2010 ජනාධිපතිවරණය දා නාවලපිටිය බෝම්බ ප්‍රහාරය: වසර නවයක් අතුරුදන්ව සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට | දිනමිණ

2010 ජනාධිපතිවරණය දා නාවලපිටිය බෝම්බ ප්‍රහාරය: වසර නවයක් අතුරුදන්ව සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ගම්පොළ සමූහ

2010 ජනාධිපතිවරණය දා නාවලපිටිය තැඹිලිගල ප්‍රදේශයේ ඡන්ද ගැටුමක දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දෙදෙනකු මියගොස් 7 දෙනකු තුවාල ලැබූ සිද්ධියට අදාළ මෙතෙක් සොයමින් සිටි එහි ප්‍රධාන සැකකරුවකු වසර 9 කට පසු මහනුවර වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ‍ගම්පොළ පොලිසිය පවසයි. එවකට ගඟඉහළකෝරළේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයකු වූ මොහු එම සිද්ධියෙන් පසු වසර 9 ක් පුරා අතුරුදන්ව සිට ඇත.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ව්‍යාජ හැඳුනුම්පතක් සකස්කොට නම හා උපන් දිනය වෙනස් කරමින් ජීවත්ව සිට ඇති අතර වත්තේගම හා පොල්ගොල්ල ඇතුළු මහනුවර අවට ප්‍රසිද්ධ විද්‍යා ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත.

සිද්ධිය වන අවස්ථාවේ කෙස් රහිත තට්ට හිසක් තිබූ මොහු සැඟවී සිටින කාලය තුළ රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක් (2,75,000) ක් වැයකර කෙස් සිටවා කොණ්ඩය සහිත පුද්ගලයකු ලෙස වෙස්වලාගෙන සිටි බව ද පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය අනාවරණ කරගෙන ඇත.

මේ බෝම්බ ප්‍රහාරය තැඹිලිගල බෞද්ධාලෝක පිරිවෙනේ විහාරස්ථානය ඉදිරිපිට සිදුවූ අතර එහිදී ‍බෞද්ධාලෝක පිරිවෙනේ අධ්‍යක්ෂ හා ‍නාවලපිටිය සංඝ සභාවේ අධිකරණ සංඝනායක මාතර විමලානන්ද නාහිමියන් අපවත් වූ අතර ගල්පාය මීතලාව ප්‍රදේශයේ පදිංචි එම්. ජී. වසන්ත කුමාර යන අය මියගොස් තිබුණි. මේ බෝම්බ ප්‍රහාරයට හා පහරදීම්වලට ලක්ව 7 දෙනකු තුවාල ලබා ගම්පොළ හා මහනුවර මහ රෝහල් වෙත ඇතුළත් කර තිබුණි. සිද්ධියෙන් පසු ගම්පොළ පොලිසිය මඟින් සැක කටයුතු ගැහැනු, පිරිමි 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුහූ දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත ව සිටියහ. එම නඩුව අද වන විටත් විභාග වෙමින් පවතී. මේ ගැටුමෙන් පසු එහි ප්‍රධාන සැකකරු එදින සිට අතුරුදන්ව ඇති අතර ඔහුට විවෘත වරෙන්තු නිකුත් වී තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුහට ජීව අත්බෝම්බයක් ගසා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා 7 දෙනෙකුට තුවාල සිදුකිරීම යන චෝදනා එල්ලකොට ඇති අතර ඔහු ගම්පොළ මහේස්ත්‍රාත් ශ්‍රිනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.


නව අදහස දක්වන්න