සෑම රජයකම මූලික වගකීම මිනිසා ජීවත්කරවීමට කටයුතු කිරීමයි | දිනමිණ

සෑම රජයකම මූලික වගකීම මිනිසා ජීවත්කරවීමට කටයුතු කිරීමයි

  • ‘ධර්මාභි වන්දනාගම’ ජනතා අයිතියට පත්කරමින් ඇමැති සජිත් කියයි
  • රටක පුරවැසි පරපුර රැක ගැනීම ජාතික න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිය යුතුයි
  • විරුද්ධවාදීන්ගේ බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා

රටක ජාතික න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිය යුත්තේ පුරවැසි පරපුර රැකගැනීම බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය, දිගන්හල්මිල්ලෑව ප්‍රදේශයේ ඉදිවූ ධර්මාභීවන්දනාගම උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

යහපාලන රජය අද ‘ගම් උදාව’ වැඩසටහන හරහා නැවතත් රට තුළ විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා. යහපාලන රජයේ පාලකයන් වන අප අද සහන ලබා දෙන්නේ රටේ පොදු ජනතාවටයි. නමුත් එදා සහන හිමි වුණේ රටේ පාලකයන් ඇතුළු වරප්‍රසාදලත් පන්තියටයි. රටේ පොදු ජනතාවට සහන ලබා දෙනවාද, නැතහොත් රටේ විශේෂ පන්තියකට සහන ලබා දෙනවාද කියා තීරණය කළ යුත්තේ ඔබයි. අද රට තුළ බොරුවට, වංචාවට, දූෂණයට ඉඩක් නැහැ. නැවත මෙරට තුළ බොරුවට, වංචාවට, දූෂණයට ඉඩ ලබා නොදිය යුතුයි. එම නිසා හොදින් සිතා බලා බුද්ධිමත්ව ඉදිරි කාලය තුළදී ඔබ තීන්දු තීරණ ගත යුතු වනවා. ඒ ඔබ ගන්නා තීන්දු තීරණවල ඵල විපාක විඳින්නට සිදු වන්නේද ඔබට නිසයි.

සෑම රජයක මූලික වගකීම වන්නේ මිනිසා ජීවත් කරවීම උදෙසා කටයුතු කිරීමයි. ඒ වෙනුවෙන් යහපාලන රජයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහ අමාත්‍ය මණ්ඩලයේ අප සියලුම දෙනා ඇප කැප වී ක්‍රියා කරනවා. රජයක් ලෙස ඕනෑම අභියෝගයකට මුහුණ දී රටේ ජීවත් වන සියලු ජනතාව ආරක්ෂා කර ගනිමින් සංවර්ධන ගමන අප දියත් කරනවා. දේශප්‍රේමී, නිදහස්, ශ්‍රේෂ්ඨ මාතෘ භූමියක් නිර්මාණය කිරීම පාලකයන් සතු වගකීමක්. එය රටේ ජනතාවගේත් පොදු බලාපොරොත්තුවයි. රටේ ජනතාවටද ඒ සඳහා යම් වගකීමක් පැවරී තිබෙනවා. එම නිසා ජනතාවගේ සහායද ලබා ගනිමින් පාලකයන් සහ පුරවැසියන් එක්වී ශ්‍රේෂ්ඨ මාතෘ භූමියක් නිර්මාණය කළ යුතුයි.

අද අප රජයක් ලෙස විශාල සංවර්ධනය සිදු කරනවා සේම, පසුගිය රජය සමයේ ලබා ගත් විවිධ ණය අප තවදුරටත් ගෙවමින් සිටිනවා. එසේ වුවත් අප දියත් කරන ජනතා සංවර්ධනය කිසි ලෙසකින් හෝ අඩු කරන්නේ නැහැ. පාලකයන් වන අප දුෂ්කරතා මධ්‍යයේ ක්‍රියා කිරීමට පුරුදු විය යුතුයි. රට, දැය හා ජනතාව වෙනුවෙන් ආදර්ශමත් සංවර්ධනයක් දියත් කරන්නට අවශ්‍යයි. රජයේ ඇමැති මණ්ඩලය ලෙස ජනතාවට ආදර්ශයක් ලබා දිය යුතුයි. නිවැරැදි ගමනක් යා හැකි වන්නේ එවිටයි. යහපාලන රජයේ මූලික අරමුණත් එයයි.

වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගෙන් අපට ගත හැකි ආදර්ශය කුමක්ද ? ඔවුන් සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පිඹුරුපත් සකස් කරන්නේ නැහැ. ඔවුන් කටයුතු කරන්නේ තම පවුල් පරපුර ගැන නොසිතා මෙරට ලක්ෂ 210 ක් වන පුරවැසි පරපුර ගැන පමණක් සිතායි. රටක පුරවැසි පරපුර රැක ගැනීම ජාතික න්‍යාය පත්‍රය තුළ ඉහළින්ම තිබිය යුතුයි. අප සියල්ල සිදු කරන්නේ රටේ පුරවැසි පරපුරේ සුබ සිද්ධිය උදෙසායි.

අප සිදු කරන විශාල නිවාස සංවර්ධනය දැක දැක විරුද්ධවාදීන් අපට විවිධ චෝදනා එල්ල කරනවා. ඔවුන් කියනවා, අපි පෙට්ටි ගෙවල් හදනවාලු. අපේ ගම්මාන 2500 ඉලක්කය සිහිනයක්ලු. මෙවැනි බොරු දේවල් ප්‍රකාශ කරන අයගේ ප්‍රතිරූපවලට ඔබ රැවටෙන්නට එපා. ප්‍රතිරූපය නොව ක්‍රියාව දෙස ඔබ හොඳින් බලන්න. ඒ අනුව තීරණවලට එළැඹිය යුතුයි. විරුද්ධවාදීන් කුමක් කීවත් අප ඉන් සැලෙන්නේ නැහැ. අපේ ගමන නවත්වන්නෙත් නැහැ. ‘සරු දෙය නිසරු දෙය ලෙසත්, නිසරු දෙය සරු දෙය ලෙසත්’ වරදවා වටහා ගනිමින් රට අගාධයට යනවා. රටක සිදුවන හොඳ දේ හොඳ විදිහටත්, නරක දේ නරක විදිහටත් දකින්නට අප පුරුදු විය යුතුයි. එම නිසා විරුද්ධවාදීන්ගේ බොරු ප්‍රචාරවලට රැවටෙන්නට එපා. ජනතාවට අවශ්‍ය ඉදිරියේදී රට තුළ උදා ගම්මාන 20,000 ක් ඉදිවීම දැකීමද, නැතහොත් ලබන සැප්තැම්බර් මාසයෙන් පසුව රට තුළ රජ මාළිගා 9ක් ඉදි වීම දැකීමද කියා රටේ ජනතාවගෙන් ප්‍රශ්න කරන්නට කැමතියි.

යහපාලන රජය ආරම්භ කළ යළි පිබිදුනු ගම් උදාව වැඩසටහන යටතේ දිවයිනේ ජනතා අයිතියට පත්වන 174 වැනි උදා ගම්මානය වන්නේ “ධර්මාභිවන්දනාගම” යි. මේ උදා ගම්මානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, දිගන්හල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත්වන 23 වැනි උදා ගම්මානයයි.

නව නිවාස 56 කින් “ධර්මාභිවන්දනාගම” උදා ගම්මානය සමන්විතයි. ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 56 කට අප මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබා දී නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සුළු පොළී ණය මුදල්ද ලබා දුන්නා. ඔවුන් ඊට තම මුදල්ද එක්කර ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධනය යටතේ අද ඉතා වටිනා නිවාස ඉදිකර ගෙන තිබෙනවා. මේ උදා ගම්මානයේ කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 579ක පමණ මුදලක් වැය කර තිබෙනවා. පිරිසුදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් “ධර්මාභිවන්දනාගම” උදා ගම්මානය සමන්විතයි.

මේ උදා ගම්මානය ජනතා අයිතියට පත් වීමත් සමඟ මේ ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීමට අප කටයුතු කරනවා. අද දින මේ ගම්මානයේ පවුල් 56 ට නිවාස අයිතිය මෙන්ම, රුපියල් ලක්ෂ 336 ක් වටිනා බිම් කොටස් 56 ක අයිතිය හිමි වනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 127 කට රුපියල් ලක්ෂ 272 ක් වටිනා 'විසිරි නිවාස ණය' ලබා දෙනවා. පවුල් 40 කට රුපියල් ලක්ෂ 80 ක් වටිනා 'සොඳුරු පියස නිවාස ණය' ලබා දෙනවා. වකුගඩු රෝගීන් 150 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 440 ක නිවාස ආධාර ලබා දෙනවා. ප්‍රදේශයේ සිටින දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් 158 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දෙනවා. ප්‍රදේශයේ කලාකරුවන් 10 දෙනෙකු සඳහා රුපියල් 10,000 /= බැගින් වෛද්‍ය ආධාර ලබා දෙනවා.

අද අප නිවාස, ඉදිකිරීම් හා සංස්කෘකිත කටයුතු අමාත්‍යාංශය හරහා රට පුරා ඉලක්ක සහිත පැහැදිලි, ශීඝ්‍රගාමී නිවාස සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේ මූලික ඉලක්කය වන්නේ වසර 2025 දී රටේ ‘සැමට සෙවණ’ ලබා දීමයි. අපගේ පළමු ඉලක්කය වන්නේ 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රට තුළ උදා ගම්මාන 2,500 ක් ඉදිකිරීමයි. ඒ අනුව පළමු අදියරේදී උදා ගම්මාන 2,500 ක්, දෙවන අදියරේදී උදා ගම්මාන 5,000 ක්, තුන්වන අදියරේදී උදා ගම්මාන 10,000 ක් සහ සිවුවැනි අදියරේදී නැවත උදා ගම්මාන 2,500 ක් වශයෙන් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව වසර 2025 වන විට රටේ උදා ගම්මාන 20,000 ක් රටේ ඉදි කර ජාති, කුල මල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව ‘සැමට සෙවණ’ ලබා දෙන්නට කටයුතු කරන බව මා සතුටින් ප්‍රකාශ කරන්නට කැමතියි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 1,914 ක පමණ ඉදිකිරීම් කටයුතු අප ආරම්භ කර තිබෙනවා. ගම්මාන 2,500 ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 586 ක් අප ඉදි කළ යුතුයි. කුමන බාධා, විවේචන එල්ල වුවද මා කෙසේ හෝ මේ ඉලක්කය ජය ගන්නා බව ප්‍රකාශ කරනවා.

 


නව අදහස දක්වන්න