ග්‍රාමීය වෙහෙර විහාර හදන්න රජයේ ආයතන හතරක් | දිනමිණ

ග්‍රාමීය වෙහෙර විහාර හදන්න රජයේ ආයතන හතරක්

අසේල ලියනගේ
ජායාරූපය - හිරන්ත ගුණතිලක

ගම්පෙරළිය වැඩසටහන හරහා ගම දියුණු කරන ගමන් ගමේ වෙහෙර විහාරස්ථාන දියුණු කිරීම සඳහා රාජ්‍ය ආයතන හතරක් වෙත තමා උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) කැකිරාව, මාඇල්ගමුව ශ්‍රී දේවතිස්ස රජමහා විහාරස්ථානයේ අංගසම්පූර්ණ විහාරස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේන් අනතුරුව ප්‍රදේශයේ ජනතාව අමතමිනි.

එහිදී එම රජමහා විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකළ තිබූ රන්වැට නිරාවරණය කිරීම ද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

බුද්ධ ශාසන අමාත්‍යාංශය, සංස්කෘතික ත්‍රිකෝණය, ජනාධිපති අරමුදල සහ අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් විහාරස්ථාන දියුණු කිරීම සඳහා මුදල් ලබා දී ඇති බවත්, නාගරික ප්‍රදේශවලට සාපේක්ෂව ගමේ විහාරස්ථාන දියුණු නොවන නිසා තමා මෙම තීරණය ගෙන ඇති බව අගමැතිවරයා පැවසීය.

ගම්පෙරළිය වැඩසටහන මගින් ගමේ විහාරස්ථාන දියුණු කිරීම සඳහා සෘජුව මුදල් ලබාදෙන බවත් ඒ මගින් වක්‍රව ගම දියුණු කිරීම වත්මන් රජයෙ අරමුණ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය රජය වගකීමකින් තොරව ගත් ණය ගෙවීමට සිදුවූයේ ගමේ අහිංසක ජනතාවගෙන් අය කරන බදු මගින් කී අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ දුක් විඳපු යුගය අවසන් කර ඇති බවත්, දැන් තිබෙන්නේ රට දියුණු කිරීම බවත්ය.

කෘෂිකාර්මාන්තය දියුණු කර වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද ඒ මහතා කීය. රටේ ආර්ථිකය ශක්තිමත් කර ගොවිජනතාවගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර ඇති බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

අධ්‍යාපනය, සෞඛ්‍ය දියුණු කිරීමේ ප්‍රතිඵල ලැබෙන්නේ ගමේ ජනතාවට බව පැවසූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ගමේ දියුණුව මගින් රටේ ආර්ථිකය ශක්තිමත් වන බවයි. ගම දියුණු කරන ගමන් ගමේ පන්සල දියුණු කිරීමට සෘජු හා වක්‍රව කිසිදු රජයකින් නොකළ සේවයක් වත්මන් රජයෙන් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

හුරුලු කලාගම් දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේනාධිරියාගම විමල ජෝති ස්වාමීන් වහන්සේ හා කැකිරාව ශාසන රත්න බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කොස්සින්නේ රත්න ජෝති හිමියන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙන යෑමට මෙහිදී ආශිර්වාද කළහ.

 


නව අදහස දක්වන්න