Micro Electronics ප්‍රවර්ධනයට දායක වෙයි | දිනමිණ

Micro Electronics ප්‍රවර්ධනයට දායක වෙයි

මෘදුකාංග විසඳුම් සම්පාදනයේ යෙදෙන ලෝක ප්‍රකට අධි තාක්ෂණික සමාගමක් වන Synopsys අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලය විසින් සංවිධාන කරන Expose 2019 ප්‍රදර්ශනය පසුගියදා අති සාර්ථකව පැවැත්විණි. ‘ඉලෙක්ට්‍රොනික්ස් හරහා මනුෂ්‍යත්වය උදෙසා සේවය කිරීම’ යන තේමාව යටතේ සංවිධානය වූ මෙම ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ට්‍රොනික මෙන්ම විදුලි සංදේශ ඉංජිනේරු වෘත්තීකයෝ සහ විද්වත්හු ද එකම වේදිකාවකට ගෙන එනු ලැබූහ. මොරටුව සරසවියේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යයනාංශයේ පනස්වැනි සංවත්සරය සමරන මේ වසරේදී ප්‍රදර්ශනය සමගාමීව තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සැබෑ ලෝකයේ ඇති ගැටලුවලට විසඳුම් සපයන සිසුන්ගේ දැනුම සහ කුසලතා පිළිබිඹු කරන ව්‍යාපෘතිද ඒ අතර දක්නට ලැබුණි.

ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය නුවන් දයානන්ද මහතා පැවැසූයේ මොරටුව විශ්වවිද්‍යාලය දැනටමත් ලොව පුරා ප්‍රමුඛ පෙළේ සංවිධාන රැසක් සමඟ එක්ව කටයුතු කරන බවය. Synopsys සමාගම සතු ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමත්, විශේෂයෙන්ම silicon design" verification" IP integration සහ application security testing අංශවලින් විශේෂඥතාව පෙන්නුම් කරන සමාගමක් හැටියටත් අපගේ ප්‍රදර්ශනයට අනුග්‍රහය දැක්වීම විශාල අභිමානයකි.

තවද රොබෝ තාක්ෂණ අංශයට අදාළ ව්‍යාපෘති (FPGA පුවරු ආශ්‍රිත නිමැවුම්) රැසක් මෙන්ම වැඩි දියුණු කළ යථාරූපී තාක්ෂණය, සයිබර් අවකාශ ආරක්ෂණය, ස්වයංක්‍රීය මෝටර්රථ, විකල්ප බලශක්ති ප්‍රභේද, ජෛව වෛද්‍ය ඉංජිනේරුවේදය, පරිසර පද්ධති සංරක්ෂණය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය සහ විශේෂිත උගෙනුම් ආදී සෙසු ඉංජිනේරු ව්‍යාපෘති රාශියක් ප්‍රදර්ශනය මගින් ආවරණය විය. ඊට ව්‍යාපාර ප්‍රජාව, ආයෝජකයන්, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු රජයේ නියෝජිතයන් හා සෙසු ආයතනවලින් ද විශාල පිරිසක් එක්වීම කැපී පෙනුණි.


නව අදහස දක්වන්න