමණක් අනුරාධපුර රොහලෙන් රෝගීන් 9000ක්‌ ප්‍රතිකාර ලැබූ අතර රෝගීන්ගෙන් බහුතරය උතුරුමැද පළාතේ නිකවැව ප්‍රදේශයත්, ඌව පළාතේ ගිරාඳුරුකෝට්‌ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වූහ.

උතුරු මැද පළාතෙන් ඇරඹුණු මේ වකුගඩු රෝග වසංගතය කෙමෙන් කෙමෙන් උතුරු,වයඹ,ඌව නැඟෙනහිර වගේම දකුණු පළාත්වලටත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී මේ වනවිට ලංකාවේ දිස්ත්‍රික්ක 11 ක් පුරා පැතිරෙන්නට පටන් ගෙන ඇත.මේ රෝගය මෙරට ගොවිතැන ප්‍රධානම ජීවනෝපාය කරගත් ගොවීන් ඉලක්ක කරගෙන මෙන් ව්‍යාප්ත වී ගොවියාට මරු කැඳවන රෝගයක් බවට පත්වීම රට මුහුණ දුන් විශාලම අභියෝගය බවට පත් විය. නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව වසරින් වසර දෙගුණයක් තෙගුණයක් වන්නට විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2013 වසරේ නිකුත් කළ වාර්තාවකට අනුව උතුරුමැද පළාතේ සමස්ත ජනගහනයෙන් සියයට 16ක් ලක්ෂයකට අධික පිරිසක් මේ නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන අතර 20,000ක් පමණ ඒ වනවිට මියගොස් ඇති බව අනාවරණය කෙරිණි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය 2015 දෙසැම්බර් වනවිට අවදානම් ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් සඳහා කරන ලද පරීක්ෂාවෙන් අනාවරණය වූ රෝගීන් සංඛ්‍යාව 20828කි.

එම කාලවකවානුවේ වකුගඩු රෝගියෙකු හඳුනා ගන්නා විට එම රෝගියාගේ වකුගඩු සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයකින් විනාශ වී තිබීම ඔවුන් එම රෝගී තත්ත්වයෙන් මුදාගැනීම අසීරු කරුණක් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛ විවිධ පර්යේෂණ ආයතන 2011 වසර වන තෙක් මේ නිදන්ගත වකුගඩු රෝගයට හේතුවන්නා වූ මුලික හේතු කාරක සොයා පර්යේෂණ සිදු කළත් ඒ කිසිදු පර්යේෂණයකින් පිළිගත හැකි නිශ්චිත හේතුවක් සොයා ගන්න නොහැකි විය. දියුණුම පර්යේෂණ දැනුම් සම්භාරය ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා වසර ගණනාවක් පර්යේෂණ සිදුකළත් මේ රෝගයට නිශ්චිත හේතුවක් සොයාගත නොහැකි විය. එසේ වුවද මේ රෝගීන්ට නිකරුණේ මියයාමට දිය නොහැකිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වකුගඩු රෝගයට ගොදුරුවූවන් මුදාගැනීමේ වැඩපිළිවෙළට මුලපුරන්නේ 2010දීය. ඒ ඔහු සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ 2010 අප්‍රියෙල් 23 වැනිදා සිට 2014 නොවැම්බර් 21වැනිදා දක්වා වූ කාලයේය. එහිදී ඔහු කරන ලද කැපකිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාල ශක්තියක් විය. ඔවුන් සිදු කළ පර්යේෂණවලින් නිශ්චිත හේතු සොයාගන්නට නොහැකි වුවත් වකුගඩු රෝගය පාලනය කරන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් උත්සාහයේ සාර්ථකත්වය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය නිවාරණය සඳහා වූ 2016 – 2018 ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවූයේ මූලය අවිනිශ්චිත නිදන්ගත වකුගඩු රෝගය තවදුරටත් ව්‍යාප්තිය වැළැක්වීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා සුබසාධනය වෙනුවෙනි.

එම සැලැස්මට අනුව රෝගීන් පෙර හඳුනා ගැනීම සඳහා රෝහලේ සහ ජංගම සේවා මගින් පුද්ගලයන් පරීක්ෂා කිරීම, විශේෂඥ වෛද්‍යවරුන් හා අනෙකුත් සහායකයන් ලබා දී මානව සම්පත් සම්පාදනය කිරීම, සායන මධ්‍යස්ථාන ඉදිකිරීම,පෙර හඳුනාගැනීම සඳහා අවශ්‍ය රසායනාගාර උපකරණ සහ ප්‍රවාහන පහසුකම් සැලසීමෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, පෙර හඳුනාගැනීමේ සායන පැවැත්වීමට අවශ්‍ය තාක්ෂණික අත්පොත් ලබාදීම සහ රෝගීන්ගේ වාර්තා සටහන් පොත් ලබාදීම, ආයුර්වේදය මගින් සිදුකරන රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ විධිමත් කිරීම වැනි කාර්යයන් සිදුකිරීම ඇරැඹුණි.

එමෙන්ම වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගීන්, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාව සඳහා සුබසාධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන් දිරිමත් කිරීමට හා ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට පියවර ගත් අතර අනුරාධපුර,වවුනියාව,බදුල්ල දිස්ත්‍රික්කවල උසස්පෙළ හදාරන සිසුන් 111 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදීමටත්, නිවාස නොමැති වකුගඩු රෝගී පවුල් 10 කට නිවාස ඉදිකරදීමටත් මේ ව්‍යාපෘතිය යටතේ පියවර ගෙන තිබුණි.

වකුගඩු රෝගයට මූලික වශයෙන් ඉහළම බලපෑම ඇති කළේ පානීය ජලය බව අනාවරණය විය. හුදෙක්ම මේ ජනතාව පානීය ජලය ලබාගෙන ඇත්තේ වැව්, ළිං හා ඇළ මාර්ග ඔස්සේ පිරිසිදු යැයි සහතික කළ නොහැකි ජලයයි. එම අභියෝගයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව බවුසර් මගින් පිරිසිදු පානීය ජලය සැපයීම, වැසි ජල ටැංකි ඉදිකිරීම, ප්‍රති අශ්‍රැතිකරණ ජල පද්ධති ලබාදීම, පවතින ජල සම්පාදන ක්‍රම දීර්ඝ කිරීම, නව ග්‍රාමීය ජල සම්පාදන ක්‍රම ආරම්භ කිරීම, පවතින ජල සම්පාදන ක්‍රම පුනරුත්ථාපනය කිරීම, විශාල ජල පෙරණ යන්ත්‍ර සහ ගෘහස්ථ ජල පෙරණ යන්ත්‍ර ලබාදීම, පානීය ජල සැපයුම් ක්‍රමවල ගුණාත්මකභාවය, තාක්ෂණික යෝග්‍යතාව පරීක්ෂාව හා අධීක්ෂණය කිරීම මෙන්ම අදාළ රසායනාගාර පහසුකම් වැඩිදියුණු කිරීම එමගින් සිදු කෙරිණි.

වකුගඩු රෝගය මුලිනුපුටා දැමීම මුලික කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේ සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලැබුණු මුදල උපයෝගි කරගෙන ආරම්භ කරන ලද වකුගඩු අරමුදල මේ සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ බව කිවයුතුය.

අනුරාධපුර මෙත්සිරි සෙවණ වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනාධිපතිවරයාගේ එම උත්සාහයේ තවත් ප්‍රතිඵලයකි. එම පර්යේෂණ මධ්‍යස්ථානය අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත විවිධ දානපතීන්ගේ හා මහජන ආධාර මත ගොඩනංවන ලද ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437 ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගි කරගෙන වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් සිදුකරනු ලබන ව්‍යාපෘති අතරින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධිතව මේ මෙත්සිරි සෙවණ වකුගඩු රෝගි සහන සේවා මධ්‍යස්ථානය ඉදිකර ඇත. මෙහි විශේෂත්වය මේ සඳහා රජයේ මුදල් යොදානොගෙන මෙවන් සුවිශේෂි ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත්කිරීමට ලැබීමය.

ජාතික වකුගඩු අරමුදලේ ආධාර මත මෙවැනිම ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වන අතර මෙවැනිම වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් රුපියල් මිලියන 628 ක වියදමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිතව ඉදිකර පසුගියදා ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි. මීට අමතරව තවත් එවැනිම රෝගි සුබසාධන මධ්‍යස්ථානයක් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින අතර එය තව දින කිහිපයකින් ජනතා අයිතියට පත්කෙරෙනු ඇත.

රටේ වකුගඩු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩිවෙත්ම රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා දුරඈත පළාත්වල රෝහල් කරා යමට සිදුවන අතර ඔවුන් මුල් අවදියේ රෝගය හඳුනාගෙන නොතිබීම නිසා ඔවුන් රුධිර පරිතාණ කාන්දුකරණයට හෝ වකුගඩු බද්ධය සඳහා යොමුකිරීමට සිදුවේ. එවන් අවස්ථාවල දී බොහෝ රෝහල්වල මේ සඳහා ප්‍රමාණවත් භෞතික හා මානව සම්පත් නොමැතිවීමෙන් රෝගීන්ට කොළඹ, මහනුවර, අනුරාධපුර වැනි ප්‍රදේශවල පිහිටි ප්‍රධාන රෝහල් කරා යාමට සිදුවනු ඇත. එවැනි රෝහල් කරා යාමට සායනයට පෙර දිනයේම එම ප්‍රදේශවලට ගොස් නවාතැන් ගැනීමටද සිදුවනු ඇත. එය මේ රෝගීන්ට සිදුකළ හැක්කක් නොවේ. ආර්ථික වශයෙන් දුර්වල පිරිස් මාර්ග අයිනේ බස් නැවතුම්පොළවල රාත්‍රිය ගෙවන්නට සිදුවන අවස්ථාද අපි දැක ඇත්තෙමු.

වකුගඩු රෝගීන්ගේ මෙවන් අපහසුතා හඳුනාගත් ජනාධිපතිවරයා ඊට පිළියමක් ලෙස දෙන ලද උපදෙස් මත ජාතික වකුගඩු අරමුදලේ ප්‍රතිපාදනවලින් මේ සත්කාර මධ්‍යස්ථානය ඉදිකෙරුණේ වකුගඩු රෝගීන් සඳහා නේවාසිකාගාර පහසුකම්වලට අමතරව තවත් පහසුකම් රැසක් සමගිනි.මෙසේ ඉදිකරන ලද මෙත්සිරි සෙවණ වකුගඩු රෝගී සහන සත්කාර සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානයෙන් වකුගඩු රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා නවාතැන් පහසුකම් සැලසීම, රෝගීන්ට හා අනෙකුත් අවශ්‍යතා ඇති පිරිස් සඳහා උපදේශන සේවා සැලසීම, වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ සායන හා පරීක්ෂණ සඳහා පහසුකම් සැලසීම, පරිතාණ කාන්දුකරණ ක්‍රියාවලිය නිරූපණය කිරීමේ ආදර්ශ ඒකකය, අධ්‍යාපනික හා වෙනත් පහසුකම් ඒකකය, වකුගඩු රෝගය පිළිබඳ මැදිහත්ව කටයුතු කරන රජයේ ආයතන සඳහා අන්තර් ආයතන සම්බන්ධීකරණ ඒකකය, එකවර 250 දෙනෙකුට සහභාගි විය හැකි වකුගඩු රෝග නිවාරණ පිළිබඳ අධ්‍යාපනික තොරතුරු ලබාගැනීමේ පහසුකම් සහිතව මේ මධ්‍යස්ථානය වකුගඩු රෝගීන්ගේ ශාරීරික සුවතාවට අමතරව මානසික සුවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඉදිකර ඇති හෙයින් මෙත්සිරි සෙවණ වකුගඩු රෝගීන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබාදෙන සුවිශේෂි ව්‍යාපෘතියක් වනු ඇත.

ටී.චන්ද්‍රසේකර


නව අදහස දක්වන්න