කන්ද උඩරට සංවර්ධනයට මිලියන 2400ක් | දිනමිණ

කන්ද උඩරට සංවර්ධනයට මිලියන 2400ක්

  • තොරතුරු තාක්ෂණය විෂයට වැඩි අවධානයක් යොමුකළ යුතුයි කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ
  • දූෂණයෙන් තොර නවීන රටක් උදාකිරීමේදී ඩිජිටල් තාක්ෂණය වැදගත් කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා
  • අපේ ඉල්මනයිට් විකුණන්නේ ඉතා අඩුම මිලටයි බිමල් රත්නායක

ලොව මවිත කළ තාක්ෂණයෙන් හා දැනුම් සම්භාරයෙන් හෙබි කන්ද උඩරට උරුමය සංරක්ෂණය හා සංවර්ධනයට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2400 ක් වෙන් කිරීමට යෝජනා කර ඇති බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවැසීය.

කන්ද උඩරට උරුමය සංවර්ධනය මහනුවරට පමණක් සීමා වූවක් නොවන බව පැවසූ ඇමැතිවරයා රටේ පොදු උරුමය රැකගැනීමට 2017 වසරේදී අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පිහිටුවූ බව ද පැවසීය.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (19) රැස්විය. නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථාවේ විවාදය හයවන දිනයට ආරම්භ කෙරිණි.

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය, ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමත්‍යාංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ පිළිබඳ කැබිනට් අමාත්‍යාංශ තුන විවාදයට ගැනිණ.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ) -

අපේ ඉල්මනයිට් නිධිය බේරාගන්න රජය නිවැරැදි වැඩපිළිවෙළක ඉන්නා බවක් පෙනෙන්නට නැහැ. ඉල්මනයිට් විකුණන්නේ ඉතා අඩුම මිලටයි. මේ පිළිබඳ ජාත්‍යන්තර අවබෝධය ගන්නවාද කියන එක ගැටලුවක් තිබෙනවා. ප්‍රතිපත්ති සකස් කරන විට බොහෝම දේවල් පිළිබඳ සැලකිල්ලට ගත යුතුයි. දැන් රජයේ පාසල්වල පිරිමි දරුවන්ට ටයි දාන්න කියලා යෝජනා කර තිබෙනවා. සමහර පොඩි පිරිමි දරුවන් ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරන්නේත් ටයි දමාගෙනයි. විශේෂ‍ෙයන්ම අපි ග්‍රීස්ම රටක් හැටියට ටයි දාන්න අවශ්‍ය නැහැ. මේ ක්‍රමය ශීතල රටවලට ප්‍රශ්නයක් නැහැ.

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -

ඌන උපයෝජිත වත්කම් හා ව්‍යාපාර පනත යටතේ රජයටඅත්පත් කරගත් අලාභය ලැබූ හෝ වසා දමනු ලැබ තිබූ ව්‍යාපාර 36 න් 29 ක් පමණ ආයෝජන මණ්ඩල නීතිය යටතේ සුදුසු ව්‍යවසායකයින් තෝරා ඔවුනට ව්‍යාපාර කටයුතු සඳහා පවරා දී තිබෙනවා. ඉතිරි වත්කම් 07 න් 06 ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා දී තිබෙනවා. ඒ සමඟම ඌන ක්‍රියාකාරී ආයතන හා ඌන උපයෝජිත වත්කම් පනත යටතේ පෞද්ගලික ව්‍යාපාර පවරා ගැනීමට ඇති ඉඩකඩ නිසා අවිනිශ්චිත හැඟීමක් ආයෝජනයන් තුළ ඇතිවීමට තිබෙන ඉඩකඩ නිසාම එම පනත අහෝසි කිරීමට පසුගිය අයවැයෙන් තීරණයක් ගත්තා. ඒ අනුව මේ පනත අහෝසි කිරීමේ කටයුතු අවසන් වෙමින් තිබෙනවා.

ජනතා වතු සංවර්ධන මණ්ඩල හා රාජ්‍ය වැවිලි සංස්ථාව දියුණු කිරීමට යෝජනා කර තිබෙනවා. 2015 දී වැවිලි අමාත්‍යාංශය අප අතට පත්වන විට අර්ථසාධක අරමුදල, සේවා නියුක්ති භාර අරමුදල හා විශ්‍රාමික පාරිතෝෂික ගෙවීමට තිබූ හිඟ වශයෙන් රුපියල් බිලියන 1.93 පමණ පැවතුණ අතර, මේ සඳහා කිසිදු වැඩපිළිවෙළක් යෙදීමට අපොහොසත්ව තිබුණා.

මෙවර අයවැයෙන් ආරම්භයක් ලෙස රුපියල් මිලියන 900 ක් හා ඉදිරියේදී මහනුවර සංවර්ධනය සඳහා මිලියන 1500 කුත් ලබාදීමට මුදල් ඇමැතිවරයා යෝජනා කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා (එජනිස) -

ලෝකයේ දියුණු රටවල විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය කැබිනට් නොවන අමාත්‍යාංශයක නැහැ. සාමාන්‍යයෙන් අමාත්‍යාංශවල ප්‍රො‍ටතෝල් අනුව විද්‍යා හා තාක්ෂණයට තිබෙන්නේ තුන්වන ස්ථානයයි. නමුත් අපේ රටේ විද්‍යා හා තාක්ෂණයට ලබා දී ති‍ෙබන්නේ ඉතාම පහළ තැනක්. මෙවර අයවැය මඟින් එම අමාත්‍යාංශයට ලබා දී තිබෙන මුදල පවා ප්‍රමාණවත් නැහැ. අද දවසේ මේ රටේ ආනයනික කිරිපිටි ප්‍රශ්නයක් තිබෙනවා. ‍එම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශයට හැකියාව ලැබී නැහැ.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා -

බිමල් රත්නායක මහතා කිව්වා පාසල් ඇඳුමත් විද්‍යාත්මක වෙන්න ඕන කිව්වා. මා ප්‍රධාන ශිෂ්‍ය නායක හැටියට ජාතික ඇඳුම ඇඳගෙන ගිය වේලාවේ විදුහල්පතිතුමාගේ දෝෂයට ලක්වුණා. මීට වඩා දේවල් අද වෙනවා. සමහර විදුහල්පතිවරුන්ට ස්ථාන මාරුවීම් ආපු වෙලාවට හයක් හතරක් නොතේරෙන දරුවන් පාරට බස්සලා උද්ඝෝෂණය කරනවා. මෙය හරිම නින්දිතයි.

අද අපේ රටේ අපනයනයේ හතරවන තැන ගන්නේත් ඩිජිටල් තාක්ෂණයයි. ඩිජිටල් හා විද්‍යා තාක්ෂණ ඇමැති ධුරවලට ඉන්නේ තරුණ දෙදෙනෙක්. මේ අයට මේ විෂයන් ඉදිරියට ගෙන යන්න පුළුවන්. අපිට ඉල්ලුම තිබෙනවා සැපයුම නැහැ. තොරතුරු තාක්ෂණය හදාරන බොහෝ දෙනෙක් ඉන්නවා. කලාවෙන් විද්‍යාවට යන පිරිස වෙනු‍ෙවන් මුදලක් වෙන්කරන්න යෝජනා කර තිබෙනවා. අයවැය හරහා පුහුණුවට මුදල් වෙන්කරන්න යෝජනා කර තිබෙනවා.

නවසීලන්තයේ, ස්විස්ටර්ලන්තයේ සිදුවීම් බැලූ විට තාක්ෂණය සඳහා නීති පද්ධතියක් අවශ්‍යයයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මුලසුනට පැමිණියේය.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙජාස) -

විද්‍යාව ගැන කතා කිරීමේදී විද්‍යාත්මක පර්යේෂණ ඉතා වැදගත්. කෘෂිකර්මය ‍රටකට ඉතා වැදගත්. ඒ නිසා අපගේ පළාත්වලට අදාළව වගා කළ හැකි භෝග සම්බන්ධයෙන් ද පර්යේෂණ සිදුකළ යුතුය.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා (එජාප) -

රාජ්‍ය ව්‍යවසාය ඇමැතිවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉටුකරන සේවය අති විශාලයි. ඩිජිටල් යටිතල පහසුකම් හි වගකීම අජිත් පී. පෙරේරා මහතා වෙත භාර දී තිබෙනවා. අපි රජයේ කාර්යාලයකට ගියාම අවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීමට විශාල කාලයක් ගතවෙනවා. නමුත් ඩි‍ජිටල්කරණය නිසා සේවාවන් කඩිනමින් ලබාදීමේ හැකියාව තිබෙනවා. කාලය අපි හැමෝටම වටිනවා. නවීකරණය හමුවේ තාක්ෂණය සමඟ ඉදිරියට යාම හේතුවෙන් ප්‍රතිලාභ රැසක් හිමි වෙනවා. අද වනවිට රජයේ ආයතන රැසක් මෙවැනි ආකාරයට තාක්ෂණයට අනුගත වී තිබෙනවා. ජාතික හැඳුනුම්පත, ගුවන් ගමන් බලපත්‍රය ඩිජිටල් තාක්ෂණයට අනුගත කරන්න.

අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා -

උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, මරණ සහතිකය ඩිජිටල් තාක්ෂණයට උචිත පරිදි සකස් කරනවා. ගුවන් ගමන් බලපත්‍රය, හැඳුනුම්පතක් මෙම ආකෘතියට සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා (එ.ජා.ප.) –

තාක්ෂණය හොඳයි. නමුත් භාවිතය නිවැරැදි ලෙස සිදුකළ යුතුය. යම් යම් සිදුවීම්වලදීත් තාක්ෂණය අනිසි ලෙස යොදා ගැනෙනවා. උදාහරණයක් ලෙස මහනුවර දිගන ප්‍රදේශයේ සිදුවීම. වෛරී කතනය හරහා මෙම සිදුවීම යම් තරමකට ව්‍යාප්ත වූ බව හැඟීමයි. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් පරිදි වෛරී ප්‍රකාශ සිදුකිරීම වසර දෙකක් සිර දඬුවම් ලබාදිය හැකි වරදක්. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්. එතුමා මේ ගැන දන්නවා. වෛරී සහගත ප්‍රකාශයන්වලට එරෙහිව අපේ රටේ නීතියක් නෑ කියලා රාවුෆ් හකීම් මහතා කියා තිබෙනවා. නමුත් ඊට එරෙහිව නීති සකස් කිරීමට අපි යෝජනා ඉදිරිපත් කළ වෙලාවෙ දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් කොංග්‍රසය විරුද්ධ වුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ වකවානුවේදීත් විදේශ ප්‍රතිපත්තිය අපි විවේචනය කළා.

(දිවා විවේකයෙන් පසුව)

බිමල් රත්නායක මහතා මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා (එ.ජා.ප.) –

අපේ ව්‍යවස්ථාව අනුව ජිනීවා මානව හිමිකම් කොමිෂන් යෝජනාවලට සම අනුග්‍රහය දක්වන්න අපිට බෑ. අ‍ෙප් රටේ රණවිරුවෝ වෙන රටකට ගිහිල්ලා යුද්ධ කළේ නෑ. අපේ දේශයේ ස්වෛරීභාවය වෙනුවෙන් කටයුතු කළා. අගමැති තෙරේසා මහත්මියට පුළුවන් නම් කෙළින් කතා කරන්න ඇයි අපිට බැරි.

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -

පසුගිය රජය කාලේ 2012, 2013, 2014 අපේ රටට විරුද්ධව යෝජනා සම්මත වුණා. අපි ජාත්‍යන්තරයේ තනිවෙලා හිටියේ 2015 මහින්ද රාජපක්ෂ මහතා දින්නා නම් ආර්ථික සම්බාධක එනවා. අපි සාකච්ඡා කරලා ජාත්‍යන්තර පීඩනය අඩු කළා. ‍ෙම් එක්සත් ජාතීන්ගේ යෝජනාව අනුව 11 වතාවක් අපේ රටට ප්‍රශංසා කරලා තිබෙනවා. මම එය කියවන්නම්. ජිනීවා යෝජනාවෙන් ලංකාවට හානියක් වෙන්නෙ නෑ. අපි කුඩා රටක්. අපිට ජාත්‍යන්තරයෙන් වෙන් වෙන්න බෑ. අද මැතිවරණ ක්‍රමය ජනාධිපති ධුරය ගැන එකඟත්වය නෑ. එහෙත් හැමෝම බලය බෙදීමට එකඟයි.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා -

මේ රටේ රාජ්‍ය ව්‍යුහය ඉක්මනින්ම ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්නවා. තොරතුරු තාක්ෂණය විෂය හා ඒ ආශ්‍රිත තාක්ෂණ ලංකාවේ ප්‍රචලිත කිරීමට ඉක්මන් පියවර ගන්න කියලා අගමැතිතුමා උපදෙස් දී තිබෙනවා. රට දූෂණයෙන් තොර නවීන තාක්ෂණයෙන් හෙබි රටක් උදාකිරීමේදී ඩිජිටල් තාක්ෂණය ඉතා වැදගත්.

අද එම ක්ෂේත්‍රයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1200 යි. 2020 වනවිට එම ආදායම් ඇ.ඩො. මිලියන 5000 ක් දක්වා ඉහළ දානවා.

උපාධිධාරීන්ට තොරතුරු තාක්ෂණය හදාරන්න අවස්ථාව උදාකරනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ. පී. ඩී. පී.)-

අපේ රටේ ශ්‍රම බළකාය ක්‍රමයෙන් අඩුවෙනවා. දේශීය භාණ්ඩ මිල වැඩිවීම තුළින් ආර්ථිකයේ පසුබෑමක් ඇතිවිය හැකියි. නව නිෂ්පාදන සොයා ගැනීම් සඳහා දිරිගැන්වීම් අවශ්‍යයි.

කතා කරන භාෂාව ජීවත්වන භූමිය වෙනස් වූවත් දෙමළ ජනතාව ලාංකිකයන් ලෙස රටේ එකමුතුව ජීවත්වෙනවා.

මහාමාර්ග මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා -

අද මහින්ද රාජපක්ෂ මහතා කියනවා රාජපක්ෂ පවුලට එල්ල වූ චෝදනාව බොරු වෙන්න යනවලු. වසීම් තාජුඩීන් සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් කියලා තිබියදී රාජපක්ෂ මහතා කියනවා තාජුඩීන් මහතා ගිය වාහනය පැයට කිලෝ මීටර් 175 ක වේගයෙන් ගියාලු. පාර්ක් රෝඩ් එකේ 175 ක වේගයෙන් යන්න පුළුවන් කියන එක මම ඇහුවමයි. තාජුඩීන් පාර්ක් රෝඩ් එකේ 175 යන්න විනාඩි 20 කට කලින් ලාෆ් එකෙන් වතුර බෝතලයක් අරන් ගිහින් තියෙනවා. එතකොට ඔහු යන්නේ තමන්ගේ පර්ස් එක කිලෝ මීටර් දෙකක් ඈතින් විසිකරලාද. එතකොට ඔහුගේ මෘතශරීරය තිබුණේ කාර් එකේ ඩ්‍රයිවර් සීට් එකේ නෙවෙයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේළුකුමාර මහතා (එ.ජා.ප.) –

2015 මේ රජය බලයට පත්වන්නට පෙර ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හා රාජ්‍ය වැවිලි සංස්ථා ආයතනවල සේවකයින් 7223 කට අවුරුදු 20 තිස්සේ ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. හා පාරිතෝෂික ගෙවා තිබුණේ නෑ. එය රුපියල් බිලියන 1.93 ක්.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගම‍ෙග් මහතා (එ.ජ.නි.ස.) –

අපි රුපියල් බිලියන 450 ක් අරගෙන මේවා ගෙවන්න කටයුතු කළා.

වේළුකුමාර මහතා -

එහෙම ගෙව්ව නිසා තමයි මෙසේ ඉතිරිව තිබුණේ. අපි ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ඉල්ලනවා මේවනවිට රුපියල් මිලියන 875 ක් ගෙව්වා වගේ ඉතිරි මුදල් ටිකත් ගෙවන්න කටයුතු කරන්න කියලා.

ඒ වගේම කිරිඇල්ල මහතා ඇමැතිවරයා වූ පසු වතු ජනතාවට පර්චස් 7 ක ඉඩමක උරුමය ලැබුණා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එ.ජ.නි.ස.) – තොරතුරු තාක්ෂණය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයි. අද අපේ තොරතුරු තාක්ෂණ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1.2යි. එය ඩොලර් බිලියන 10 දක්වා වර්ධනයකර ගැනීමට කටයුතු කළ යුතුයි.

කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා -

මන්ත්‍රීතුමාගේ යෝජනා හොඳයි . අපි බලාපොරොත්තු වෙනවා විදේශ අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ තානාපතිවරයෙක් පත්කරලා රටේ තාක්ෂණය ප්‍රචලිත කරන්න. ඒ වගේම පාසල් විෂයට තොරතුරු තාක්ෂණය ඇතුළත් කරලා ඉදිරි පරම්පරාව තාක්ෂණයට යොමුකරන බලාපොරොත්තු වෙනවා.

තාරක බාලසූරිය මහතා මුලසුනට පැමිණියේය.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප) -

ආණ්ඩු මාරු වූ ගමන් රැකියා ලබාදීම දේශපාලනඥයාගේ වගකීම නොවිය යුතුයි. අද රැකියාව ලබන තරුණයාටත් ගෞරවයක් තිබිය යුතුයි. අද සංවර්ධන නිලධාරීන් ඉන්නවා ඔවුන් තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කරලා ඔවුන්ගෙන් රටේ බදු ආදායම වැඩිකරන්න ඔවුන්ගෙන් වැඩක් ගන්න කටයුතු කළ යුතුයි.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එජනිස)

මේ තාක්ෂණ හා විද්‍යා විෂයයන්වලට මුදල් වෙන්කරන්නෙ නැත්තේ එයින් ඉක්මනින් ප්‍රතිඵල එන්නෙ නැති නිසයි. නමුත් අද රටේ ආහාර අර්බුදයක් තිබෙනවා. ආහාර පිළිබඳ සොයා ගත යුතුයි. ඒ නිසා මේ අමාත්‍යාංශවලට ප්‍රතිපාදන හා බලය වැඩිකළ යුතුයි. රැකියා වෙළඳපළ මෙමඟින් පුළුල් කළ හැකියි. තොරතුරු තාක්ෂණ අංශය ඉදිරියට ගෙන යා යුතුයි. ඔබලා ගෙන එන හොඳ දේවල්වලට සහාය දෙන්න අප සූදානම්. කුඩා අමාත්‍යාංශ, කැබිනට් නොවන අමාත්‍යාංශවලින් විශාල වැඩ කොටසක් කළ හැකියි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මුලසුනට පැමිණියේය.

ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල මහතා

අපේ ජාතික හැඳුනුම්පත ඩිජිටල් ක්‍රමයට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලෝකයේ ජීව දත්ත ඇතුලත් කරලා තමයි ජාතික හැඳුනුම්පත හදන්නේ. නමුත් අපි තවම එතැනට පැමිණ නැහැ. ඩිජිටල් යටිතල පහසුකම් ලබාදීලා මෙය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ යුතුයි.

අජිත් පී. පෙරේරා මහතා -

ඉදිරි මාස දෙක තුන ඇතුළත මෙය ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරමු.

අලවතුවල මහතා

අපගේ ගුවන් ගමන් බලපත්‍රයත් තාක්ෂණය යටතේ නිකුත් කිරීමට පියවර ගත යුතුයි. ඊ. ලෝකල් ගවර්මන්ට්’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා (එජනිස) –

රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබන්න ප්‍රධාන කාරණය එය මෙහෙයවන අය විෂය ගැන නොදන්නා භාවයයි. මේ අමාත්‍යාංශවලට වෙන් කළ මුදල් ප්‍රමාණවත් නැහැ කියා සෑම මන්ත්‍රීවරයකුම කිව්වා. නමුත් ඉතිහාසයේ සෑම අයවැයකදීම මේ අංශවලට ලබා දී තිබෙන්නේ ඉතාම සුළු මුදලක් පමණයි. ලෝකයේ රටවල් විද්‍යා හා තාක්ෂණය හරහා ඉදිරියට ගියා. ඒ සඳහා ඔවුන් මුදල් ආයෝජනය කර තිබුණා. නමුත් අපි විද්‍යා හා තාක්ෂණය සඳහා සියයට දශම ගණනයි වෙන් කරන්නේ. ලෝක වෙළඳපළේ තමන්ගේ කොටස දැන්ම ඉඳලා වෙන් කරගන්නේ නැතිනම් රට පසුගාමී වෙනවා. කාර්මික විප්ලවය අපට මඟහැරුණා. නමුත් අපි මීට වසර 08ක පෙර නැනෝ තාක්ෂණය ආරම්භ කළා.

පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා

අද මන්ත්‍රීවරු හොඳට කතා කළා. ආනයන අපනයන පරතරය ගොඩක් තිබෙන බව මන්ත්‍රීවරු කතා කළා. කර්මාන්තවල ග්‍රැෆයිඩ් වාණිජ තත්ත්වයෙන් භාවිතා කරන්නෙ නැත්තේ ඇයි? ලෝක ප්‍රකට ටෙස්ලා සමාගම බර අඩුම විද්‍යුතය ගබඩා කරන්න පුළුවන් බැටරිය නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා. මේ සඳහා ග්‍රැෆයිට් අවශ්‍යයි. ලබන වසර වන විට ග්‍රැෆයිට් මිල සියයට දෙසියකින් වර්ධනය වන බව ආර්ථික විශේෂඥයින් පුරෝකථනය කර තිබෙනවා. ලෝකයේ හොඳම ග්‍රැෆයිඩ් තිබෙන්නේ ලංකාවේයි. ඉදිරියේදී ලෝකයේ වැඩිම ඉල්ලුමක් තිබෙන මිනිරල් එක ග්‍රැෆයිඩ්. මේ සඳහා රජයට සම්පූර්ණ මුදල ආයෝජනය කරන්න බැහැ. ග්‍රැගීන් නම් ලෝකයේ හොඳම මිනිරල් එක ඒ සඳහා අපි අවධානය යොමුකළ යුතුයි. ඒ සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා (එජනිස)-

සෝලා තාක්ෂණය භාවිතා කරන එකට ග්‍රැෆයිඩ් භාවිතා කරන්න පුළුවන්. ග්‍රැෆයිඩ් නිකම්ම අපනයන කරන්නේ නැතුව නිමි භාණ්ඩයක් ලෙස යවන්න පුළුවන්නම් එයින් විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕන. පර්යේෂණ වෙළඳපළ වටිනාකම් සහිත නිෂ්පාදනය වෙළඳපළට හඳුන්වාදිය යුතුයි. එමගින් විශාල ආදායම් ලබා ගත හැකියි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේළුකුමාර් මහතා මුලසුනට පැමිණියේය.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම් තිලකරාජ් මහතා (එජාප)

වතු ජනතාවගේ ගැටලු විසඳමින්, වතු ජනතාවට පර්චස් හතක ඉඩම් ලබාදීම තුළින් ඔවුන් අපේ අය කියා කටයුතු කර තිබෙනවා. වැවිලි ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීමේදී එක මඟක අරගෙන යාමට කටයුතු කළ යුතුයි. වතු ජනතාව මෙරට පුරවැසියන් ලෙස සැලකීම වෙනුවෙන් ඔවුන් ආණ්ඩුවට සුබ පතනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (එජනිස) -

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටත් පොඩි කැපිල්ලක් දාලා. ඔබතුමාගේ අමාත්‍යාංශය ආයතන හතරයි කැබිනට් ඇමැතිතුමාට මිලියන 490යි. කැබිනට් නොවන සුජිව සේනසිංහ මහතාට මිලියන 500ක් ලබා දී තිබෙනවා. මෙහෙමද අමාත්‍යාංශවලට මුදල් වෙන් කරන්නේ.

වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා -

අපි හතරවැනි කාර්මික විප්ලවයට අවතිර්ණ වෙලා තිබෙනවා. එහිදී දේශපාලන හා සමාජ පැත්තෙන් වෙනසක් සිදුවුණා. හතරවන කාර්මික විප්ලවයෙන් පසු ලෝක සාමකාමී වාතාවරණය තිබෙනවා. ග්‍රැෆයිඩ් ග්‍රැෆීක් කර ගැනීම ගැන අද කතා කළා. මේ යුගයේදී තාක්ෂණයේ ප්‍රවණතා තිබෙනවා. ජෛව තාක්ෂණය නැනෝ තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය හා කෘත්‍රිම නැනෝ තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය නිසි අයුරින් භාවිතා කරනවා නම් ලෝක මානව සමාජයේදී වැඩිඉඩක් ලබා ගන්න පුළුවන්. ඇතිවෙලා තියෙන තාක්ෂණ හැරවුම දේශපාලන හා පරිපාලන හැරවුමක් ලෙසත් ඵලදායීව ලබා ගන්න පුළුවන්. තොරතුරු දැනගැනීමේ නීතිය ජන සමාජය ප්‍රයෝජන ගන්නවා. එහි ප්‍රතිඵලය කාර්යක්ෂමව ගන්න නම් ඩිජිටල් තාක්ෂණය යොදා ගත යුතුයි. ප්‍රගාමික තොරතුරු පද්ධතියට ඇතුළත් වෙන්න නම් ඩිජිටල් තාක්ෂණය හරහා ඉදිරියට යා යුතුයි. ජෛව තාක්ෂණ ආයතන ආරම්භ කිරීමට ගත් පියවර ඉදිරියට ගෙනයනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා (එජනිස)-

වසරෙන් හතරෙන් එකක් ගතවෙලා තිබියදී මේ වසරේදීවත් කිසිදු දෙයක් රටට කර නැහැ. පසුගිය වසර හතරේදි මහනුවර සංවර්ධනය කිසිදු දෙයක් කර නැහැ. කන්ද උඩරට උරුමයන් ආරක්ෂා කළේ මොනවාද කියා අප අහන්න කැමැතැයි. මහාමාර්ග අමාත්‍යාංශය කිරිඇල්ල මහතාට තිබුණත් මාර්ගයක් අඩි 200ක් ඉදිරියට ගෙනයන්න එතුමට බැරි වුණා. එතුමට මෙවර අය වැයේදී කිසිදු ප්‍රතිපාදනයක් නැහැ. සභානායක ඇමැතිවරයාට මෙවර අයවැයෙන් මිලියන 490ක් වෙන් කර තිබෙන්නේ.

නගර සැළසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා

මහනුවර නගර සංවර්ධනයට වෙන් කළ මුදල් ප්‍රමාණවත් නොමැති බව විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා.

එක්සත් ජාතික පෙරමුණු රජය ලෙස මහනුවර පමණක් නොව සමස්ථ රට තුළම සංවර්ධනය කිරීම වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ‍‍

පත්කළ මන්ත්‍රී ආශු මාරසිංහ මහතා (එජාප)‍

තාක්ෂණ විප්ලවය හරහා රට තුළ දැවැන්ත වෙනසක් කළ හැකියි.‍‍

ශිල්ප සේනා තාක්ෂණ විප්ලවයේ කොටසක් තමයි ඩිජිටල් තාක්ෂණ්‍ය. මේ හරහා වේගවත් ලෙස ඉදිරියට යා හැකිය. ලෝකයට අවශ්‍ය පරිදි තොරතුරුතාක්ෂණ උපාධිධාරීන් බිහිකළ යුතුය. නව පාඨමාලා ඇතිකළ යුතුය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා (එජනිස)

තාක්ෂණ හා පර්යේෂණ වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුය. ඒ වගේම රජයේ සමහර ප්‍රධාන ආයතනවලටවත් තොරතුරුතාක්ෂණ නිලධාරීන් වැඩි වැටුපට හෝ බඳවා ගත යුතුය. රුපියල් 60000ක වැනි වැටුපකට තොරතුරු තාක්ෂණ නිලධාරීන් එන්නේ නැහැ. මොකද එළියෙ ඔවුන්ගේ වැටුප ලක්ෂ පහයි හයයි.

විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ මහතා‍

තව මාස කිහිපයකින් මහනුවර අධිවේගී මාර්ගය ඉදිවේවි. මහනුවර තදබදය ගැනත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැඩි වෙහෙසක් දරනවා. ඒ වගේම රට තුළ ඩිජිටල් තාක්ෂණය වෙනවෙන් අජිත් පී.පෙරේරා මහතාත් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනවා.

තොරතුරු තාක්ෂණය විෂය සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතුය. කලා විෂය ධාරාව සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී සියයට තිහක හතළිහක ප්‍රතිශතයක් ලබාදීමට පුළුවන්නම් එය ඉතා වැදගත්. එහෙම වුනොත් ඉන්දියාව වගේ මට්ටමට අපට ළඟාවෙන්න පුළුවන්. රටේ දියුණුව කඩිනමින් ළඟාකර ගැනීමට නම් තොරතුරු තාක්ෂණ විෂය පුළුල් කළ යුතුය. විශේෂයෙන්ම සිලිකන් වැලි අපගේ ආර්ථිකය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාගත හැකිය. යහපාලන අත්තිවාරම ශක්තිමත් කිරීම සඳහා යොදාගත හැකි සියලු ප්‍රබවයන් යොදාගත යුතුය.

මහින්ද අමරවීර මහතා

ජලබෝතල්, පරිහරණය සඳහා ගන්නා තෙල් බෝතල් ආදිය සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න පුවන්ද?

සුජීව සේනසිංහ මහතා

පිටරටවලින් සිදුකරන ආනයනයන්වලදීත් ප්‍රමිතියෙන් ‍ෙතාර දේවල් එන්න පුළුවන්. ඒ නිසා අප අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වලින් පර්යේෂණ ගණනාවක් සිදු කෙරෙනවා. ‍‍‍

“ශිල්ප සේනා” වැඩසටහන හරහා මසකට එක් දිස්ත්‍රික්කයකට විද්‍යා හා තාක්ෂණ දැනුම ගෙන යාමට කිරීමට කටයුතු කරනවා. රාජ්‍ය සේවයේ වැටුප් සියයට 107කින් වැඩිකරලා තිබෙනවා. අපේ අමාත්‍යාංශයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.15ක් වෙන් කරලා තිබෙන්නේ. නමුත් අපි රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපවීමෙන් කටයුතු කරනවා. ආණ්ඩුවට බරක් නොවී සමාජයට මෙහෙවර කිරීමට අප සැලසුම් කර තිබෙනවා. පෞද්ගලික ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීමට අප කටයුතු කරනවා. සෑම දිස්ත්‍රික්කයටම ටෙලෙස්කෝප් ලබාදීමට අප කටයුතු කරනවා. විල්පත්තු ප්‍රදේශයට විශාල ටෙලෙස්කෝප් එකක් සවි කරනවා. නැ‍නෝ චන්ද්‍රිකාවක් ස්ථානගත කිරීමට අපි කටයුතු කරනවා. ‍

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා‍‍

වසර දහයක් රට පාලනය කළත් කිසිත් නොකරපු මහින්දානන්දලා අද අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන්කළ රුපියල ගැන කියා කිඹුල් කඳුළු හෙළනවා. අද අපි රුපියල් ශත ගැන නෙවෙයි අමාත්‍යාංශයක් එහි කාර්යභාරයන් ගැන සිතා කටයුතු කළ යුතුයි. ‍‍

හුදු විනෝදය සඳහා තිබෙන සමාජ මාධ්‍ය රටේ සංවර්ධනය වෙනුවෙන් භාවිතා කරන්න. දුප්පත්කම දුරලන්න කටයුතු කළ යුතුයි. එම ක්‍රියාදාමය අපි දැන් ආරම්භ කර තිබෙනවා.

මේ අයවැය මාස ගාණකට ඉදිරිපත් කරන දෙයක් නෙවෙයි. ලබන නොවැම්බරයෙන් පසුවත් අපි සහයෝගය ලබාදෙන පුද්ගලයෙක් මේ රටේ ජනාධිපති කරනවා. ‍‍

වැය ශීර්ෂ සම්මත විය. පාර්ලිමේන්තුව ලබන 21 දින පෙරවරු 9.30ට යළි රැස්වේ. ‍‍

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, චමීර ඇල්ලදෙණිය


නව අදහස දක්වන්න