රබර් වගාවේ සහන දෙගුණ කරයි | දිනමිණ

රබර් වගාවේ සහන දෙගුණ කරයි

කරාපිටිය සමූහ එස්. ලොකුකරවිට

රබර් වගාව සඳහා සහනාධාර ගෙවීම් මේ වසරේ සිට දෙගුණ කර ඇතැයි රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රගීත් රසික කුමාර මහතා පවසයි. වගාව සඳහා ගොවීන් උනන්දු කර වැඩි භූමි ප්‍රමාණයක් වගාකිරීම සඳහා යොමුකිරීම ඉලක්ක කරගෙන මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් රබර් නව වගා සඳහා හෙක්ටයාර් එකකට ගෙවන ලද රුපියල් එක් ලක්ෂ පනස් දහසක සහනාධාර මුදල රුපියල් ලක්ෂ තුනක් දක්වා වැඩිකර ඇතැයි සඳහන් වේ. එසේම රබර් නැවත වගාව සඳහා හෙක්ටයාර් එකකට මෙතෙක් ගෙවන ලද රුපියල් එක් ලක්ෂ හැත්තෑපන්දහසක ආධාර මුදල ද රුපියල් තුන්ලක්ෂ පනස්දහස දක්වා වැඩිකර ඇත.

2019 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ රබර් නව වගාව කුඩා ඉඩම් සඳහා හෙක්ටයාර් 15ක් ද නැවත වගාව කුඩා ඉඩම් සඳහා හෙක්ටයාර් 30ක් ද ඉලක්ක කර ඇති බවද වැවිලි සමාගම් සඳහා හෙක්ටයාර් 150ක ඉලක්කයක් ලබාදී ඇති බවද සඳහන් වේ. මීට අමතරව අතුරු බෝග සමග රබර් වගාව හෙක්ටයාර් 10ක් ද ඉලක්ක ගතකර ඇත.

රබර් මිල පහල යෑමත් සමග වගාකිරීම සඳහා ගොවින්ගේ උනන්දුව අඩුවූ බවත් නැවත ගොවීන් වගාව කෙරෙහි උනන්දු කිරීම සඳහා මෙලෙස සහනාධාර මුදල වැඩිකර ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එලෙස පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී අදහස් දක්වමිනි. දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.


නව අදහස දක්වන්න