අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජගත කරන්න බන්දුල ගුණවර්ධන උත්සාහ දරා තිබෙනවා | දිනමිණ

අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජගත කරන්න බන්දුල ගුණවර්ධන උත්සාහ දරා තිබෙනවා

අධ්‍යාපන අමාත්‍යාංශය නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් අධ්‍යාපනය පුද්ගලිකකරණය කිරීමේ උත්සාහයක නිරතව සිටින බවටත්, සැලසුම් සහගතව පෞද්ගලික පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බවටත් අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජගත කරමින් ජනතාව නොමඟ යැවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක දී උත්සාහ දරා තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පෞද්ගලික පාසලක දරුවකු උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළ ප්‍රතිඵල ලබාගත් විට ඒ හරහා නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උත්සාහ දරන බව සඳහන් කරමින් මින් පෙර අවස්ථාවක දී ද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජනතාව නොමඟ යැවීමේ නිරර්ථක උත්සාහයක යෙදුණු අතර, හරිහැටි කරුණු පරීක්ෂා කර නොබලා, එහිදී බිඳවැටුණු තර්කය යථාර්ථයක් කරන්නට නැවත වරක් දරන උත්සාහය කනගාටුදායක බවත් එම අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.

එහි මෙසේ ද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ පාසල් ව්‍යූහය තුළ ජාතික හා පළාත් පාසල් මෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල් ද පවතී. 2019-01-01 දින වනවිට ලබාගත් සංඛ්‍යාත්මක දත්ත අනුව, මේ පෞද්ගලික පාසල් අතරින් රජයේ ආධාර ලබන පාසල් 48ක් සහ ආධාර නොලබන පාසල් 32ක් වශයෙන් සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 80ක් පවත්නා බව වාර්තා වෙයි.

රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් මීට වසර විස්සකට පෙර සිටම ශාඛා පාසල් ආරම්භ කර ඇති නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් නොකර ශාඛා පාසල් 9ක් මේ දක්වා පවත්වාගෙන ගොස් තිබිණි. බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ද මේ අවිධිමත් ශාඛා පාසල් ක්‍රියාත්මකව තිබුණි.

මේ ශාඛා පාසල්වල සිටින ළමයින් සංඛ්‍යාව මවු පාසලේ ළමයි සංඛ්‍යාවට එකතු කර මවු පාසලේ ගුරු සංඛ්‍යාව අනුමත කර ගෙන ඇත. මවු පාසල විසින් අනුමත කරගත් ගුරු සංඛ්‍යාවෙන් කොටසක් ශාඛා පාසල්වල සේවය කරන ලදී. මේ ශාඛා පාසල්වල සිට වැටුප් ආධාර ලබාගැනීම නිත්‍යානුකූල නොවන ක්‍රියාවක් වන බැවින් මේ සම්බන්ධව විගණන විමසුමක් ද සිදුකරමින් පවතී.

මේ නීත්‍යානුකූල නොවන තත්ත්වය අනාවරණය වූ පසු, ශාඛා පාසල් පවත්වාගෙන යන රජයේ අනුමත පෞද්ගලික පාසල් වෙත නව ගුරුවරුන් අනුමත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නතර කරන ලදී.

එහෙත් එම පාසල් අහෝසි කිරීමට කටයුතු කළහොත්, එම පාසල්වල ඉගෙනුම ලබන 12,000කට අධික සිසුන්ට වෙනත් පාසල් ලබාදීමේ ගැටලුවට මුහුණ දීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවීම, ශාඛා පාසල්වල නව ගුරුපත්වීම් අනුමත කිරීම අත්හිටුවීම නිසා මවුපාසල්වල ගුරුවරුන්ට ද රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු මතුවීම, ශාඛා පාසල්වල දරුවන්ට විභාග කටයුතු ඇතුළු සියලු ප්‍රධාන අධ්‍යයන අවශ්‍යතා සඳහා මවු පාසලට පැමිණීමට සිදුවන නිසා අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදුවීම වැනි ගැටලු මතුවිය හැකිව තිබිණි.

මවු පාසලකට ශාඛා පාසල් ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබාදීමේ දී ඒ හා සම්පූර්ණ කළ යුතු නිර්ණායක අනුව එම පාසල් ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ද එසේ නොවන බවට අනාවරණය වන කවර අවස්ථාවක දී වුව ද ඒ සදහා අනුමැතිය ලබා නොදීමට ද අමාත්‍යාංශයට පියවර ගත හැකියි.


නව අදහස දක්වන්න