ලක්විජය අක්‍රියයි - බිඳවැටීම් තවදුරටත් | දිනමිණ

ලක්විජය අක්‍රියයි - බිඳවැටීම් තවදුරටත්

ඊයේ දහවල් සිට ප්‍රදේශ රැසක සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම් හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

ඒ, නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙනි.

විදුලි කප්පාදුවකින් තොරව, අඛණ්ඩව විදුලිය සැපයුමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය රවී කරුණනායක සඳහන් කළේ, අක්‍රීය වී ඇති නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

මේ අතර නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම් තවදුරටත් වාර්තා වන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් නිසා අක්‍රිය වීමෙන් මෙගාවොට් 270 ක් ජාතික පද්ධතියට අහිමිවී තිබේ.

මෙරට විදුලි බල අවශ්‍යතාවයෙන් 78% ක ප්‍රමාණයක් සපුරා ගන්නේ නොරොච්චොලේ ඇතුළු තාප විදුලි බලාගාරවලිනි.

එහි දෙවන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීයව පවතින්නේ මධ්‍යම කදුකර ඇතුළු ප්‍රදේශ රැසකට වියළි කාලගුණයෙන් බාධා එල්ල වී ඇති පසුබිමකයි.

වියළි කාලගුණය සමග ප‍්‍රධාන ජල විදුලි බලාගාර ආශ‍්‍රීත ජලාශයන්හි ජල මට්ටම් ද මේ වනවිට විශාල වශයෙන් පහත බැස තිබේ.

මාවුස්සාකැලේ, කාසල්රී, වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල සමනල වැව ජලාශවල 40% ආසන්න ජල මට්ටමකට පහළ බැස ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

නව අදහස දක්වන්න