පළමු විස්සයි20 දී ශ්‍රී ලංකා පිල ලකුණු 134යි | දිනමිණ

පළමු විස්සයි20 දී ශ්‍රී ලංකා පිල ලකුණු 134යි

දකුණු අප්‍රිකාව සමග කේප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති පළමු විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් රැස් කළේය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිගේ ඇරැයුමෙන් අවිශ්ක ප්‍රනාන්දු සමගින් ශ්‍රී ලංකා ඉනිම ඇරැඹු නිරෝෂන් දික්වැල්ලට මුහුණදීමට හැකිවූයේ පන්දු 2කට පමණි. මේ සංචාරයේදී යළිත් අසාර්ථකවූ දික්වැල්ල ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර ඩේල් ස්ටෙන්ගේ පන්දුවකට කඩුලු රකින ඩේවිඩ් මිලර් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

ලකුණු 7ක් එක් වෙද්දී කුසල් මෙන්ඩිස්ද ලකුණු ලබා ගැනීමට පෙර යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට කගීසෝ රබාඩාට හැකිවිය. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස් සමග එක්ව පන්දු 22කින් ලකුණු 35ක් රැස්කරමින් ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට උත්සහ කළද හයේ සීමාව අසලදී රීසා හෙන්ඩ්‍රික්ස් රැකගත් විශිෂ්ට උඩ පන්දුව හේතුවෙන් මුළු ලකුණු 43කදී අවිශ්කගේ මංගල විස්සයි20 ඉනිම නිමාවට පත්විය. පන්දු 15කට මුහුණදුන් ඔහු හයේ පහර 2ක් සමගින් ලකුණු 16ක් ලබා ගත්තේය. හයේ සීමාව අසලදී පන්දුව රැකගත් හෙන්ඩ්‍රික්ස් සීමාවෙන් එළියට ගිය අතර පන්දුව ඉහළට විසිකරමින් යළිත් පිටියට පිවිස පන්දු රැක ගැනීමෙන් අවිශ්ක දැවී ගියේය.

ඇන්ඩිල් පෙලුක්වායෝ සහ ඉම්රාන් තහීර් එක්ව ලකුණු 3ක් තුළ ඇන්ජලෝ පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් දවා ගනිමින් ශ්‍රී ලංකා පිල අසීරු තත්ත්වයකට ඇද දැම්මේය. හතරේ පහරක් සමගින් පන්දු 18කින් ලකුණු 16ක් ලබාසිටි ඇන්ජලෝ පෙරේරා කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර තහීර්ගේ පන්දුවකට සීමාවෙන් ඉදිරියට ගොස් පහරක් එල්ල කිරීමට යෑමෙන් කමිඳු මෙන්ඩිස් ස්ටම්ප් කිරීමට හසුවිය. හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 41ක් රැස්කළ ඔහු ඊට වැයකළේ පන්දු 29ක් පමණි.

තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ලට පන්දු 36කින් ලකුණු 37ක් රැස්කළ අතර ඉනිමේ 19 වැනි ඕවරයේ පිට පිට පන්දු 2කින් ඔවුන් දෙදෙනාම දවා ගැනීමට ඇන්ඩිල් පෙලුක්වායෝට හැකිවිය. ලකුණු 113කට කඩුලු 7ක් බිඳ වැටී තිබියදී පිටියේ එක්වූ ඉසුරු උදාන සහ අකිල ධනංජය අවසන් පන්දු දහයෙන් ලකුණු 21ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල ලකුණු 134 දක්වා ඉදිරියට ගෙන ගියේය. උදාන පන්දු 6කින් නොදැවී ලකුණු 12ක් සහ අකිල ධනංජය පන්දු 4කදී හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 8ක් රැස් කළහ. පන්දු යැවීමේදී ඇන්ඩිල් පෙලුක්වායෝ කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය මේ 22 වැනිදා සෙන්චුරියන්හිදී පැවැත්වේ.


ශ්‍රී ලංකාව

එන්. දික්වැල්ල ඇ.මිලර් ප.ස්ටේන් 0

ඒ. ප්‍රනාන්දු ඇ.හෙන්ඩ්‍රික්ස් ප.සිපම්ලා 16

කේ. මෙන්ඩිස් ඇ.සිපම්ලා ප.රබාඩා 0

කමිඳු මෙන්ඩිස් ස්ට.මිලර් ප.තහීර් 41

ඒ. පෙරේරා ප.පෙලුක්වායෝ 16

ටී. පෙරේරා ඇ.ප්ලෙසි ප.පෙලුක්වායෝ 19

ඩී. සිල්වා ප.පෙලුක්වායෝ 14

අයි. උදාන නොදැවී 12

ඒ. ධනංජය නොදැවී 8

අතිරේක 8

එකතුව කඩුලු 7ක් දැවී (ඕවර 20) 134

කඩුලු බිඳ වැටීම: 1-0, 2-7, 3-42, 4-73, 5-76, 6-113, 7-113

පන්දු යැවීම: ස්ටේන් 4-1-25-1, රබාඩා 4-0-42-1 සිපම්ලා 4-0-19-1, තහීර් 4-0-21-1, පෙලුක්වායෝ 4-0-25-3


නව අදහස දක්වන්න